UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රම්බඩගල්ල මොණරාගල විහාරභූමියේ ඉදිවන හිඳි බුදු පිළිම වහන්සේ


ඉදි කරමින් තිබෙන හිඳි බුදු පිළිම වහන්සේ


විහාරස්ථානයේ දර්ශනයක්

අප පැමිණ සිටින්නේ කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්ථානයටයි. මෙතැනට පැමිණීමට නොයෙක් මාර්ග ඇතත් අප පැමිණියේ කුරුණෑගල මහනුවර මාර්ගයේ කි.මීටර් 2 ක් පමණ මහනුවර දෙසට ගමන් කළ විට හමුවන මල්ලවපිටිය හන්දියෙන් වම් අතට ඇති බරන්දන රීදීගම රම්බඩගල්ල හරහා කැප්පිටිගල්ල දිවෙන මාර්ගයේ ගමන් කරමිනුයි . (කුරුණෑගල සිට මෙම ස්ථානයට කි.මී. 29 ක් පමණ දුරයි)

දඹුල්ල මාතලේ පාරේ රුක්අත්තනගහ හන්දියෙන් දකුණු පසට ඇති මාර්ගයෙන් රිදීගමට ගොස් රිදීගම රම්බඩගල්ල මාර්ගයෙන් ගමන් කළත් මෙම ස්ථානයට ළඟා විය හැකියි.

කලින් දින දුරකථනයෙන් අප පැමිණෙන බව දැනුම් දී තිබූ බැවින් මෙම ස්ථානයේ වැඩ වසන රම්බඩගල්ලේ තිලකවංශ හිමියන් අප පිළිගැනීමට සූදානම්ව සිටියා. අපගේ පැමිණීම තරමක් ප්‍රමාද වී තිබූ බැවින් පන්සලට ගොඩනොවැදීම දැනට නෙළමින් පවතින ලංකාවේ උසම සෙල්මුවා සමාධි පිළිමය පිහිටා ඇති ස්ථානයට තිලකවංශ හිමියනුත් මමත් මා මිත්‍ර මහජන බැංකුවේ අලෙවි කරන දෙපාර්තමේන්තුවේ සිසු උදාන නිමයුම් කළමනාකාර නන්දසේන වල්පොල මහතාත් එල්.වයි. චන්ද්‍රසෝම මහතාත් යන අප සියලු දෙනා ගමන් කළා.

කළු ගල සමග පොරබඳිමින් මද්දහන පුරාම ගල්කටු , ගල්විදින යන්ත්‍ර සමග පිළිමයක් නෙළීමේ කටයුතු වල යෙදී සිටී ඉන්දීය ජාතිකයන් හා ඔවුන්ට සහායවන සිංහල අත්වැඩ කරුවන් කිහිප දෙනකු වැඩ හමාර කොට නවාතැන් පොළ කරා ගමන් කරමින් සිටීම අප දුටු මුල්ම දර්ශනයයි . කණ්ඩායමේ නායක මුරුගන්ට තරමක් සිංහලෙන් කතා කරන්නත් පුළුවනි.

සමාධි බුදු පිළිමය ඉස්මතු කරගත හැකි අයුරින් දෙපසින් ඇති ගල් පර්වතය ඉවත් කර අවශ්‍ය කොටස පමණක් ඉතිරි කර ගෙන තිබුණා. දැන් බුදු පිළිමයේ මුහුණ කොටසේ වැඩ අවසන් ඉතිරි කොටස් නෙලීම ඉතා සෙමෙන් සිදුවනවා. ගල් වඩුවකුගේ ගල්කටුවකට යොදන බර ප්‍රමාණය යන්තමින් හෝ වැඩිවුනොත් මුළු පිළිමයේම නිර්මාණයට හානියක් වනවා. එම නිසා ඉතාම හෙමිනුයි මෙම කාර්ය කැරෙන්නේ.

පිළිමයේ පාදමෙහි සිට ශීර්ෂය පිහිටන ස්ථානය දක්වා අඩි 80 පමණ උසයි. එහි නැගීමට තාවකාලික පඬි පේලියක් ඉදිකර තිබුණා. “ මහත්තයෝ අපි උඩටම ගිහිල්ලා වාඩි වෙලාම කතා කරමු. තිලකවංශ හිමියන් අපට යෝජනා කළා. අපි සියලු දෙනාම බුදු පිළිමයේ ශීර්ෂයට සමාන්තර ඇති ගල් කුලක වාඩිවී උන්වහන්සේගේ පැහැදිලි කිරීමට සවන් දුන්නා. අපට අපැහැදිලි සෑම දෙයක්ම උන්වහන්සේ විස්තර කළා.උන් වහන්සේ අපට විස්තර කළ ආකාරයෙන්ම ඉදිරි විස්තර සටහන් කිරීම තමා වඩා හොඳ.

