UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - බෞද්ධ ස්ථූපය සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ටභාවය ලොවට ප්‍රකාශ කරන විශිෂ්ට වාස්තු විද්‍යාත්මක නිර්මාණයකි. බෞද්ධ ස්ථූප ආකෘතිය පිළිබඳ ව විශේෂ අවධානය යොමු කොට මෙම නිර්මාණය පිළිබඳ විවරණයක් කරන්න

පිළිතුර - බෞද්ධ ස්ථූපය ව්‍යවහාරයෙහි දාගැබ - තුඹ - සෑය- වෙහෙර ලෙසින්ද චෛත්‍ය හෙවත් චෙතිය යනුවෙන් ද හැඳින්වෙයි. ‘චෙතිය’ යනු ගොඩනැගීම යන අර්ථය ගෙන දෙන අතර එය එක්රැස් කිරීම යන අදහස දෙන පාද චී ධාතුවෙන් උපන්නක් බව උගතුන් විසින් විග්‍රහ කර ඇත. මෙය සිංහල බස් වහරට අනුව ‘දාගැබ’ යන වචනයෙන් දක්වන අතර ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන ගර්භය සහිත වූ ස්ථානය ලෙසින් එය විග්‍රහ කළ හැකිය. බුද්ධ කාලයේ දීම ලංකාවේ දාගැබ් ඉදි වූ බවට වංශ කථා මූලාශ්‍රවලින් තොරතුරු හෙළිවේ. මහා වංශයට අනුව මහියංගන දාගැබෙහි බුදුරදුන්ගේ එම ලංකාගමනේ දී සමන් දෙවිඳුන් විසින් ලබාගත් කේශ ධාතූන් නිදන් කරවා තිබේ. කැලණිය දාගැබට ද ඇත්තේ පැරැණි ඉතිහාසයකි. 13 වන සියවසට අයත් මූලාශ්‍ර ග්‍රන්ථයකට අනුව ලක්දිව නැගෙනහිර තිරියාය ප්‍රදේශයේ ගිරිහඬු සෑය නම් වූ ස්ථූපය ප්‍රථම ද්විවාචක උපාසකයන් වූ තපස්සු භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරදුන්ට ප්‍රථමයෙන් ආහාර පූජාකළ අවස්ථාවේ දී ලබාගත් කේශ ධාතු නිදන් කර ගොඩනගා ඇත.

බුදු දහම ලංකාවට හඳුන්වා දීමෙන් පසුව ඉදි වූ ප්‍රථම දාගැබ ලෙස සැලැකෙනුයේ ථූපාරාම දාගැබයි. (මහාවංශය පරි 17 ) දේවානම් පියතිස්ස මහරජු විසින් ථූපාරාම ස්ථූපය ඉදිකිරීමෙන් පසු ඉදිකැරුණු ස්ථූපය මිහිඳු මහ රහත් මා හිමියන්ගේ පරිනිර්වාණයෙන් පසු උත්තිය රජු විසින් උන්වහන්සේ ගේ ධාතු තැන්පත් කළ දාගැබ් අතරින් මිහින්තලේ අම්බස්ථල දාගැබ ලෙස හඳුනාගෙන තිබේ.

ස්ථූප ඉදිකරලීම පිළිබඳ සංකල්පය පැරැණි භාරතයෙන් ලංකාවට පැමිණිය ද එය ඒ ආකාරයෙන් ම මෙරට ක්‍රියාත්මක නොවූ බව පෙනේ. බුදුරජාණන් වහන්සේ ගේ දකුණු අකු ධාතුව සිය පිටින් වැඩමවා ගෙන ආ හස්තියා තවදුරටත් ඉදිරියට නොගොස් නතර විය .එතැන මිහිඳු මාහිමියන් ගේ උපදෙස් මත ථූපාරාම ස්ථූපය දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලදී.

