UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේ ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය

ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර මංගල උපෝසථාගාරය හා ධාතු මන්දිරය විවෘත කිරීම කෙහෙල්පන්නල සිරි සුගතවංස නා හිමි දස වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම ජූනි 28 – 29 දිනයන්හි දී

දස වසරකට පෙර අපවත් වී වදාළ රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක කෙහෙල්පන්නල සිරි සුගතවංස නා හිමි

ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායකධූරය හෙබවූ අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනාධිපතිව වැඩවිසූ ආරණ්‍යක ධර්මකීර්ති ශ්‍රී සුමංගල කෙහෙල්පන්නල සිරි සුගතවංශ නාහිමිපාණන්, වහන්සේ ලක් සඟ සසුනේ දුලභ ගණයේ සංඝ පීතෘන්වහන්සේ නමක් විය. උන්වහන්සේ ප්‍රතිපත්තිකාමීව නිහඬව කළ ශාසනික සේවාව ප්‍රශංසනීය ය.

කෑගලු දිස්ත්‍රික්කයේ හෙම්මාත ගමට නුදුරුව කෙහෙල්පන්නල ගමේ කලල්ලාපිටිරාළලාගේ කළුබණ්ඩා නිලමේතුමා හා පන්නල කුරුප්පුරාළලාගේ රම්මැණිකා උපාසිකාවට දාව 1928 ඔක්තෝම්බර් 10 වන දින මෙළොව උපත ලද මේ පින්වත් කුමරා කුඩා කළ සිටම ගමේ විහාරස්ථානය ඇසුරෙන් දහම් දැනුම ලබමින් ආගමික පරිසරයක හැදී වැඩී පුරාකෘත පුණ්‍ය මහිමයද මතු වී 1947 අපේ‍්‍රල් 25 වන දින මැල්ලගල වන සෙනසුනේදී වේරකේ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හා අස්මඩලේ රතනපාල මාහිමිපාණන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කෙහෙල්පන්නල සුගතවංශ නමින් පැවිදි බිමට පත්විය.

සිය ගුරු නාහිමිවරුන්ගෙන් පැවිද්දට අවශ්‍ය බණ දහම් නිසි ලෙස හදාල නාහිමි 1950 ජුනි 21 වන දින මහනුවර මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේදී මල්වතු මහා විහාර මහා විහාරවාසීව වැඩ විසූ ඇතුළුගම ශ්‍රී සංඝරක්ඛිත රේවතාභිධාන නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා වෑඋඩ ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය මංගල කීර්ති ශ්‍රී විපස්සි දේවමිත්තාභිධාන නාහිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදාව ලැබීය. අප නාහිමිපාණන් වහන්සේ මූලික අධ්‍යාපනය තම ගුරුහිමිවරුන්ගෙන් ලබා ගත් අතර උසස් අධ්‍යාපනය 1959 දී මාලිගාකන්ද විද්‍යෝද්‍ය මහ පිරිවෙනට ඇතුලත් ව එහි දීප්තිමත් ආචාර්යවරුන්ගෙන් පාලි සංස්කෘත සිංහල වැනි භාෂා ශාස්ත්‍රයන්ද හැදෑරීමෙන් පසු 1968 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධියේ තම ගුරු හිමිවරුන්ගෙන් ලැබුණු භික්ෂූ ආකල්ප හා වනවාසී සම්ප්‍රදායයන් වෙනස් නොකොට පිණ්ඩපාතචාර්යාවෙන් ප්‍රත්‍ය පහසුකම් ලබා ගනිමින් ක්‍රියාකිරීම උන්වහන්සේගේ භික්ෂූ ජීවිතයේ වැදගත් ලක්ෂණයක් පෙන්නුම් කෙරිණි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමෙන් පසු එවකට මතුගම ධීරානන්ද නාහිමිපාණන් විසින් වනවාසී භික්ෂූන්ට ධර්ම ශාස්ත්‍රීය දැනුම හා පුහුණුව ලබාදීමට අරඹා තිබූ අනුරාධපුර සිරිසඟබෝ භික්ෂූ අභ්‍යාස මධ්‍යස්ථානයට වැඩම කොට ස්වෙච්ඡාවෙන් ප්‍රවීනාචාර්යවරයෙකු ලෙස ක්‍රියාකළ අතර ලක්දිව ධර්ම ශාස්ත්‍ර ප්‍රවීන විවිධ නාහිමිවරුන් හමුවේ ත්‍රිපිටකය, අටුවා, ටීකා ටිප්පනි සහිතව හදාරා තිබූ නාහිමිපාණන්ගෙන් අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයෙන් කෙරුණු ඇරැයුමක් අනුව එහි අභිධර්මය පිළිබඳව ආචාර්යවරයෙකු ලෙස ගරු සේවයක් ලබා දුන්හ.

