UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉවසීම නමැති දිව ඔසුව පානය කර සුවපත් වෙමු

අද මංගල සූත්‍රයෙහි අට වන ගාථා රත්නය කෙරෙහි පින්වත් ඔබ සැමගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි. එහි උතුම් මංගල කාරණා හතරක් ඇතුළත් වෙයි. ඉවසීම, අවවාද අනුශාසනා පිළිගැනීම, ශ්‍රමණයන් වහන්සේ දැකීම, සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම යන මංගල කාරණා හතර අන්තර්ගත එම ගාථාව මෙසේ ය.

ඛන්තී ච සොචචස්සතා
සමණනංච දස්සනං
කාලෙන ධම්ම සාකච්ඡා
එතං මංගල මුත්තමං

ඛන්ති, ක්‍ෂාන්ති, ක්‍ෂමා, නිතිකඛ යන වචන වලින් ඉවසීමේ ගුණය හඳුන්වනු ලැබේ. මෙහි වචනාර්ථය උසුලා සිටීම දරා සිටීම, යන්නයි. එසේ දරා සිටිය යුතු දේ බරක් විය යුතු ය. මිනිස් සිතේ විවිධාකාර බර හට ගනියි. දුක් පීඩාව, අසහනය ආදී බර මේ යටතේ නම් කළ හැකි ය. එම බරහට ගන්නා මූල රෝග බීජය කෝපය, තරහා වෛරය ලෙස හැඳින්විය විය හැකි ය. මෙන්න මේ කෝපය නැමැති බර දරා ගැනීමේ ශක්තිය ඉවසීමයි. අන්‍යයන් ඔබට ආක්‍රෝශ පරිභව කරන විට නින්දා අපහාස කරන විට, විවිධ ගර්ජන, තර්ජන කරන විට ඔබට කායික මානසික හිංසා කරන විට සියල්ලම විඳ දරා ගනිමින් ඒ සඳහා විරුද්ධ ප්‍රතික්‍රියා නොකොට මධ්‍යස්ථ වීම, ඉවසීමේ ගුණයයි, මෙම ඉවසීමේ ද අවස්ථාදෙකක් ඇත යමෙක් තමන්ට නිල, ධන පරිවාර ආදී බල ඇතිව තමන්ට වඩා දුබලයාගේ ගැහැට ඉවසයි නම්, එය ශ්‍රේෂ්ඨ ඉවසීම් ගුණයයි. සමහරු බලවතකුගේ ගර්ජන තර්ජන ඉවසන්නේ තම දුබලතාව හා නැති බැරිකම නිසයි. එය, නියම ඉවසීමේ ගුණය නොවෙයි.

සිතේ හට ගන්නා කෝපය, තරහා, වෛරී ස්වභාවය සමඟ ගැටෙන එකම ධර්මය, ඉවසීමේ ගුණයයි. මේ කේන්ති ගති මිනිස් සන්තානය තුළ නිතර උද්ගත වෙයි. ඊට හේතු ලෙස ධම්මපදයෙහි මෙසේ දක්වා ඇත.

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මෙ
යෙ නං උපනය්හන්ති
වෙරං තේසං න සම්මති

මට බැන්නා, ගැසුවා, මා පරාජය කළා, මා සතු දේ පැහැර ගත්තා යැයි නිතර එබඳු සිතිවිලි මනසෙහි ඇති වීමත් සමඟ වෛරය කෝපය හට ගනියි.

මෙසේ හට ගන්නා ඉක්මන් කෝපය නිසා මිනිස් ස්වභාවය වෙනස් වෙයි. ප්‍රකෘති සිහිය විකෘති වෙයි. හරි වැරැද්ද නොතේරෙයි. කළ යුත්ත නොකළ යුත්ත තීරණය කර ගත නොහැකි වෙයි. ධර්මය, අධර්මය තෝරා බේරා ගත නොහැකි වෙයි. ‘කුදෙධා අත්ථං න ජානාති, කුදෙධා ධම්මං න පස්සති’ යන බුදු වදනින් ද මේ බව අවධාරණය වී ඇත.