ස්ථූපයක් ගොඩනැගීම පිළිබඳ ලියැවුණු විස්තරයක් ලෙස දුටුගැමුණු රජු (ක්‍රි.පූ. 161 - 137 ) විසින් ඉදිකරන ලද මහාථූපය හෙවත් රුවන්වැලි මහ සෑය පිළිබඳ විස්තරය ඉතා වැදගත් වේ. මෙම විස්තරයට අනුව මහා ථූපයේ පාදම (අත්තිවාරම) රියන් 07 ක් ගැඹුරට සාරා ඉන් පසු ක්‍රමානුකූලව ව පුවාර හා අනතුරුව පේසා වළලු නිර්මාණය කරන ලදී. එකක් මත එකක් වනසේ ක්‍රමයෙන් ඉහළට කුඩා වන ආකාරයෙන් නිර්මාණය කරන ලද නිර්මාණාත්මක අර්ථය පැවැත්මේ ස්ථාවරත්වය හා ශක්තිය ස්ථූපයට ලබාදීමයි. මහාථූපයේ පේසා වළලු නව වාරයක්ම පොළොවේ ගිලී යාමට සැලැස්සූ වේ ද එම නිසාය. පේසා වළලු ඉදිකිරීමෙන් අනතුරුව ඒ මත දාගැබෙහි වැදගත් ම අංගයක් ලෙස සැලකෙන ගර්භය ඉදිකරන ලදී. ධාතු ගර්භය ආවරණය කර දාගැබක ගර්භය ඉදි කර ඇත. ස්ථූපයක ගර්භයෙන් සිදු වූ වැදගත් ම කාර්ය වනුයේ දාගැබට නිශ්චිත හැඩයක් ගෙන දීම හා ධාතු ගර්භයේ තැන්පත් කර තිබෙන ධාතූන් වහන්සේ විවිධ උපද්‍රවයන් ගෙන් ආරක්‍ෂා කර ගැනීමයි.

චෛත්‍ය නිර්මාණයේ දී ආකාර හයක් අනුගමනය කර ඇති බව හෙන්රි පාර්කර් - පරණවිතාන යන මහත්වරු පෙන්වා දෙති.

ඝණ්ඨාකාර - (සීනුවක හැඩය)

බුබ්බුලාකාර - (දිය බුබුලක හැඩය)

ධාන්‍යාකාර - (වී ගොඩක හැඩය)

පද්මාකාර - (නෙළුම් මලක හැඩය)

ආමලකංකාර - (නෙල්ලි ගෙඩියක හැඩය )

ඝඨාකාර - (කළයක හැඩය ) මේ සයාකාර ආකෘතීන් ය.