තම ගුරුදේව වේරකේ ශ්‍රී සුමංගල නාහිමියන් 1973 වසරේ අපවත් වීමෙන් පසු මිහිඳු අරණ්‍ය සේනාසනාධිපති ධූරයට පත්ව එම ආයතනයෙන් වනවාසී භික්ෂුන්ගේ අභිවෘද්ධිය පිණිස කැපවූහ.

වනවාස නිකායේ අනුනායක පදවියද හොබවමින් විශාල භික්ෂු පිරිසක්ද බිහිකළ අතර මහ වනයෙන් වැසී තිබුණු රිටිගල වැනි ඓතිහාසික වන සෙනසුන් රැසක් නැවත භික්ෂූවාසයට සුදුසු පරිදි සකස් කරමින් නිහඬ ශාසනික සේවයක නිරත වූහ.

වනවාස භික්ෂූන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය අනුරාධපුර මෙම සංඝ මූලස්ථානය ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පර්ශ්වය ආරම්භ වීමෙන් පසු තත් පාර්ශ්වයේ වනවාසී ප්‍රාදේශීය සංඝ සභාව ලෙස පිළිගැනිණි. ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහානායක ධුරන්දර අපවත් වී වදාළ අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්ති කඹුරුපිටියේ වනරතන මහ නාහිමිපාණන් වහන්සේ මෙම වනවාස සම්ප්‍රදාය බෙහෙවින් පි‍්‍රය කළහ. එබැවින්ම තම දිවිහිමියෙන් රැකගත් එම සම්ප්‍රදාය හා වනවාසී භික්ෂූන් නූගතුන් ලෙස තිබූ සමාජ සංකල්පය බැහැර කරවමින් දැන උගත් භික්ෂූ පිරිසක් බිහිකරමින් කරගෙන ආ සසුන් මෙහෙවර තවදුරටත් ශක්තිමත්ව ගෙන යන්නට ධෛර්යය ලැබිණි. එමෙන්ම එම සංඝ සභාව මගින් ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක ධූරය ආරණ්‍යක ධර්ම කීර්ති ශ්‍රී යන ගෞරව නාමය සහිතව පිරිනමමින් මෙම සේවාව ඇගයිණි.

මෙබඳු ශාසනික මෙහෙවරක යෙදුණු සුපේශල ශික් ෂාකාමී අප නාහිමියන් වහන්සේ අසනීපව කලක් ප්‍රතිකාර ලබමින් සිට 1998 වසරේ ජුනි 07 වන දින අපවත් වූහ. වසර ගණනක් ගතවුවද සිසු පිරිසත් උන්වහන්සේ හදුනාගත් දායක පින්වතුන් ආදීන්ද බැතියෙන් සිහිකරන අතර අපවත් වීමෙන් සිදු වූ පාඩුව පිරිමැසිය නොහැකි ය.

අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ දීගන අඹකොටේ තපෝවනය 1999 වසරේ දී අප වෙත ලබාදීමෙන් පසු උන්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ඇතිව අප ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර දක්වන වස් සිරි සුගත තපෝවනය වශයෙන් නම් කරන ලදී. මෙහි අපේක්ෂාව වනුයේ අප ආචාර්යෝත්තමයන් වහන්සේ සිදුකළ සසුන් මෙහෙවර ඉදිරියට ගෙන යමින් උන්වහන්සේටද ගෞරව දැක්වීමයි.