එබඳු කෝපයක් චිත්ත සන්තානයෙහි ඇති වීමත් සමඟ පුද්ගලයාගේ අභ්‍යන්තරයම දූෂිත වෙයි. ඉන් බාහිරව ඇති වන ගැටුම අති භයානක වෙයි. කල කෝළහල, මිනී මැරීම්වලට මඟ සැළසෙයි. ඒ හැරුණු විට මෙ සන්තානගත මේ තරහ කෝපය නිසා ශාරීරික ලේ ධාතුව අපවිත්‍ර වී මුළු සිරුරම අපිරිසුදු වෙයි. ශරීරය දුර්වර්ණ වෙයි. විවිධ රෝගාබාධ වලට කෝපය මූල බීජයක් වෙයි.

අද මිනිසාගේ හදවත් රෝග ලේ විසම රෝගාදියට ද මූලික හේතුවක් ලෙස නිතර හට ගන්නා කෝපය හඳුන්වා දිය හැකි ය. එවන් කෝපයක් ඇති වූ විට අපට නො කළ හැකි අපරාධයක් ද නැත. එම නිසා තමා විසින්ම තමා කෙලෙසා ගන්නා, අපවිත්‍ර කරගන්නා තම මිනිස්කම නැති කර ගන්නා මේ කෝපය යටපත් කර ගැනීමට ඇති එකම ඖෂධය, ඉවසීමයි. ඉවසීමෙන් සැනසීම ලැබේ. යනුවෙන් සඳහන් කොට ඇත්තේ ද ඉවසීම කෙළවර සැනසුම ගෙන දෙන බවයි. එය සදාතනික සිද්ධාන්තයකි. එසේම ඔබ කෝප කරන්නාට ඉවසීම පසෙකලා කෝපයෙන්ම පිළිතුරු දෙයි නම්, එය ඔබ කෝපාවිෂ්ට වූ පුද්ගලයාට වඩා පාපිෂ්ටයකු කරයි. එය, බල්ලෙක් ඔබේ කකුල සපා කෑ පසු, ඔබත් ඒ බල්ලාගේ කකුල සපා කෑම වැනි ය. එසේම එය, ඔබට මඩ ගැසූ පුද්ගලයාට, ඔබ ද මඩට බැස (ඔහුට) මඩ ගැසීමක් වැනි ය.

සෑම අවස්ථාවකදීම යමෙක් මේ ඉවසීම නමැති කඩුව දරයි නම්, ඔහුට කිසි දුර්ජනයකුට ළං විය නොහැකි බව ‘ක්‍ෂමා ඛග්ග දරො යස්‍ය දුර්ජනඞ කිං කර්ඝපති’ යනුවෙන් පෙන්වා දී ඇත.

අද මිනිස් සමාජය විවිධ විසමාචාර වලින් ගහණ ය. හැම විටම මිනිසා වෛරය, තරහා, ඊර්ෂ්‍යාව වපුරවමින් සිටියි. නිරන්තරව කෝපාග්නියෙන් දැවි දැවී පසුවෙයි. අද කළ කෝළහාල අවුල් වියවුල්, මිනී මැරීම්, යුදගිනි ඇවිලී ඇත්තේ, මේ නිසාය. යුද කෝලාහල, මිනී මැරීම්, නැති සමාජයකට එකම මඟ තම තමන්ගේ සිත්වල ඇති කෝපය, වෛරය නමැති ගින්න ඉවසීම නමැති සිසිල් පැනින් නිවාලීමයි. එවිට මිනිස් සන්තානයේ සාමය, සීලය, සමාධිය, ප්‍රඥාව යන උතුම් ගුණාංග වර්ධනය වෙයි. සමානාත්මතාව ප්‍රායෝගික වෙයි. රටේ සාමය, සමාදානය ඇති වෙයි.

