UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මැදින් මහිම

ඓතිහාසික වාග් විද්‍යාව අනුව මැදින් මහ යන්න හැදිල තියෙන්නේ ‘මධ්‍ය’ යන්න මැද බවටත්, පාන යන්න පැන් බවටත්, සන්ධ්‍යා යන්න සැඳෑ බවටත් පරිණාම වූවා සේ මහා ධාන්‍ය යන්න ‘මහදින් ‘ වී පසුව ‘මාදින් වී අන්තිමේදී මැදින් වෙලයි. මහ කන්නයේ අස්වැන්න නෙළන මාසයක් මැදින්මහ යනුවෙන් හැඳින්වෙන්නේ ඒ නිසයි. බුදු හිමියන් බුද්ධත්වයේදී නෙළාගත් මහා ධාන්‍යය වන්නේ අරහත් පලයයි. ඒ ආරිය අස්වැන්න තමන් වහන්සේගේ ඥාතීන් වන ශාක්‍යවංශිකයන් අතර බෙදාදීම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කරන ඓතිහාසික ගමන ආරම්භ වූයේද මැදින්මස පුන් පෝ දිනකයි.

බුදු හිමියන් විසින් ලොවට හඳුන්වා දුන් ආරියඵල නමැති මහා අස්වැන්න මතු වන්නේ තම තමන් තුළින්මය. ඒ නිසා ඒවා නෙළාගත යුත්තේ ද තම තමන් විසින්ම ය. බුද්ධාගමේ නිෂ්ඨාව වන්නේ තමා විසින්ම ආරිය ඵල නමැති අස්වැන්න නෙළා ගැනීමයි. බුද්ධාගමේ ඇති විශේෂත්වයත් එයයි.

බෞද්ධයන් භුක්ති විඳින්නේ තමා විසින් වවාගෙන තමා විසින්ම නෙළාගත් ආරිය අස්වැන්නයි. අනෙක් ආගම්වල අභිප්‍රාය වන්නේ තමන්ගේ නිෂ්ඨාවන් ඉටුකර ගැනීම සඳහා තමන්ගෙන් බාහිරව ඇති බලවේගයක නොහොත් දේවත්වයක පිහිට ඉල්ලමින් යාච්ඤා කිරීමයි. එහෙත් බෞද්ධයෝ යනු ඉල්ලාගෙන කන්නෝ නොව වවාගෙන කන්නෝ ය.

බෞද්ධයන් පතන පරම සැපත වන නිවන් සුවය තම තමන් තුළම ඇති සුවයක් නිසා එය අත්ථි සුඛයක් ලෙස හැඳින්වේ. අණන සුඛය යනු එය කාගෙන්වත් ණයට ඉල්ලා ගත්තක් නොවන බවයි. භෝග සුඛය යනු තමා තුළ ඇති ඒ පරම සුවය තම තමන් විසින්ම භුක්ති විඳිය හැකි බවයි. අනවජ්ජ සුඛය යනු එය කිසි දෝෂයක් නැති  ලෝකෝත්තර සුවයක් බවයි.

ලෞකික සැපවල ප්‍රධාන දෝෂය වන්නේ, දිරාපත් වී, මරණයට පත්වීමයි. ලෝකෝත්තර සුවය අජරාමර වන්නේ් එය ජරාවට මරණයට පත් නොවන නිසයි. බුදු හිමියන් මැදින් පුන් පොහෝ දිනයක තමන් වහන්සේගේ ජන්ම භූමිය වන කිඹුල්වත පුරබලා බුද්ධත්වයෙන් පසු යන ප්‍රථම ගමන ආරම්භ කළේ ඒ අජරාමර සුවය නමැති ආරිය අස්වැන්න තමන් වහනසේගේ ඥාතීන වන ශාක්‍ය වංශිකයන් හා බෙදා හදා ගැනීමටයි.

තම තමන් තුළ ඇති අජරාමර නිවන් සුවය නිරාමිස සුවයකි. ජරාමරණයට පත්වන ආමිස සුවය අපට ලැබෙන්නේ අපේ ඉන්ද්‍රියයන් මගින් බාහිරෙන්. අජරාමර නිවන් සුවය අපට ඇත්දැකිය හැකි වන්නේ බාහිරෙන් සැප ඉල්ලා හිඟා කන අපේ ඉන්ද්‍රියයන් සංවර වූ තරමටයි. ඉන්ද්‍රිය යන්නෙහි තේරුම අධිපති යන්නයි. අපේ ඉන්ද්‍රිය බාහිර සැප ඉල්ල ඉල්ලා අපට අධිපතිකම් කරන්නේ අප ඉන්ද්‍රියයට වහල් වී සිටින නිසයි. ඉන්ද්‍රිය සංවර කර ගැනීමය කියන්නේ ඉන්ද්‍රියන්ට වහල් නොවී ඒ ඉන්ද්‍රියය තමන්ට වහල් කර ගැනීම යි. කීකරු කර ගැනීම යි.

