UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අඩ සිය වසක් සපුරන රත්මලානේ ශ්‍රී රත්නාරාමය


ඔලබොඩුවේ රතනපාල නා හිමි


කෙවිටියාගල ධම්මසිද්ධි නා හිමි


සූරියගොඩ සිරිධම්ම නා හිමි

රත්මලාන අත්තිඩිය පාරේ ශ්‍රී රත්නාරාමය අඩ සිය වසරක් සපුරයි. රත්මලානේ ශ්‍රී රත්නාරාමයේ ආදි කර්තෘන් වහන්සේ පණ්ඩිත ඔල බොඩුවේ රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. එදා වගුරු බිමක්ව පැවැති එම භූමිය පුද බිමක් බවට පත්කිරීම උන්වහන්සේගේ මූලික අදිටන වීය. ධර්මාචාර්යවරයන් වහන්සේ නමක්ද වූ ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ මහත් උත්සාහයෙන් 1958 දී කුඩා සංඝාවාසයක් ඇරැඹූහ. අනතුරුව බෝධීන් වහන්සේ නමක් රෝපණය කරවූහ.සම්බුදු මැඳුරක් ද තැන වූ උන්වහන්සේ විහාරාංග එක් කරමින් ප්‍රදේශයේ දූ දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කරවීමේ අරමුණින් තාවකාලික ශාලාවක් තුළ දහම් පාසල ඇරැඹූහ.

සෙත්කවි කලාවෙන් සහ ඡ්‍යොතිෂ දැනුමෙන් ද පෝෂණය වී සිටි රතනපාල නාහිමියෝ ජනතා ප්‍රසාදයට පත්වෙමින් අගනා ආගමික හා සාමාජික සේවාවන් රැසක මාර්ගෝපදේශකයාණන් වහන්සේ නමක් වූහ.

එසේ මහඟු සේවාවන් රැසක නිරතව වැඩ සිටි ඔලබොඩුවේ රතනපාල නාහිමියෝ 1979 මැයි මස 14 වැනි දා අපවත් වී වදාළහ. අනතුරුව නැගෙනහිර පස් යොදුන් කෝරළයේ ප්‍රධාන සංඝනායක කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමියෝ රත්නාරාමයේ විහාරාධිපති ධූරයට පත්වූහ. ධම්මසිද්ධි නාහිමියෝ් පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේ සහ රත්මලාන පරමධම්ම චේතිය පිරිවෙනේ ද ආචාර්ය වරයකු ලෙස ද සේවය කළහ

“සුධර්ම” නමින් ධර්ම ශාලාවක් ද කුඩා ප්‍රමාණයෙන් රමණීය දාගැබක් ද නව විහාරාංග ලෙස විහාරස්ථානයට එක් කරමින් ධම්මසිද්ධි නාහිමියෝ රත්නාරාමය දන මන පුබුදන විහාරස්ථානයක් බවට පත් කිරීමට මහත් වෙහෙසක් දැරූහ. එසේ ශාසනික සේවාවේ නිරතව වැඩ සිටි කෙවිටියාගල ධම්මසිද්ධි නාහිමියෝ 1985 ඔක්තෝම්බර් 26 වන දා අපවත් වී වදාළහ. අනතුරුව රත්නාරාමාධිපති ධූරයට පත් වූයේ බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධ්‍යාභිධාන සූරියගොඩ සිරිධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ නමකි. තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි මෙන්ම පළාත්වාසීන්ගේ ද ගෞරවයට ලක්ව වැඩ සිටින උන්වහන්සේ ක්‍රියාශීලී යතීන්ද්‍රයන් වහන්සේ නමකි. රත්මලාන රත්නාරාමයේ වත්මන් නවෝදයේ අනුශාසකයන් වහන්සේ වන සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවෝ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සහකාර විදුහල්පති හිමියෝද වෙති.

ශ්‍රී රත්නාරාමයේ මෙතෙක් පැවැති අඩුපාඩු සපුරාලමින් නව විහාරාංග රැසක් ඉදි කරවමින් ප්‍රදේශයේ අගනා පුදබිමක් බවට පූජනීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සිරිධම්ම නාහිමියන් ගන්නා උත්සාහය පැසසිය යුතු ය.

රත්නාරාම ශ්‍රී රතනපාල දහම් පාසලේ අභිවෘද්ධිය පතා මහත් කැපවීමෙන් කටයුතු කරන සූරියගොඩ සිරිධම්ම නායක හාමුදුරුවන් දහම් පාසල මුල් කර ගනිමින් ගෙවී ගිය වසර කීපය පුරා සිදු කර ඇති සමාජ සුබ සාධන සේවාවන් රැසකි.

සීමිත ඉඩකඩක වූවද පවත්වා ගෙන යන දහම් පාසල 2003, 2004, 2005 යන වසරවලදී සමස්ත ලංකා හොඳම දහම් පාසල බවට පත්විය. පන්සියයකට අධික සිසුහු සංඛ්‍යාවක් වත්මනෙහි එම දහම් පාසලේ දහම් දැනුමෙන් පෝෂණය වෙති.

මෙරට දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතා ඇති ඉගෙනීමට දක්‍ෂ දරුවන් වෙත වාර්ෂික අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපනික උපකරණ පිරිනැමීම, පාසල්වල ත්‍යාග ප්‍රදාන සඳහා අවැසි ත්‍යාග ලබාදීම රත්නාරාමයේ සමාජ සුබ සාධන සේවාවන්ගෙන් කීපයකි.

සීමිත ඉඩකඩ මගින් වූවද පෙරටත් වඩා මහත් සමාජ මෙහෙවරක් ඉටුකිරීමේ අරමුණින් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරවීමට මෙයට වසර කීපයක සිට සැලසුම් කර ඇත.

රත්මලානේ ශ්‍රී ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් විහාරස්ථ දායක සභාව, ශ්‍රී රතනපාල දහම් පාසලේ දෙමවුපිය සංගමය, දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු දරුවන් හා එක්ව සැමරුම් කාර්යයන් රැසක් සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ අතර ධර්ම දේශනා, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්, ළමා අධ්‍යාපන සත්කාර වැඩ සටහනක්, වැඩිහිටි ප්‍රජා සත්කාර සේවාවක්, ධර්ම ග්‍රන්ථ එළිදැක්වීමක්, හා සාමණේර හිමිවරුන් පනස් නමක් උදෙසා පිරිවෙන් උපකරණ පිරිනැමීමක් සිදු කිරිමටකටයුතු යොදා ඇත.

ආගමික හා සාමාජික මෙහෙවර උදෙසා දිවා රෑ අපමණ වෙහෙස දරා කටයුතු කරන සූරියගොඩ සිරිධම්ම නාහිමියන් ගේ අනුශාසනා පරිදි එම සමාජ සත්කාර්යයන් සිදුකැරේ.

  මැදින් පුර පසළොස්වක පෝය

   මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 20 වැනිදා බ්‍රහස්පතින්දා අපර භාග 11.25 ට ලබයි.
22 වන දා සෙනසුරාදා පූර්ව භාග 12.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 21 වන සිකුරාදා ය.

මීළඟ පෝය මාර්තු 29 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

First Quarterපුර අටවක

අප්‍රේල් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]