සුනාපරන්තවාසී පුණ්ණ තෙරුන් සැරියුත් තෙරුන් ආදී මහ රහතන් වහන්සේගේ චරිතාදර්ශවලින්, අපට ද ඉවසීමේ පාඩම ඉගෙන ගත හැකි ය. පාරමිතා ධර්මයක් ලෙස බුදුරදුන් සපුරා ලු මේ ඉවසීමේ ගුණ ඔබේ ජීවිතයට ද එක් කර ගෙන, ඔබත් දෙලොව සැනසෙන උතුමකු වන්න.

සුවච බව

දෙවන මංගල කාරණය වන්නේ සොචචස්සතා යන්න යි. ඉන් පැහැදිලි කැරෙන්නේ සුවච බවයි. කීකරු බවයි. මවුපිය, ගුරුවරු, වැඩිහිටියන්ගේ අවවාද, අනුශාසනාවලට අවනත වීම, ඒවා පිළිගැනීම මංගල කාරණයක් ලෙස මෙහිදී අගය කරයි.

මෙලොව උපත ලද අපි සියල්ල දත් අය නොවෙමු. උපතේ සිට මරණය දක්වාම විවිධ දේ උගත යුතු ය. මේ සඳහා ගුරුවරු සිටිය යුතු ය. අපට කවුරු හෝ හොඳ නරක කියා දෙයි නම්, යා යුතු මඟ කියා දෙයි නම්, දැනුම වැඩුමට මඟ පෙන්වා දෙයි නම්, ඒ සියලු දෙනා ගුරුවරු ලෙස හැඳින්විය හැකි ය.

මේ සඳහා වයස් ප්‍රමාණයක් කළ නොහැකි ය. තම වරද කුඩා අයෙකු හෝ පෙන්වා දෙයි නම් එය පිළිගැනීම, එම වරද නිවැරැදි කර ගැනීම, සුවච බවේ ලක්‍ෂණයයි. එහෙත් කියන දේ පිළිගැනීම කළ යුත්තේ නිදහස්ව සිතා විමසා බලා ය.

අද සමහර අයගේ උපදේශන තමන්ටත්, අන් අයටත්, මෙලොවටත්, පරලොවටත්, හානිදායක විය හැකි ය. එම නිසා අසන දේ ක්‍රියාත්මක කිරීමේ දී ඉන් තමන්ට අන් අයට යහපත සැලසෙන්නේ නම් ආගම ධර්මයට, හෘදය සාක්‍ෂියට එකඟ නම් පමණක් ඒවා පිළිගැනීම, ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙයි. ගුරු ගෞරවය ද වැදගත් වෙයි. ගුරුවරයා ආදර්ශවත් වීමත් විශ්වාසන්ත වීමත් සමඟම ගුරුවරයා පිළිබඳ ගෞරවය වැඩි වෙයි.

ඔහුගේ බසට අවනත කීකරු සිසුවකු වෙයි. මේ ගුරු සිසු සබඳතා මතයි, ඉගෙනුම සාර්ථක වන්නේ. ගුරුවරයා කෙරෙහි දක්වන ගෞරවය සිසුවාගේ ප්‍රගතියේ ආශිර්වාදය වෙයි. සැරියුත් තෙරුන් තම ගුරුවරයා වන අස්සජී මහ රහතන් වහන්සේ වැඩ සිටින පැත්තට වැඳ නමස්කාර කොට ගෞරව කිරීම, හැම දිනකම සිදු කොට ඇත. රාහුල තෙරුන් හැම දිනකම උදෑසන වැලි දෝතක් ගෙන එපමණට තමන්ට අවවාද ලැබීමට ප්‍රාර්ථනා කර ඇත. මේ සුවච ගුණයයි.