අද මෙහි සිදුවන පොහෝදින කාල සටහනට අනුව කෙරෙන සීල සමාදානය, භාවනා වැඩසටහන් ධර්ම සාකච්ඡා ධර්ම දේශනා දහම්පාසල යෞවන සමාජය ආදී සියලු ශාසනික කටයුතු සිදුවන්නේ අප ආචාර්යන් වහන්සේ මෙන්ම මෙම මහඟු සසුන් මෙහෙවර ඉටුකරන්න අපට ශක්තිය හා දහම් දැනුම හා ශික්ෂණය මෙන්ම මෙම පුදබිම අපට ලබා දුන් මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණන් වහන්සේ හා අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන් වහන්සේ කෘතවේදීව සිහිපත් කරමිනි.

අප ගුරුදේව කෙහෙල්පන්නල සිරිසුගතවංශ නාහිමිපාණන් වහන්සේ අපවත් වී ජුනි මස 07 වන දිනට වසර දහයක් සපිරේ. ඒ නිමිත්තෙන් මෙම මස තුළ අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනයෙහි මෙන්ම ශාඛාවන සෙනසුන්හි පින්කම් සංවිධාන වන අතර ප්‍රධාන ගුණානුස්මරණ පින්කම මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේදී ජුනි 28 - 29 යන දිනයන්හිදී පැවැත්වේ.

ඒ අනුව රජරට වනවාස සංඝ සභාවේ උපසම්පදා පුණ්‍යේත්සවය මෙන්ම අයි.සී.සී. නිවාසි පෞද්ගලික සමාගමේ මූලික ධන පරිත්‍යාගයෙන් ප්‍රදේශවාසී බෞද්ධ පින්වතුන්ගේද ආධාර ඇතිව ඉදිකරන ලද ශ්‍රී රාහුල ස්වාමින්ද්‍ර මංගල උපෝසථාගාරය , ධාතු මන්දිරය විවෘත කිරීම හා සංඝගත දක්ෂිණාව ඇතුළු පින්කම් මාලාව ශ්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශවයේ මහානායක ධුරන්ධර අතිපූජ්‍ය, අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් තෛ‍්‍රනිකායික ගෞරවනීය නායක අනුනායක, ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමෙතුමා ඇතුළු ආරාධිත ගිහි පින්වතුන්ගේද සහභාගිත්වයෙන්ද පැවැත්වේ.

සම්බුදු සසුනේ පිළිවෙත් මඟ හඳුනාගෙන පිළිවෙත් කැමතිව එමෙන්ම ආචාර්ය උපාධ්‍යාය ගරු තනතුරෙහි වගකීම් මැනවින් දැන පැවිදි සිසු පරපුරක් සැකසූ වනවාසී සඟ පරපුරට මහත් ආලෝකයක් වූ අපවත් වී වදාළ අප ආචාර්යෝත්තම නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.

______________________________________________________________________________________

දිගන අඹකොටේ සිරි සුගත තපෝවනය


ඉල්වානේ ආනන්ද හිමි

මෙම පුදබිම පිහිටා ඇත්තේ මහනුවර සිට කුණ්ඩසාල පාර දිගන ප්‍රධාන මාවතේ නිලගම හන්දිය අසලින් වැටී ඇති ශ්‍රී රාහුල මාවත ඔස්සේ කි.මී. 02 ක් පමණ ඉදිරියට ගිය විටය. එය මනහර කඳුවැටියකින් වට වූ සිංහල දෙමළ දෙපිරිසම වාසය කරන මහවැලි උදාකළ ගම්මානයකි.

මීට වසර 18 කට පමණ පෙර මහවැලි අමාත්‍යාංශය මගින් එක්දහස් අටසිය ගණන්වල ඉදිවූ පැරණි වතු බංගලාව සහිතව මෙම භූ®මිය භාවනා මධ්‍යස්ථානයක් සඳහා මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේ අධ්‍යක්ෂක අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමිපාණන් වහන්සේ වෙත බාරදෙන ලදී. උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මහනුවර ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මගින් මෙම ආයතනය 1990 සිට 1999 වසර දක්වා සංවර්ධනය කරමින් භික්ෂූන් වහන්සේට සුදුසු තපෝභූ®මියක් බවට පත්කරන ලදී. මූලික පහසුකම්ද නොමැතිව අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ මෙහි වැඩවසමින් ගම්වාසීනට සරල ලෙස දහම් මඟ පෙන්වා දෙමින් කළ අවවාද අද ද අපගේ සිහියට නැගේ. උන්වහන්සේ බෝධිසත්ව ගුණයෙන් යුක්ත යතිවරයෙකි. සම්බුදු සසුනට ස්ථාන ගොඩනැගුවත් එහි ඇලීම උන්වහන්සේ ට නොවීය.

