UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සොඳුරු නිවස අපායක් කරන මත් රකුසා

ලෝකයට බිහිවන කුඩා දරුවාට මුලින්ම හඳුනා ගැනීමට ලැබෙන්නේ තම පියා මව සහ සහෝදර සහෝදරියන් ඇතුළු තම පවුලයි. මෙම පවුල් සංස්ථාව පිළිබඳ කථා කිරීමේදී ප්‍රධාන පවුල් දෙකක් තිබෙන බව සඳහන් කළ යුතුය. එනම්,

1. න්‍යෂ්ටික පවුල

2. විස්තිර්ණ පවුල යනුවෙනි

මෙහිදී සඳහන් වන න්‍යෂ්ටික පවුල යන්නෙන් අදහස් කරන්නේ, මව පියා සහ දරුවන් පමණක් අයත් පවුල්ය. විස්තිර්ණ පවුල වශයෙන් සඳහන් කරන්නේ පවුලේ ඥාතීන් සහිත සාමාජිකයන් රාශියකගේ එකතුවයි. සමාජයට ගැලපෙන ඉතා හොඳ සාර්ධර්මවලින් හෙබි යහපත් පුද්ගලයෙකු බිහිකිරීමට විශේෂයෙන්ම මව, පියා දරුවන් සහිත පවුල මගින් සිදුවිය යුතු කරුණු කාරණා රාශියක් ඇත. විශේෂයෙන්ම ඉතා සතුටින් යුතුව සමගියෙන් සාමයෙන් ජීවත්වන මෙම උතුම් පවුල් පරිසරය දෙව් ලොවකට සමාන කළ හැකිය. ඊට හේතුව පවුල තුළ සාරධර්මවලට මුල්තැන දෙන්නේ නම් අනිවාර්යෙන්ම සමාජයේ අපරාධ නැති වී හොඳ පවුල් පරිසරයක් සහ සමාජයක් ගොඩනැඟේ. අතීතයේ අපේ රටේ තිබුණු පවුල් පරිසරය ඉතා සුන්දරය. එහි අම්මත් තාත්තාත් දරුවනුත් අසල්වාසීන් වාගේම ඥාතිනුත් හරිම සතුටින් සමගියෙන් සහෝදරත්වයෙන් යුතුව ජීවත් වුණා. නමුත් අද සොඳුරු පවුල් ජීවිත විනාශ කරන මත් රකුසකුගේ පැමිණීම නිසා ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. අපේ බුදුහාමුදුරුවෝ සිඟාලෝවාද සූත්‍රයේදී සිඟාල නම් සිටුපුත්‍රයාට තමන්ගේ් ජීවිතය විනාශ වන, තමන්ගේ් ධනය විනාශවන, තමන්ගේ සතුට, තමන්ගේ් පවුල ඇතුළු මුළු සමාජයම විනාශ වන ඉතා වැදගත් කාරණා 6 ක් දේශනා කළා. මෙය හඳුන්වලා තියෙන්නේ ධන විනාශ මුඛ හය කියලා. මේ ධන විනාශ මුඛ හයෙන් ඉතා වැදගත් කාරණාවක් ලෙස මත්පැන් පානයෙහි යෙදීම සඳහන් කරන්න පුළුවන්.

ගෙදරක මත්පැන් පානය කරන්නේ නැත්නම්, එවැනි නරක දේවලට කිසිම සම්බන්ධයක් නැත්නම් ඒ ගෙදර දෙව් ලොවකට සමාන කරන්න පුළුවන්. ගෙදර ඉන්න අම්මා නිතර සතුටින් ඉන්නේ. දරුවෝ හරිම සතුටින් ඉන්නේ. ගෙදර ළඟ ඉන්න අසල්වාසීන්, නෑදෑයෝ ඔක්කොම කිසිම බයක්, සැකක් නැතිව සතුටින් ඉන්නවා. ඒ වෙන මොකවත් නිසා නොවෙයි අර ළඟ ගෙදර මතට තිත තබා තිබෙන නිසයි.