“ගුරුර දේවො භව“ යන්නෙන් පෙන්වා දී ඇත්තේ ද ගුරුවරයා දෙවියකු බවයි. අද හැම පුද්ගලයෙක්ම විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ, උසස් රැකියාවල නිරත වී සිටින්නේ මේ ගුරු දෙවිවරුන්ගේ ආශිර්වාදය මතයි. ගුරුවරයකු නොමැති කිසි පුද්ගලයෙක් මෙලොව නොමැත. එම නිසා එදා මෙන්ම අදත් ගුරු සිසු සබැඳියාව හොඳින් තිබිය යුතුයි. මේ සඳහා බුදුරදුන් සිඟාලෝවාද සූත්‍රයේ දී,

අන්‍යෝන්‍ය සබැඳියාව ඇති කරන යුතුකම් මාලාවක් පෙන්වාදී ඇත. මේවා ඔබත් අනුගමනය කොට ගුරුබසට සවන් දී ගුරු ගෞරවය ඇතිව ඉගෙන ගෙන රට දැයට ප්‍රයෝජනවත් ජීවිතයක් ගත කරන්න.

ශ්‍රමණයන් වහන්සේ දැකීම

ඊළඟ මංගල කාරණය ශ්‍රමණයන් වහන්සේ දැකීමයි. “සමණ්තංච දස්සනං” යනුවෙන් පෙන්වා දී ඇත්තේ, එයයි. මෙහි ශ්‍රමණ යනු කෙලෙස් සමනය කළ අයයි. රාගාදී කෙලෙස් ප්‍රහීණ කළ අයයි. මෙන්න මේ රාගාදී කෙලෙසුන් නැසූ අයගේ සිතේ රත්වීමක් නැත. සිත ශාන්ත ය. නිවුණු ස්වභාවයක් දර්ශනය වෙයි. මෙහි දී අදහස් වන්නේ, වීතරාගී රහතන් වහන්සේගේ නිවුණු ශාන්ත විරාගී ගුණ දැකීම, සිහි කිරීම, මංගලයක් බවයි. දකින රූපයට වඩා එම රූපය තුළ ඇති ගුණය දර්ශනය වීම, ශ්‍රමණයන් දැකීම යන්නෙන් ගම්‍ය වෙයි.

හාමුදුරුවන් වහන්සේ නමකගේ දර්ශනයද ඉතා වැදගත් වෙයි. ඒ දර්ශනය තුළ ඇති ගුණාත්මක අංශය දර්ශනය වීම, ඊටත් වඩා වැදගත් වෙයි. ඇසින් දකින රූපය පමණක් අදහස් කරගෙන එය මංගලයක් ලෙස අර්ථකථනය කිරීම එතරම් නිවැරැදි නැත. කෙසේ වෙතත් ඕනෑම පැවිදි රුවක් දැකීම යහපත් දර්ශනයක් වෙයි. එහි නියම ඵලදායීතාව ඇති වන්නේ එම දර්ශනය සමඟ උන්වහන්සේගේ ගුණාත්මක භාවය දැක සතුටු වීමෙනි.

අද සමහර අය උදෑසන පැවිදි රූපයක් දැකීම අශුභයක් ලෙස සළකන බව පෙනෙයි. හිස මුඩු කරගත් කසාවත් හැඳගත් ගිහි දිවිය අත්හළ භික්‍ෂුව “අශුභ දර්ශනයක්” ලෙස සැලකීම, විශාල පාප කර්මයකි.

ඒ රූපයේ වටිනාකම නොදැනීම, අබෞද්ධ කමකි. ශාසන බ්‍රහ්මචරියාවේ හැසිරෙන ප්‍රතිපත්ති මාලාවක් පුරන යම් ශීලයක පිහිටි මේ උදාරතර පුද්ගලයාගේ දර්ශනය ආශිර්වාදයකි. සමහර විට භික්‍ෂු වේශධාරී දුශ්චරිතවත් චෞර “භික්‍ෂු ප්‍රතිරූපකයෝ” සිටිති. එම කොටස සියලු භික්‍ෂු පිරිස ඇතුළත් කර කළ නොහැකි ය.

හිමාලය වැනි විශාල වනාන්තර වල වගවළසුන් මැද වූවද සෘෂිවරු උසස් තාපසවරු සිටිති. එසේම අනෙක් අතට මෙම සසුන නමැති ආරණ්‍යයෙහි ද චීවරය පොරවා ගත් විසම පැවතුම් ඇති ශ්‍රමණයින් සිටිය හැකි ය.

