UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නැවත උපත හෙළි කරන සත්ව චර්යා

සී. ඩබ්ලිව්. කුලසේකර

සම්බුදු දහමට අනුකූලව සියලු සත්ත්වයෝම යෝනි සතරකට යටත්ව උත්පත්තිය ලබන්නෝය. ‘අණ්ඩජ’ යනු බිජු වලින් උපත ලබන සත්ව ගණයකි. ජලාබුජ ගණයට අයත් වනුයේ මවු කුසකින් ඍජුවම මෙලොව එළිය දකින්නා වූ සතුන්ය. මිනිසා ද මේ වර්ගයට අයත් වෙයි. සංසේදජ’ යනු මැසි මදුරු ආදි කුඩා කෘමි විශේෂ තෙත් පරිසරයක උත්පත්තිය ලැබීමයි. ඉහත වර්ග තුනටම හාත් පසින්ම වෙනස් අන්දමකට එනම් ඕපපාතිකව උපත ලබන සත්ත්වයන්ද සිටින බව බුදු වදනෙන් හෙළි වෙයි. දෙව් බඹහු ඕපපාතික ක්‍රමයට උපත ලද අය වෙති.

හුදෙක් මිනිසාගේ චර්යා හා පුරුදු රැඳී පවතිනුයේ ජානමය සාධක සංස්කෘතික සාධක මත බව, පැහැදිලිය. මිනිස් නොවන වෙනත් තිරශ්චීන සතුනට යම් කිසි වූ ක්‍රියාකාරකමක් පිළිබඳ වැටහීමක් ලබා දුන් විට එයට අනුකූලව හැසිරීමට නොහැකි වන බවක් ඉන් කිසිවිටකත් ගම්‍ය නොවේ. මන්ද යත් විවිධ විසම වූ ක්‍රියාකාරකම් වලට අනුකූලව හැසිරෙන සතුන් දක්නට ලැබෙන බැවිනි. විදුලිය බොත්තම් ක්‍රියා විරහිත කරන පූසන්, තරමක් වැඩිවියට පත් වු ළමයකු ලවා වැඩිහිටියන් ඉටුකොට ගන්නා සුළු - සුළු වැඩ ඉටු කර දෙන්නා වු සුනඛයන්, මනුෂ්‍යයනට ඉතා සමීප වූ අලි - ඇතුන් ආදී සතුන් පිළිබඳ නිදසුන් පරිසරයෙන් ලබා ගන්නට හැකිව ඇත.

සියලු සතුන් යෝනි සතරකට අයත්ව උත්පාද වන බව මුලදී සඳහන් කළෙමි.

එහි සඳහන් වු අණ්ඩජ හා ජලාබුජ වර්ගවලට යටත් වූ ජීවින්ගේ (මිනිසා පිළිබඳ යමක් පැවසීම පසුවට තබමි) හුදෙක් ජානමය සාධකයන්ටම අනුකූලව චර්යාව හැඩ ගැසෙන්නේ නම්, එම සත්ත්ව පරම්පරාවට අයත් නොවන ක්‍රියාකාරකම් පිළිබඳ ආභාෂයක් ඇතැම් සත්වයන් ලබනුයේ කෙසේ ද? මෙම ගැටලුවට පිළිවදනක් සැපයීමට බුදු දහමේ වැදගත් සන්ධිස්ථානයක් වන පුනර්භවය සැලකිල්ලට ගැනීමෙන් හැකි වන බව වටහා ගත හැකිය. භවය සකස් වී ජාතිය හෙවත් උත්පත්තිය ලැබෙන අයුරු, බුදුරදුන් දෙසුවා වූ හේතු - ඵල ධර්මතාව අනුසාරයෙන් සැළකිල්ලට ගත හැකි වන්නේය.

පටිච්ච සමුප්පාදයේ මූල ධර්මයට අනුව තණ්හාව නිසා තදබල ආකර්ශණය හෙවත් උපාදානය ඇතිවන බවත්, ඒ නිසාම භවය හෙවත් කර්ම රැස් කිරීම ඇති වන බවත් අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉමහත් සුපැහැදිළි බවකින් අපහට සාක්ෂාත් කොට ඇත.

කෙටියෙන් පවසතොත් සත්ත්වයා යන්න බුදුරජාණන් වහන්සේ අර්ථ දක්වා ඇත්තේ රූප, වේදනා, සංඥා , සංස්කාර හා විඤ්ඤාණ යන පංච ස්කන්ධයට ඇල්ම ඇති කරගත් තැනැත්තා ලෙස ය.

බුදු දහමේ පටිච්චසමුප්පාදය අනුසාරයෙන් ජීවියකුගේ මෙළොව දිවියට එයට පෙර වූ ආත්මභවයන්හි යම් යම් චර්යා සහ පුරුදු බලපෑම් එල්ල කරන බව වටහා ගත හැකිය.

කෙටියන් පවසතොත් සියලු චර්යා හා පුරුදු වලට සෘජුවම බලපානුයේ ඒ අදාළ තැනැත්තාගේ සිතිවිල්ල හෙවත් චේතනාවයි. (චේතනා හං භික්ඛවේ කම්මං වදාමි) බුදුරදුන්ගේ දර්ශනය එයයි.

බාල වියේදීම සංකීර්ණ ගණිත ගැටලු පහසුවෙන් විසඳන කුඩා දරුවන්, නා නා විධ භාෂා කතා කරන බිළිඳුන්, කුමන හෝ පෙර පුහුණුවක් නොලබා මුල් අවධියේ දීම විවිධ වදන් දොඩන දරුවන් ආදීන් පිළිබඳ නිදසුන් , විදේශ රටවලින් පමණක් නොව අප රටෙන්ද පහසුවෙන් දැක්විය හැකි ය.

මිනිසා සතු මෙවැනි ඇතැම් අසාමාන්‍ය හැකියා පෙර සංසාරගත පුරුදු ආභාෂයෙන් ඇතිවන බවට අනුමාන ඤාණයක් ඇති කරගත හැකිය.

දරුවකු මවු කුස තුළ සිටින කාලය තුළ මවගේ සිතිවිලි දරුවා කෙරෙහි බලපාන බව, පිළිගත් මතයකි.

එහෙත් මවගේ කුමන හෝ අනුදැනුමක් නැතිව පෙර භවය පිළිබඳ තොරතුරු පවසන කුඩා බිළිඳුන් සිටින බව රහසක් නොවේ.

කලලයක් මවු කුසක පිළිසිඳ ගැනීමට නම් ස්ත්‍රී හා පුරුෂ බීජ එක් වීම ප්‍රමාණවත් නොවන බවත්, ඉන් පරිබාහිර වූ සාධක එනම් ගන්ධබ්බයකුගේ ආගමනය සිදුවිය යුතු බවත් මනෝ විශ්ලේෂකයෝ පවා පිළිගනිති.

මෙම කරුණු සැලකිල්ලට ගතහොත් සත්වයාට පුනර්භවයක් ඇති බව අපගේ ඤාණයට වටහාගත හැකි බව සිතමි.

සත්ත්ව චර්යාවලට පෙර භවවල යම් යම් ක්‍රියාකාරකම් බලපෑම් එල්ල කරන බවත් මේ පිළිබඳ භෞතික හා ජීව විද්‍යාත්මක පර්යේෂණ බටහිර හා යුරෝපා රටවල සාර්ථක අන්දමින් සිදුවන බවත් සිහිපත් කරමි.

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]