නමුත් මත්පැන් පානය කරන ගෙදරක් ළඟ තිබුණොත් ඒ ගෙදර පරිසරයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ගෙදරක තාත්තා බොනවා නම්, අරක්කු පෙරනවානම්, අරක්කු විකුණනවානම් ගෙදර ඉන්න බිරිය හෙවත් අම්මාට ජීවිතේ සැනසිල්ලක් නෑ. නිතරම ඉන්නේ බයෙන් කොයි වේලාවේ තමන්ගේ මනුස්සයා බීලා ගෙදර එයිද දන්නේ් නෑ. මොන විනාශයක් කරයිද දන්නේ නෑ කියලා තමයි ඉන්නේ. ඒ විතරක් නොවෙයි ගෙදර ඉන්න තමන්ගේ් දරුවෝ ටික තාත්තා එනවා කියන කොට බය වෙනවා. අපි දන්නවා සමහර ගෙවල්වල දරුවෝ අම්මලා රාත්‍රිය නොඑන තරමට හොඳයි කියලා ප්‍රාර්ථනා දරනවා. රෑ වුණොත් එළිවෙන්නේ කොයි වේලාවේද කියලා කල්පනා කරනවා. සමහර දරුවෝ හිතනවා රෑ වුණාහම අපේ තාත්තාට විජහට නින්දවත් යවන්නේ් නෑ නේ කියලා. ගෙදරම ඉන්න අයට මෙහෙ ම හිතෙන කොට ළඟ අහල පහල මිනිසුන්ට ඥාතීන්ට මොනවා හිතෙනවා ඇත්ද? මත්පැන් බොන, පෙරන, විකුණන ඒවාට අනුබල දෙන අය හොඳට හිතලා බලන්න ඔබ කරන දෙයින් ඔබේ පවුලේ ජීවත්වන අය මුළු ජීවිත කාලයටම මහ දුක්මුසු ලෙස ඒවා ජීවිතෙන් විඳවන බව.

බුදු හාමුදුරුවො සිඟාල ගෘහපති පුත්‍රයාට මත්පැන් පානයේ ආදීනව ඉතා හොඳට විස්තර කරලා දෙනවා. මේ කරුණු හොඳට හිතලා බලන්න. මේ කරුණුවලට අවුරුදු දෙදහස් පන්සියක් ගියත් අදට වාගේම අනාගතයටත් මේවා මේ විදිහටම සිදුවෙනවා. මේ කරුණු බොරු කියලා ඔප්පු කරන්න කාටවත් බෑ.

බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මත්පැන් පානය කරන කෙනාගේ ධනය ටික ඇස් ඉදිරිපිටම විනාශ වෙනවා කියලා. බලන්න මේ කරුණ හොඳ සිහියෙන් හිතලා. සමහරු බොන්න තමන් ළඟ තිබෙන සල්ලි ටික ඔක්කෝම වියදම් කරලා ගෙදර තියන බඩු පවා විකුණලා බොන මිනිස්සු තරුණයෝ අපේ රටේ ඉන්නවා. බීලා වෙරි හිදුණාට පස්සේ කල්පනා කරනවා අනේ මම ගෙදර වඩු ටිකත් විකුණුවානේ කියාල. ඒ විතරක් නොවෙයි අපේ මිනිස්සු කොච්චර බීමත්කමට අබ්බැහි වෙලාද කීවොත් ගේ දොර ඉඩකඩම් වගේම තමන්ගේ දරුවන්ගේ කණ කරාබු පවා විකුණලා බොන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. තමන් සිහි බුද්ධියෙන් ඉන්න කොට හරිහම්බ කරගත් දේ සුළු මොහොතකදී විනාශ කර ගන්න තරම් අපේ මිනිස්සු මෝඩ ද? මෙහෙම තමන්ගේ් ධනය විනාශ කරගෙන ඊට පසුවදා ඉඳලා හැම තැනටම ණයකාරයෙක් වෙලා ගමේ හැම දෙනාටම අප්‍රසන්න පුද්ගලයෙක් බවට පත්වෙනවා.

සමහර අය අරක්කු නිසා බලපුළුවන්කාරකම් පෙන්වනවා. නමුත් ඒවා වැඩිකල් පවතින්නේ් නැති බව සිතට ගන්න ඕන. එහෙම කරන කොට තමන්ට සැනසිල්ලකුත් නෑ. දරුවන්ට බිරියට සැනසිල්ලකුත් නෑ. ඒ පවුල්වල හැමදාම ප්‍රශ්න. සමහර අය අරක්කු බලෙන් ගම, ප්‍රදේශය, රට හොල්ලගෙන ඉන්නවා. ඒ මිනිස්සු බිරිය, අම්මා, තාත්තා දරුවෝ , නෑදෑයෝ හාමුදුරුවෝ අඳුනන්නේ නෑ. ඒ තරමටම ඔවුන් ගුණ ධර්ම වලින් පිරිහිලා. ඒ මිනිස්සුන්ට ගමේ රටේ මිනිස්සු මොකවත් නොකිව්වාට සිත් තුළින් කොච්චර නම් අප්‍රසාදය පළ කරනවා ද? මේ කරුණු කිසිම දෙයක් සිංහලයාට විතරක් වෙනදේවල් නොවෙයි. මත් පැනට සම්බන්ධ කවුද ඒ හැම දෙනාටම පොදු ධර්මතාවක් තමයි ඉහත සඳහන් කළේ. ඒවාට ගිහි පැවිදි දුප්පත්, පොහොසත්, කුල මල ජාති ආගම් භේද නෑ. ඊළඟට මත්පැන් පානය කරන පුද්ගලයා නිසා කලහ වැඩිවීමද සිදුවේ. හැමදාම ඒ ගෙදර රංඩු. දරුවන්ට ඉගෙන ගන්න වේලාවක් නෑ. පාඩම් කරන්න වේලාවක් නෑ. ගෙදර දොර බඩු පොලවේ ගහනවා.