පුරිස දම්ම සාරථි යැයි කිව හැකි වන්නේ පෞද්ගලික පෞරුෂය මර්ධනය කරගෙන ඉන්ද්‍රියයන් සංවර කර ගත් අයෙකුටයි. පෞරුෂ මර්ධනය වෙනුවට පෞරුෂ වර්ධනය අවශ්‍ය වන්නේ ලෞකික සැප සම්පත් ලබන්නයි. පෞරුෂ මර්ධනයක් අවශ්‍ය වන්නේ ලෝකෝත්තර සුවය ලබන්නටයි.

ලෝකෝත්තර කියන්නේ ලෝකයට අයිති දේ ඉක්මවා ගිය තත්ත්වයකටයි. ලෞකික කියන්නේ ලෝකයට අයත් දේට යි. ලෝකය කියන්නේ අපේ හිතේ මැවෙන ප්‍රතිරූප දේශයකට නොහොත් චිත්ත රූප වලින් සෑදෙන කාල්පනික ප්‍රතිනිර්මාණයකටයි. අපේ හිතේ මැවෙන කාල්පනික ලෝකය මිස අපෙන් පිට තියෙන සැබෑ ලෝකය අපට අත්දකින්න බැහැ. හිතේ මැවෙන ඒ මායා ලෝකය නොහොත් කාල්පනික ලෝකය යථාර්ථ සත්‍යයක් නොවෙයි.

සත්‍ය ලෝකය, හිතෙන් මැවෙන ලෝකයක් නොවෙයි. සිත නොහොත් සිතුවිලි ඉක්මවා ගිය ලෝකයක්. ලෝකෝත්තර යන්නෙහි අර්ථය හිත ඉක්මවා ගිය යන්නයි. ලෝකය කියන්නෙ හිතටයි. ඒ ලෝකය කියන්නේ බඹයක් පමණ වන මනුෂ්‍ය ශරීරය තුළ බවයි. ‘ඛ්‍යාමමත්ත කලෙබරෙ පඤ්ඤාපෙම් ලොකංච’ යන බුද්ධ පාඨයේ අදහස. අප ඉන්නේ අපේ ශරීර කූඩුව තුළ මැවෙන මේ කායල්නික ලෝකය බදාගෙනයි. බුදුහාමුදුරුවන් කීවේ ඒ ලෝකය අතාරින්න කියලයි. බෞද්ධ විමුක්තිය කියන්නේ් මේ අතැරීමට යි.

අපි හිතෙන් අල්ලාගෙන බදාගෙන ඉන්නේ, අපේ හිතේ මැවෙන සංකල්පය නොහොත් ප්‍රතිරූපයි. අපි දුක් විඳින්නේ මෙසේ චිත්ත රූප බෙදාගෙන ඉඳීම නිසයි. ‘සංඛිත්තෙන පංච උපාදානක්ඛන්ධාපි දුක්ඛා’ කියලා බුදු හිමියන් වදාළේ ඒකයි. පංචස්ඛන්ධය කියන්නේ ඒ චිත්තරූප මැවෙන ලෞකික ක්‍රියාවලියටයි. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ කියන්නේ ඒ ක්‍රියාවලියටයි.