ඒ අනුව මෙම පුණ්‍ය භූ®මිය 1999 වසරේදී බාරදෙන්නට යෙදුනේ මහරගම ධර්මායතනයේ තම සෙවනේ භික්ෂූ අධ්‍යාපනය හා ශික්ෂණය ලද අනුරාධපුර මිහිඳු අරණ්‍ය සේනාසනයේ ඉල්වානේ ආනන්ද ස්වාමින් වහන්සේටය. උන්වහන්සේ තුළ මෙම අන්තේවාසික ශිෂ්‍යයන් වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය එලෙසින්ම සුරක්ෂිත කොට ඇතැයි පින්බිමට එන පින්වතුනට වටහාගන්නට අපහසු නොවේ. සෑම පුර පසළොස්වක පොහෝ දිනකම කාල සටහනකට අනුව කෙරෙන ශීල , භාවනා වැඩසටහන, එකසිය පනහකට වැඩි දරු පිරිසක් අධ්‍යාපනය ලබන දහම් පාසල, තරුණ පිරිස සඳහා පිහිටුවා ඇති සිරි සුගත යෞවන සමාජය, ධර්ම සාකච්ඡා, චාරිකා, ධර්ම දේශනා, ආදී සේවා රැසක් ඉටුකරන මෙම ප්‍රදේශයේ ගිහි පැවිදි දෙපිරිසගේම චිත්තාරාධනාව දිනා ඇති ඉතා වැදගත් පින් බිමක් බවට පත්වන්න ගත වී ඇත්තේ වසර නවයක් වැනි සුළු කාලයකි. මෙම තපෝවනයෙහි වැඩ වසන ස්වාමීන් වහන්සේලා සිදුකරන ආගමික කටයුතු කෙරෙහි පැහැදි බොහෝ පිරිසක් අතහිත දෙන්න අද ඉදිරිපත් වී සිටිති. ගමේ වාසය කරන සුළු පිරිසක් වූ සිංහල පිරිසගේ් මෙන්ම අවට බෞද්ධ පින්වතුන්ගේද නොමද උපකාරය ලබාගෙන විහාරස්ථානයේ විහාරාංග බොහොමයක් සම්පූර්ණ කොට ඇති අතර මෙහි සිදුවන ශාසනික කටයුතු ඉටුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා ගැනීමට ලක්වැසි බෞද්ධ ජනතාවගේ අවධානය යොමුවිය යුතු ස්ථානයක් බව සඳහන් කළ යුතුය.

ප්‍රධාන අනුශාසක ධූරය දරන ශාස්ත්‍රපති පණ්ඩිත ඉල්වානේ ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහි කටයුතු කිරීමේදී තම ජීවිතයට ආලෝකය දුන් තම ගුරු දේවයන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් සදානුස්මරණීය කරනු සඳහා කටයුතු යොදා ඇත. අධ්‍යාපනය ලද මහරගම සිරි වජිරඥාණ ධර්මායතනයේ නමින් දහම් පාසල පවත්වාගෙන යන අතර දස වසරකට පෙර අපවත් වී වදාළ තම ආචාර්යන් වහන්සේ වන ස්‍යාම නිකායික ශ්‍රී රෝහණ පාර්ශ්වයේ රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝ නායක කෙහෙල්පන්නල සිරිසුගත වංස නාහිමියන්ගේ නමින් සිරි සුගත තපෝවනය ලෙස ආයතනය නමින් කළ අතර මෙම ආයතනය තමන් වහන්සේට ලබාදුන් අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නාහිමියන්ගේ නමින් ප්‍රධාන මාර්ගය නම් කොට ඇති අතර, අයි. සී. සී. හා නිවාසි පෞද්ගලික සමාගමේ මූලික ධන පරිත්‍යාගයෙන් බෞද්ධ පින්වතුන්ගේද ආධාර ඇතිව ඉදිකොට ජුනි 28 - 29 යන දිනයන් හිදී විවෘත කෙරෙන ශ්‍රී රාහුල ස්වාමින්ද්‍ර මංගල උපෝසථාගාරයද උන් වහන්සේට පිදෙන ගුරු උපහාරයෙකි.