ප්‍රශ්නය - ස්ථූපය හා දාගැබ් යන නම් වලින් හැඳින්වෙන නිර්මාණය හා එක්වන ‘චේතියඝර ‘ නමින් හැඳින්වෙන බෞද්ධ කලා කෘතිය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුරු - ‘ඝර’ යන පාලි වචනයේ අර්ථය ගෙය හෙවත් ගෘහය යන්නය. ඒ අනුව චෙතිය ඝර යන්න දාගැබ් ගෙය යනුවෙන් හැඳින්විය හැක.ථූපඝර යන නමින්ද ව්‍යවහාරයට ගිය මෙම නිර්මාණය අනුරාධපුර ථූපාරාමය , ලංකාරාමය , මිහින්තලේ, ශෙලචෙතිය , මැදිරිගිරිය , තිරියාය රාජංගනේ, පොළොන්නරුව, අත්තනගල්ල , යන ස්ථානවල ක්‍රිස්තු පූර්ව යුගයේ සිට දහතුන් වන සියවස දක්වාම නිමවා ඇති වටදාගේ අනුව මෙම ගෘහ නිර්මාණයේ විශිෂ්ටත්වය පැහැදිලි වෙයි. පුරාණ ලංකාවේ කුඩා සහ මධ්‍යම තරමේ ස්ථූප ආවරණය කොට ගෙවල් තනා තිබූ බව තවමත් ඉතිරිවී ඇති ගල් කුළුණු පේළිවලින් සිතාගත හැකිය . චේතියඝරයම වර්ධනය වීමෙන් ගොඩනැගුණූ තවත් වෘත්තාකාර මන්දිර විශේෂයක් අනුරාධපුර යුගයේ පසු භාගයේදී දක්නට ලැබේ. ඒවා වටදාගේ නමින් හැඳින්වෙයි. වෘත්තාකාර වේදිකාවක් මත වෘත්තාකාර ව පිහිටි කුළුණු පේළි කිහිපයක් සහිත ව ඉදිවුණු මෙම මන්දිර මධ්‍යයේ දක්නට ලැබෙන්නේ ඉතා කුඩා චෛත්‍යයක ස්වරූපයෙන් පිහිටි ධාතු ගර්භයකි. මේ ධාතු ගර්භය වටා සතර දිසාවට මුහුණලා ඉදිකළ බුදු පිළිම සතරකි. පොලොන්නරුවේ වටදාගෙයි මේ පිළිම වහන්සේ තවමත් නිරුපද්‍රිතව වැඩ සිටිති. වටදා ගෙවල් ධාතු ගර්භයක් සහිත පිළිම ගෙවල් ලෙස ද සැලකිය හැකිය. ඉතා කලාත්මක වටදාගෙය දක්නට ලැබෙන්නේ තමන්කඩුව දිස්ත්‍රික්කයට අයත් මැදිරිගිරියේය.

ප්‍රශ්නය - අනුරාධපුර මහා විහාර පරිශ්‍රයට අයත් සැලසුම් නිර්මාණ පිළිබඳ ව කෙටි සටහනක් ඉදිරිපත් කරන්න .

පිළිතුර - මහා විහාරයේ මූලික අංගය වන මහා ස්ථූපය මූලික කොට පහත දැක්වෙන විහාරාංග ඇතුළත් මාලක, මහා විහාරයීය ආරාමයකට තිබුණේ යැයි අනුමාන කළ හැකිය.

1. බෝධි වෘක්‍ෂය

2. උපෝසථාගාරය

3. සන්නිපාත ශාලාව

4. පිළිම ගෙය

5. ධර්ම ශාලාව

6. ස්නානාගාරය

7. ලැගුම් ගෙවල්

8. ඡත්තාඝර (ගිනිහල්ගෙය )

ප්‍රශ්නය - බෝධි කොටුව හෙවත් බෝධි ඝරය යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?

පිළිතුර - බෝධීන් වහන්සේ නමක් සඳහා ඉදිකළ ගෘහය බෝධිඝර නම් වෙයි. මෙය දැනට හඳුනාගෙන ඇති පරිදි ථූපඝර හෙවත් චෙතියඝර මෙන්ම පියස්සක් සහිත ගොඩනැගිල්ලකි. මධ්‍යය විවෘත ය. එයින් බෝධි ශාඛා අතුපතර විහිදා අහසට නැගී සිටියි. බෝධීන් වහන්සේ පැදකුණු කරන හා වන්දනා කරන අයට අව් වැසිවලින් ආරක්‍ෂාව සපයයි.

බෝධි ඝරයක් පිළිබඳ ජීවමාන නිදර්ශනයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිල්ලක්කගල නම් ස්ථානයේ දක්නට ලැබේ. එහෙත් අද එහි බෝධීන් වහන්සේ නමක් නැත. වර්තමානයේ විහාර ආරාමවල බෝධිඝරය වෙනුවට බෝධි ප්‍රාකාරයක් දක්නට ලැබේ.

ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සමූහයා වෙත නිර්වාණය පසක් කරලීම සඳහා යොදාගත් විවිධ ප්‍රමාණයන් දේශනා පාලියෙහි දී දක්නට ලැබේ. මෙහිදී ගැඹුරු ධර්ම කරුණුවලින් පරිබාහිරව නිර්වාණාවබෝධය සඳහා උපකාරී වන දේශනා උද්ධෘතයන් ශ්‍රාවක (සමීප) නිරතුරුව පරිභාෂිත සූත්‍ර වන පිරිත් පොතෙහි සටහන්ව ඇති මේ දම්සක් පැවැතුම් සූත්‍රයෙහි සඳහන්ව ඇති එක් අවස්ථාවකි. ‘යෝ කස්සායෙව තණ්හාය අසේස විරාග නිරෝධා චාගො පටිනිස්සජාගො - මුත්ති අනාලයො” මේ සටහන පැහැදිලි කරන්න.

පිළිතුර - මෙම දේශනා පාඨයට අනුව නිවන යනු තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ඉතිරි නොකොට නැතිකිරීම නො ඇලීම නිවනයි. මේ අනුව දුක නැති කිරීමට නම් ‘ආශාව‘ මුළුමනින්ම නැති කළ යුතු බව ප්‍රකාශ වෙයි. යම් අරමුණක් පියවඩන මිහිරි ස්වභාවයෙන් යුක්ත නම් ඒ අරමුණෙහි උපන් ආශාව එහිදීම නැති කළ යුතු ය. දුක් නැතිකිරීම ආශාව නැති කිරීමෙන්ම සිදුවන බැවින් ඒ ආශාව නැති කිරීමට උත්සාහ වැඩිය යුතු ය. තෘෂ්ණාව ප්‍රහාණය කිරීම ක්‍රම තුනකින් සිදු කෙරේ. එයින් පළමුවැන්න තදංග ප්‍රහාණයි. දානාදී පින්කම් කරන විට තෘෂ්ණාව තදංග (තාවකාලික) වශයෙන් ප්‍රහාණය (යටපත්වීම) සිදු වෙයි. දෙවැන්න විෂ්කම්බන ප්‍රහාණයි. සමථ භාවනාවෙන් පළමුවන ධ්‍යානය ආදි ධ්‍යානයන් වඩාගැනීමෙන් එය සිදුවුවත් එයද තාවකාලිකය. ජල තටාකයක භාජනයක් අතින් ඔබවාගෙන සිටින විට උඩට මතු නොවුනත් අත ඉවත්කළ මොහොතෙහිම භාජනය වතුරෙන් උඩට මතුවේ. ධ්‍යානයෙන් සිත ඉවත් වූ විගසම නැවතත් මුල් අවස්ථාව පැවැති තත්ත්වයට පැමිණේ.

තෙවැන්න සමුච්ඡේද ප්‍රහාණය විදර්ශනා මාර්ගයෙන් මාර්ග ඤාණය ලැබීමෙන් කෙළෙස් සම්පූර්ණයෙන් ප්‍රහාණය (නැතිවීම) සිදුවෙයි. නැවත කෙලෙස් ඉපදීම සිදු නොවෙයි. ඒ නිසාම කර්ම රැස් නොවීමෙන් පුනර්භවයක් සිදු නොවේ. තෘෂ්ණාව අසේස විරාග නිරෝධය දුක්ඛ නිරෝධය නම් වෙයි. මේ දුක්ඛ නිරෝධ ආර්ය මාර්ග ඤාණයෙන්ම කළ යුතු බවින් දුක්ඛ නිරෝධාර්ය සත්‍ය නම්වෙයි. දුක සම්පූර්ණයෙන්ම නැති කළ හැකි වන්නේ අනූපය සහිත තෘෂ්ණාව සහමුලින් සිඳලීමෙනි.

දුරුතු
පුර අටවක

දුරුතු පුර අටවක පෝය
ජනවාරි 15 වන දා
අඟහරුවාදා අපර භාග 02.10 ට ලබයි.
16 වන දා බදාදා අපර භාග 12.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 15 වනදා අඟහරුවාදාය.


මීළඟ පෝය ජනවාරි 22 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

New Moonඅමාවක

පෙබරවාරි 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]