රහතන් වහන්සේට රූප, වේදනා, සඤ්ඤා, තිබුණාට උන්වහන්සේට සංඛාර, විඤ්ඤාණ නැහැ. ඒ නිසා උන්වහන්සේගෙ හිත විරුද්ධ වෙන්නේ. සඤ්ඤා වෙදයිත නිරෝධයෙනුයි. එසේ විරුද්ධවන තුරු උන්වහන්සේගේ හිත පවතින්නේ ඉන්ද්‍රියයන්ට ස්පර්ශ වන නිමිති දැනෙන මට්ටමෙනුයි. ඉන් අදහස් වන්නේ උන්වහන්සේට විවිධ නිමිති දැනුණත් උන්වහන්සේ ඒවා ගැන සිතමින් සිතුවිලි පහළ කර නොගන්නා බවයි. දැනෙන දේ දැනෙන මට්ටමින් පමණක් සිත පවත්වා ගන්නා බවයි. සංඛාර කියන්නේ සිතට දැනෙන දේ ගැන සිතමින් කුසල් හෝ අකුසල් හෝ මධ්‍යස්ථ හෝ සිතුවිලි සකස් කර ගැනීමයි. විඤ්ඤාණ කියන්නේ ඒ මගින් භවයෙන් භවයට සංසාරය දික් කරන චිත්ත කාන්දම් නිපදවා ගැනීමයි. රහතන් වහන්සේගේ් සිත්වලට විවිධ සඤ්ඤා දැනුණත් ඒ දැනීම මුල් කරගෙන සංඛාර හෝ විඤ්ඤාණ පහළ වන්නේ නැහැ. ඒ නිසයි උන්වහන්සේ ගේ සිත් නිවී සැනසුණු මට්ටමක පවතින්නේ. නිවනට විඤ්ඤාණය කියා කියන්නේ. නිවන් දැකිය හැකි වන්නේ විඤ්ඤාණය ක්ෂය වූ සිතකින් පමණක් වන නිසයි.

බුදු හිමියන් ඉතා ශාන්තදාන්තව පිඬුසිගා වඩින සැටි දුටු මොහොතේම දාරුචිරිය නොහොත් බාහිය නම් තවුසාට දැනුණේ බුදුන් වහන්සේ සිත්සතන් නිවාගත් උත්තමයකු බවයි. එසේ සිත්සතන් සපුරා නිවි සැනසෙන සැටි විමසූ බාහිය තවුසන්ට බුදු හිමියන් වදාළේ ‘දිට්මේ දිට්ඨ මත්තං භවිස්සති සුතෙ සුත මත්තං භවිස්සති මුතෙ මුත මත්තං භවිස්සති, විඤ්ඤානෙ විඤ්ඤාන මත්තං භවිස්සති’ කියලයි. ඉන් අදහස් වන්නේ සිත්සතන් නිවි සැනසුණු උත්තමයන් ඉන්ද්‍රියන්ට දැනෙන දේ දනිමින් ඉන්නව මිසක්, ඒවා ගැන වැඩි දුරට නොසිතන බවයි.

අප එදිනෙදා ජීවිතයේදී කරන්නේ අපේ සිතට දැනෙන ඉන්ද්‍රිය සංඥාවන්ට කැමැති වී හෝ අකැමැති වී හෝ ඒවා ගැන මුලා වී ඒ පිළිබඳ සිතුවිලි පහළකර ගැනීමයි. සංඛාර යනු එසේ සිතිවිලි පහළ වීමයි. යමකට කැමැති වී හෝ අකමැති වී හෝ සිතිවිලි පහළ කර ගැනීමෙන් සිදුවන්නේ විඤ්ඤාණ නමැති චිත්ත කාන්දම් නිපදවීම යි. ඒ විඤ්ඤාණ ශක්තියෙන් සිදුවන්නේ නැවත නැවත උප්පත්ති ලබාදෙමින් සංසාරය දිගු කිරීමයි. රහතන් වහන්සේ නැවත උප්පතියක් නොලබන්නේ උන්වහන්සේ තුළ සංඛාර හා විඤ්ඤාණ පහළ නොවන නිසයි. උන්වහන්සේ අත් දකින නිවන ‘විඤ්ඤාණක්ඛය’ නමින් හැඳින්වෙන්නේ ඒ නිසයි.

අභිධර්මයේදී විඤ්ඤාණ නමැති චිත්ත කාන්දම් හැඳින්වෙන්නේ ‘වායෝ භූත’ නමිනුයි. රහතන් වහන්සේ තුළ වායෝ භූත නමැති චිත්ත කාන්දම් නැති බවයි මූල පරියාය සූත්‍රය අග සඳහන් වන්නේ. එසේ චිත්ත කාන්දම් නැති නිසා රහතන් වහන්සේ ගේ සිත් කම්පා නොවන බවයි ‘ඵුට්ඨස්ස ලොක ධම්මෙහි චිත්තං යස්ස න කම්පති’ යන මහා මංගල සූත්‍ර පාඨයෙන් කියැවෙන්නේ.