මෙම තපෝවනයේ සියලු ආගමික වත්පිළිවෙත් සැදැහැවතුන්ගේ සිත් සතුටුවන අයුරින් ඉටු කෙරෙනුයේ උන්වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගෙන් ලද අවවාද හා මඟපෙන්වීම මෙන්ම අධ්‍යාපනය ලැබ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ අපවත්වී වදාළ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන්ගේ හා අම්පිටියේ ශ්‍රී රාහුල මාහිමියන්ගේ ඇසුරින් ආගමික සාමාජික කටයුතු කිරීමට මනා පුහුණුව ලබා ගැනීමට උන්වහන්සේ පින්වත්ත වීමෙනි. එසේම අපවත් වී වදාල ගංගොඩවිල සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේගේ නොමද සහය හා ආශිර්වාදය ලබන්න උන්වහන්සේ හා මෙම ආයතනය භාග්‍යවන්ත විය. තම ආචාර්යන් වහන්සේ කෙහෙල්පන්නල සිරි සුගතවංස නා හිමියන් විසින් මෙම සත්පුරුෂ ඇසුර තම ජීවිතයට ලබාදීම පිළිබඳ කෘතවේදීව උන්වහන්සේ සිහිපත් කරති.

හින්දු භක්තිකයන් බහුතරයක් හා සිංහල සුළු පිරිසක් වෙසෙන මෙම ග්‍රාමයේ ජාතික සමගිය ඇති කිරීමටද මෙම ආයතනයෙන් සිදුවෙන කාර්යභාරය අගේ කළ යුතු අතර ඒ සඳහා වගකිව යුතු ඇත්තන්ගේ අවධානය තවදුරටත් යොමුකළ යුතුªවේ. මෙලෙසින් වර්තමාන යුගයේ බෞද්ධ සිද්ධස්ථානයකින් ජනතාවට ධර්මය නිවැරදිව ලබාදීම බොදු පිළිවෙතට හුරු කිරීම ආදී ඉටුවිය යුතු වගකීම මැනවින් ඉටුකිරීම පිළිබඳ අද මේ ප්‍රදේශයන්හි බෞද්ධ ජනතාවගේ බලවත් ප්‍රසාදයට හේතු වී තිබීම ගමේ දායකයන් ලෙස අපටද මහත් ප්‍රමෝදයකි. ගමේ සියලු සමිති, සමාගම් විහාරස්ථානයට ඒකරාශී කොට වැඩිහිටි, තරුණ, ළමා යන සියලු දෙනාටම බොදු පිළිවෙත ගරු කරන අප දම්පියස මුළු රටටම දහම් සිසිලස ලබාදෙන දහම් සෙවනක් වේවා.

-----------------------------------------------------------------------

රජරට වනවාස සංඝ සභාව සහ උපසම්පදාව


දිගන අඹකොටේ තපෝවනය ආරම්භ කළ අම්පිටියේ
ශ්‍රී රාහුල මාහිමි

1986 වසරේ අතිපූජ්‍ය පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍යශූරී කඹුරුපිටියේ වනරතන මහ නායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ස්‍යාමෝපාලි ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ප්‍රාදේශීය සංඝ සභාවක් ලෙස අපවත් වී වදාළ කෙහෙල්පන්නල සිරිසුගතවංස නාහිමියන්ගේ මූලිකත්වයෙන් 1992 වසරේ දී ආරම්භ විය. එම වසරේ සිට වසර දෙකකට වරක් ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහ නායක මාහිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි වනවාසී පිළිවෙතට අනුකූලව අනුරාධපුර මිහිඳු ආරණ්‍යයේ දී උපසම්පදා විනය කර්මය සිදු කෙරිණි. ඒ අනුව අටවැනි උපසම්පදාව වර්තමාන මහනායක ධුරන්ධර අතිපූජ්‍ය මහෝපාධ්‍යාය අත්තුඩාවේ ශ්‍රී රාහුල මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජරට වනවාස සංඝ සභාවේ වර්තමාන ප්‍රධාන සංඝ නායක කළුගල රතනජෝති නා හිමියන්ගේ ද ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත ගලපාත සුමන ස්වාමීන් වහන්සේගේ ද අනුශාසනා පරිදි රජරට වනවාස සංඝ සභානුබද්ධ මහනුවර දිගන අඹකොටේ සිරි සුගත තපෝවන විහාරස්ථ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර මංගල උපෝසථාගාරයේ දී ජූනි 28 – 29 යන දිනයන් හි පැවැත්වීමට ප්‍රධාන අනුශාසක පණ්ඩිත ඉල්වානේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ සිරි සුගත ශාසනාරක්‍ෂක සමිතිය කටයුතු යොදා ඇත.