බිරියට වැඩිහිටියන්ට, දරුවන්ට ගහනවා. නොයෙක් පරුෂ වචන කියලා දෝෂාරෝපණය කරනවා. මේ වගේ නොයෙකුත් දේවල්වලින් රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම මත්පැනට ඇබ්බැහි පුද්ගලයාගේ ලක්ෂණයයි. කොතනැද රණ්ඩු එතනට කොහෙන් හරි මත්පැන් සම්බන්ධ වෙලා ඇති. මත්පැන් පානය කරන පුද්ගලයාට නිතරම නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීමද සිදුවේ. රෝහල්වලට ගිහිල්ලා බලන්න, මත්පැන් නිසා අපේ මිනිස්සුන්ට හැදිලා තියෙන ලෙඩ රෝග මොනවාද කියලා. සමහර ලෙඩ රෝග සුව කරන්න බැරි තරම්. සමහර අය මානසික ලෙඩ්ඩු වෙලා. ඒ නිසා මේවා දැක දැකත් අපේ මෝඩ මිනිස්සු මේවට යොමුවීම ඉතා ඛේදජනකයි. බොන මිනිහාගේ ගුණ මැකිලා අපකීර්තියක් මුළු ගම. රට පුරා පැතිරිලා යනවා. ඒ මනුෂ්‍යයා කියන දේ කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. සමහර වෙලාවට තමන්ගේ බිරිඳවත්, දරවන්වත්, ඥාතින්වත් අසල්වාසීන්වත් ඒ වචන පිළිගන්නේ නෑ. එම නිසා මෙම බීමත්කම ආදරයෙන් ගොඩනැගුණු පවුල් පරිසරය විනාශ වෙනවා.

බොන පුද්ගලයාට ලැජ්ජා භය නැති වෙනවා. බිරිය දරුවන් වාගේම තමන් මෙලොවට බිහිකරපු අම්මා තාත්තාවත් හඳුන්නැති තත්ත්වයට ඔහු පත්වෙනවා. ඇඳුම් නැතිව වුවත් මහ පාරේ ගමන් කිරීමට ඔහුට පුළුවන් ඒ හැම දෙයක්ම හැකි වන්නේ බීමත්කම නිසයි. සමහරු බීලා කරන නරක හැසිරීම් ඔබ දැකලා ඇති. බිව් මිනිසෙක් බිව් වේලාවට කරන කියන දේවල් වීඩියෝ කරලා පෙන්නුවොත් ඔහුට මේ ඉන්නේ මම ද කියලා හිතෙයි. ඒ නිසා බිව් මිනිසාට ලැජ්ජා භය නැතිවෙලා යනවා.

අවසාන ආදීනවය තමයි බිව් පුද්ගලයාට හොඳ කල්පනාවක් නෑ. එනම් නුවණ දුර්වල වෙලා යනවා. ඔහු කියන කරන දේ ඔහුටවත් තේරෙන්නේ නෑ.

මානසික රෝගීන් මෙන් ඔවුන් ජීවත් වෙති. ඔහු හිතාගෙන ඉන්නේ මට මුළු ලෝකයම ඉන්නවා කියලයි. එසේම මම තමයි ගමේම, රටේම චණ්ඩියා කියලා ඔහු හිතනවා. ඒ තරමටම ඔහුගේ මොලේ නරක්වෙලා.

පින්වත් වැඩිහිටියනි, පින්වත් තරුණයනි, ගොඩක් මත්පැන් පානය කරන්නේ ඔබයි. මේ කරුණු කාරණා ගැන හොඳට හිතලා බලන්න. විවාහයට පත්වෙන කොට නම් හැම සතුටක්ම ළඟට ගෙනල්ලා දෙනවා කියලා කියනවා. එහෙම කියලා මුළු පවුලටම අපායක් නිර්මාණය කරන්න ඔබ කටයුතු කරනවා. මිහිපිට සමහර පවුල් තියෙනවා ඒවා හරියට දෙව්ලොවවල් වගේ.

එහෙම වුණේ මත්පැනින් තොර වුණ නිසයි. ඒ නිසා ඔබත් ඔබේ පවුල දෙව්ලොවක් කරන්නට නම් මේ මහා විනාශකාරී මත් උවදුරෙන් මිදෙන්න කටයුතු කරන්න. ඔබට හැමදා සැනසිල්ල උදා වෙනවා.

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]