අපට දැනෙන අපේ උඩු සිතේ සිතිවිලි හැදෙන්නෙ අපේ යටි සිත වන භවාංග චිත්ත දහාරාව කම්පනයට පත්වීමෙන් බවයි අභිධර්මයේ සඳහන් වෙන්නේ. භවාංග චිත්තය කියන්නේ ස්ථාවර දෙයක් නොවෙයි. භවාංග චිත්තය ප්‍රවාහයක්. භවාංග ශ්‍රෝතය කියන්නේ භවාංග චිත්ත ප්‍රවාහයටයි. එම භවාංග ශ්‍රෝතය ඉන්ද්‍රිය ගෝචර නිමිත්තකින් කම්පා වී චිත්ත වීර්යක් ආරම්භ වීමටයි භවාංග උපච්ඡේදනය කියා කියන්නේ. එසේ උපච්ඡේදනය වන භවාංග චිත්තය ප්‍රකෘති ස්වරූපයේදී ප්‍රභාස්වර බවයි ‘පභස්සරමිදං භික්ඛවෙ චිත්තං’ යන බුද්ධ වචනයෙන් අදහස් වන්නේ.

රහතන් වහන්සේට තියෙන්නේ භවාංග ස්වරූපයේ ප්‍රභාස්වර චිත්තයක්. ඒ නිසා උන් වහන්සේට නිදාගත්ත යටි සිත හා අවදි වෙච්ච උඩු සිත කියා සිත් දෙකක් නැත. අපේ උඩු සිත අවදි වී තියෙද්දී අපේ යටි සිත තියෙන්නේ නිද්‍රෝපගතවයි. රහතන් වහන්සේ ගෙ උඩු සිතවත්, යටි සිතවත් කිසිම විටක නිද්‍රෝපගත නොවේ. රහතන්වහන්සේ ‘ජාගරියානු යෝගො’ නමින් හැඳින්වෙන්නෙ උන්වහන්සේගෙ සිත් නිතරම අවදියෙන් තිබෙන නිසයි.

රහතන් වහන්සේ දැනෙන දේ දනිමින් සිටියට දැනෙන දේ ගැන කිසිවක් නොසිතන්නේ උන්වහන්සේ චේතෝ විමුක්තියට පත්ව සිතීමෙන් මිදී සිටින නිසයි. අප අපට දැනෙන දේ ගැන හිතන්නෙ ඊට කැමැති වන රාගය හෝ ඊට අකමති වන දෝසය හෝ එය හරිහැටි නොවැටහෙන මෝහය නිසයි.

රහතන් වහන්සේ කියන්නේ රාග, දෝස, මෝහ මුළුමනින් දුරුකළ උත්මයන්ටයි. කළයුතු සියල්ල ඉටුකර අවසන් වූ නිසා ‘කතකිච්චො’ නමින් හැඳින්වෙන උත්මයන්ටයි. උන්වහන්සේට හිතන්න දෙයක් ඉතිරි වී නැත්තේ කරන්න දෙයක් ඉතිරි වී නැති නිසයි. ඒ නිසා උන්වහන්සේ ගෙන් සිද්ධ වන්නේ දැනෙන දේ දනිමින් ඒ අනුව ඉබේ ක්‍රියාත්මක වීමයි. නැතහොත් නිරායාසයෙන් ක්‍රියාත්මක වීමයි. නොසිතා ක්‍රියාත්මක වීමයි.

සිතීම සඳහා ‘සිතන කෙනෙකුන්’ ක්‍රියා කිරීම සඳහා ක්‍රියා කරන කෙනෙකුන් සිටිය යුතුයි. එසේ සිතන හා ක්‍රියා කරන කෙනෙක් ඇත යන මතය හඳුන්වනු ලබන්නේ ‘සක්කාය දිට්ඨිය’ නිමිනි. ඒ දිට්ඨිය මුළුමනින්ම නැති වෙන්නේ සෝවාන් ඵලය ලැබීමේදීයි. ඉන්පසු ෂඩෙන්ද්‍රියන්ම නිරායාසයෙන්ම මිස ආයාසයකින් ක්‍රියා නොකරන බවයි. චෙඡාගිඨානානි අභබ්බො කාතුං’ යන රතන සූත්‍ර පාඨයෙන් අදහස් වන්නේ. ඒ අනුව සෝවාන් ඵලයෙන් පසු ෂඩෙන්ද්‍රිය කි‍්‍රයාත්මක වන්නේ මමය මාගේය යන හැඟීමෙන් ක්‍රියාකරන්නකු නැතිවයි.