තපෝවනයේ ඉදිවෙමින් පවතින උපෝසථාගාරය

------------------------------------------------------------------------

වැඩ සටහන

කෙන්ගල්ල අඹකොටේ ශ්‍රී රාහුල මාවතේ සිරි සුගත තපෝවනයේ ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර උපෝසථාගාරය, ධාතු මන්දිරය විවෘත කිරීම හා කෙහෙල්පන්නල සිරි සුගතවංස නා හිමි දසවර්ෂ පූර්ණ ගුණසමරු පින්කම හා රජරට වනවාස සංඝසභාවේ උපසම්පදා පුණ්‍යෙීත්සවය මෙම 28, 29 දිනවලදී සිදු කැරේ.

දිගන අඹකොටේ සිරි සුගත තපෝවනයේ ඉදි කරන ලද උපෝසථාගාරය අම්පිටියේ ශ්‍රී රාහුල මා හිමියන් වහන්සේට උපහාර පිණිස ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍ර උපෝසථාගාරය ලෙස නම් කිරීම ධාතු මන්දිරය විවෘත කිරීම සංඝගත දක්‍ෂිණාව උපසම්පදා පුණ්‍යේත්සවය ශ්‍රී රෝහණ පාර්ශ්වයේ මහනායක රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති මහෝපාධ්‍යාය අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය ගතාරේ ධම්මපාල අනුනාහිමි, රජරට වනවාස සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක කළුගල රතනජෝති නාහිමි, අමරපුර ධර්මරක්‍ෂිත නිකායේ අනුනායක තිරිකුණාමලේ ආනන්ද අනුනාහිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සංඝරත්නයේ හා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතා මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපතිතුමා, මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු ආරාධිත පින්වතුන්ගේ සහභාගීත්වයෙන් එම පින්කම් මාලාව සිදු කැරේ.

28 වන දා පෙරවරු 9 ට චෛත්‍යයේ සලපතල මළුව හා ප්‍රතිසංස්කරණය කරන ලද ධර්ම ශාලාව විවෘත කිරීමද, පෙරවරු 10 ට සධාතුක කරඬුව ධාතු මන්දිරයේ තැන්පත් කිරීමද පස්වරු 3 ට ධාතු මන්දිරය හා උපෝසථාගාරය විවෘත කිරීමද 3.20 ට සිරි සුගතවංස නාහිමි ඡායාරූපය නිරාවරණය කිරීම හා පූජෝපහාර දැක්වීමද 3.30 ට උත්සව සභාවද පවැත්වේ. පස්වරු 6.30 අභිනව ධාතු මන්දිරයේ ප්‍රථම ගිලන්පස පූජාව සිදු කැරේ. රාත්‍රී 7 ට අභිනව උපෝසථාගාරයේ දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව තලල්ලේ චන්දකිත්ති හිමියන් හා හිඟුරේ පඤ්ඤාසේකර හිමියන් විසින් පවත්වනු ලැබේ.

29 වන දා පෙරවරු 6 ට ප්‍රථම කිරිපිඬු දානය පූජා කිරීම ද පෙරවරු 7 ට හීල් දානයද 9 ට පැවිදි පින්කමද, 10.30 දවල් බුද්ධ පූජාවද 10.45 සංඝගත දක්‍ෂිණාවද පැවැත්වෙන අතර පස්වරු 2 ට උපසම්පදා පූජෝත්සවයේ කටයුතු ආරම්භ වේ.

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]