අද සමහර බෞද්ධයෝ අපිරිසුදු සිවුරු දරා රැවුල වවා පාත්‍රය ඇතැතිව වැඩ සිටින භික්‍ෂූන් දැක පැහැදෙති. සිල්වතුන් ලෙස පිළිගනිති. එසේම පිරිසුදු සිවුරු දරන පාවහන් දරන භික්‍ෂූන් දැක දුසිල්වත් භික්‍ෂූන් යැයි සිතති.

මේ සාධක මත සිදු කැරෙන මෙවැනි ඇගැයීම් වැරැදි විය හැකි ය. භික්‍ෂුව ඉතා පි‍්‍රයශීලී පවිත්‍ර දුටුවන් පහද වන චර්යා ඇති කාර්යශීලී පුද්ගලයෙකු විය යුතු ය. එදා භික්‍ෂූන් වහන්සේ තුළ පැවැති සියලු ශ්‍රමණසාරුප්‍ය ගුණය අද භික්‍ෂුව තුළද පවතියි. ඒ විනය නීති එලෙසම ක්‍රියාත්මක කැරෙයි. කාලානුරූපව හා දේශානුරූපව සුළු සුළු වෙනස්කම් නැත්තේ නොවෙයි. එහෙත් ඉතා සීඝ්‍රව වෙනස් වන මානව සමාජය තුළ මේ භික්‍ෂු සමාජයේ එතරම් නව වෙනස්කම් සිදු වී නැත. එම නිසා එවැනි භික්‍ෂුව දැකීම ප්‍රසාදයට හේතුවකි. මංගල කාරණයකි.

සුදුසු කල ධර්ම සාකච්ඡා කිරීම

මෙම ගාථාවෙහි ඇතුළත් අවසාන මංගල කරුණ වන්නේ කාලෙන ධම්ම සාකච්ඡා යන්නයි. සුදුසු කාලයෙහි ධර්මය පිළිබඳ කතාබහ කිරීම, එහි ගැඹුරු වටහා ගැනීමට අපහසු තැන් පිළිබඳ සාකච්ඡා කිරීම ඉන් අදහස් කැරේ. ධර්ම ශ්‍රවණයටත් වඩා ධර්ම සාකච්ඡාව ඵලදායී වෙයි. අසන බන දින කීපයකින් බොහෝ දෙනාට අමතක වී යයි.

එහිදී සමහර විට නොවැටහෙන දෙයකි. නැවත විමසීමේ අවස්ථාව අහිමි වෙයි. එහෙත් ධර්මය සාකච්ඡා කිරීම තුළින් ධර්ම කරුණු දිගු කලක් සිතේ ධාරණය වෙයි.

ගැඹුරු දහම් කොටස් විස්තර වශයෙන් තේරුම් ගත හැකි වෙයි. දහම් දැනුම වර්ධනයට මහත් පිටු බලයක් වන්නේ එබැවින් ධර්ම සාකච්ඡා ක්‍රමයයි. බොහෝ බෞද්ධයෝ කතාබහට, සාකච්ඡාවට දක්‍ෂයෝ ය.

එහෙත් සසර දුක නිවන ධර්ම කතා බහට යොමුවීම ඉතා අඩු ය. ධර්ම සාකච්ඡා කිරීම මෙලොව ජීවිතය සාර්ථක වීමට සහ පරලොව ජීවිතය සැපවත් වීමට හේතුවන උතුම් මංගල කාරණයකි.

සැදැහැබර ඔබ මේ මංගල කාරණා කීපය සිතට ගෙන, ඒවා ක්‍රියාත්මක කොට, ඔබේ දොලොව යහපත උදා කර ගැනීමට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට තෙරුවන් බෙලෙන් ශක්තිය උදාවේවා.

බද්දේගම මහගොඩ කන්ද ඉසිපතනාරාමවාසී, බද්දේගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ගා/ක්‍රිස්තුදේව පිරිමි මහා විද්‍යාලයේ ආචාර්ය, බද්දේගම සමථ මූල, මණ්ඩල සාමාජික, ශාස්ත්‍රපති

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]