රතන සූතුයේදී ‘නෙ තෙ භවං අට්ඨමං ආදියන්තී’ යැයි කියන පරිදි සෝවාන් වීමෙන් පසු අටවෙනි ආත්මයකට නොගොස් ආත්ම හතක් ඇතුළතදී රහත් වී පිරිනිවන් පාන්නේ, ආත්මීය හැගීමකින් යුතුව කිසිම ක්‍රියාවක් නොකර නිරායාසයෙනුයි. එසේ නිරායාසයෙන් ක්‍රියාත්මක වන්නේ රතන සූත්‍රයේ එන ‘සහාවස්ස දස්සන සම්පදාය’ යන පාඨය අනුව ලැබෙන නිවැරැදි දර්ශනය නොහොත් සම්මා දිට්ඨිය අනුවයි. ඒ අනුව පහළ වන සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, හා සම්මා සමාධි අනුවයි. ඒ මගින් අත්දකින්නට ලැබෙන නිවන අලුතෙන් උපදින දෙයක් නොවෙයි.

කරන දේකුත් සකස් කරන දේකුත් සිද්ධවන දේකුත් නොවෙයි. නිවන ‘අජාත’ ය කියන්නේ එය නුපදින දෙයක් බවයි. අකතය කියන්නෙ කරන දෙයක් නොවන බවයි. අභූතය කියන්නේ සිද්ධ වන දෙයක් නොවන බවයි.

අසංඛතය කියන්නේ සකස් කරන දෙයක් නොවෙයි යන්න යි. ඒ අනුව රහත් වී අත්දකින නිවන ය කියන්්නේ අප තුළම තියෙන සනාතන ධර්මයක්. අප තුළින් අපට නෙළාගත හැකි මහා ධාන්‍ය නොහොත් මහා අස්වැන්න, නිවන් සුවයයි. එය පිටින් ගත හැකි දෙයක් නොවේ. අප තුළින් පමණක් මතු වන දෙයක්. මිල මුදලක් නොගෙවා ඉබේම ලැබෙන දෙයක්. ‘ලද්ධා මුධා නිබ්බුතිං භූඤ්ජමානා’ යන රතන සූත්‍ර පාඨයෙන් කියැවෙන්නේ රහතන් වහන්සේ තමන්ට නොමිලේම ලැබන නිවන් සුවය භුක්ති විඳිමින් සිටින බවයි.පෙර කී පරිදි නිවන අත්ථි සුඛයක් යැයි කියන්නෙ එය තමා තුළම තියෙන සුවයක් බවයි. අණන සුඛයක් යැයි කියන්නෙ අනුන්ගෙන් ණයට ගත හැකි සුඛයක් නොවන බවයි. භෝ ග සුඛයක් යැයි කියන්නෙ තම තමන්ටම භුක්ති විඳිය හැකි සුවයක් බවයි. අනවජ්ජ සුඛයක් යැයි කියන්නෙ කිසිම දෝෂයක් නැති නිර්දෝෂී සුවයක් බවයි. ඒ නිදොස් සුවය අපට ලැබෙන්නේ අප තුළ තිබෙන සියලු දොස් අයින් වුණාට පස්සෙයි.

එනම් අප තුළ තිබෙන සියලු දොස්වලට මුල්වන කෙළෙස් මළ අයින් වුණාට පස්සෙයි.අප තුළින් කෙළෙස් මළ අයින් වී නිවන් සුවය මතු වීම, හැම කිළිටි කළුවක්ම අයින් වූ පස් ගල් අඟුරු කැබෙල්ල දීප්තිමත් දියමන්තියක් වීම වගෙ වැඩක්. දියමන්ති හැදෙන්නෙ ගල් අඟුරුවලින්. අපේ හිතත් හරියට ගල් අඟුරු වලක් වගෙයි. කෙලෙස් මළ පිරිලා.

ආලෝකො උදපාදි කිව හැකි පරිදි නිවන් සුවය මතු වන්නෙ, ඒ ගල් අඟුරු වල (කෙළෙස් මළ) මුළුමනින් නැතිවෙලයි. ඉන් පසු මතු වන නිර්වාණ ධර්මය වටිනා දියමන්තියක් වැනි මැණිකක් බවයි.

‘ඉදම්පි ධම්මෙ රතනං පනීතං’ යන රතන සූත්‍ර පාඨයෙන් අදහස් වන්නේ. ඒ මාණික්‍ය රත්තනය තමා අපට අප තුළින් නෙළාගත හැකි මහා ධාන්‍ය නොහොත් අගනාම අස්වැන්න.

මැදින් අව අටවක

   මැදින් අව අටවක පෝය මාර්තු 29 වැනිදා සෙනසුරාදා අපරභාග 02.17 ට ලබයි. 30 වැනිදා ඉරිදා අපර භාග 04.09 දක්වා පෝය පවතී
සිල් සමාදන්වීම මාර්තු 29 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 05 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]