මහත්තයෝ මේ පන්සලේ නායක හාමුදුරුවන්ගේ නම ශ්‍රාස්තාචාර්ය එගොඩමුල්ලේ අමරමෝලි උන්වහන්සේ වයඹ පළාතේ අධිකරණ සංඝනායක පදවියක් උසුලනවා .උන්වහන්සේගේ අධිෂ්ඨාන ශක්තිය හරිම ඉහළයි . ඒ වගේම උන්වහන්සේ ඉතාම නිවැරැදිව ධර්මානුකූලව තීරණ ගන්නවා . ඒවගේ ගත්ත තීරණයක් තමයි දැන් මේ අප ඉදිරියේ තියෙන්නේ.

2001 වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ තලේබාන් කැරැලිකරුවන් විනාශ කරන කාලේ අපේ රටේ බෞද්ධයෝ පමණක් නොවෙයි ලෝකයේ සියලුම රටවල බෞද්ධයන් ඒකට විරුද්ධ වුණා.

ලෝකයේ ශ්‍රේෂ්ඨතම සංස්කෘතික උරුම වූ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමට මුළුලෝකයේම ජනතාව විරුද්ධ වුණා. ලෝකයේ ප්‍රධාන රටවල් එය නතර කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් බලකළා. ඒත් ම්ලේච්ඡත්වය ඉස්මතු වුණා. අවුරුදු දහස් ගණන් මහා ප්‍රෞඩත්වයකින් නැගී සිටි බාමියන් බුද්ධ ප්‍රතිමා පොලවට පහත් වුණා.

ඉතින් ඒ කාලේ මේ පැත්තේ හිටපු තරුණ පිරිස් එකතු වෙලා මේ පැත්තේ ඉන්න මුස්ලිම්වරුන්ට විරුද්ධව කටයුතු කිරීමටත්, පල්ලිවලට හානි කිරීමටත් පෙළගැසෙන බවකුත් දක්නට ලැබුණා. මේකට අපේ ලොකු හාමුදුරුවෝ තරයේම විරුද්ධ වුණා .

“ දරුවෝ බුද්ධාගමේ පලියට පලිගැනීමේ සංකල්පයක් නෑ. බුදුන් වහන්සේ දේශනා කලේ සියලු සතුන්ට මෛත්‍රිය කිරීමට “

ඒ සදාතනික ධර්මය උන්වහන්සේ වදාලා. දැන් බාමියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විනාශ වී අවසන්. දැන් අපි අපේ රටේ ඊට සමාන බුද්ධ ප්‍රතිමා නෙළමු. මේ කාර්යය අපේ පන්සලෙන්ම පටන්ගමු. ගම්වාසීන් එකඟවුණා. තරුණයන්ගේ සිත්වල අවෛරී චේතනා පහළ වුණා. සිදුවන්නට ගිය මහා විනාශයක් වැළකුණා.

ඊට පස්සේ පෝය දින මා උගන්වන පාසැලේ (කු/ රම්බොඩගල්ල මධ්‍ය මහා විද්‍යාලයේ) ප්‍රාථමික අංශයේ දරු දැරියන් මේ පන්සලේ පෙහෙවස් සමාදන් වුණා. ඒ අය තමයි අපේ මේ බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පළමු දායකත්වය දැරුවේ. එදා ඒ කුඩා උවසු උවැසියන් එකතු කළ රු. 1300 /- ක මුදලකින් තමයි, මේ මහා නිර්මාණය කිරීමේ අරමුදල ආරම්භ කළේ.

අපේ ලොකු හාමුදුරුවෝ ධර්මධර විනයධර ආදර්ශවත් හිමිනමක් උන්වහන්සේ සෑම දිනකම මධ්‍යම රාත්‍රියේ ධම්මචක්ක පවත්වන සූත්‍රය දේශනා කරනවා. ඉතින් මේ රු. 1300 /- ලැබුණු දිනයේත් මේ ධර්ම දේශනාවෙන් පස්සේ උන්වහන්සේ සැතපෙන විට ලංකාවේ උසම ශෛලමය බුදු පිළිරුව නෙළීමේ හැඟීම දැඩි ලෙස පහළ වී තිබෙනවා. කොහොම හරි මේ කාර්යට පන්සලේ දායක සභාවත් එක හඬින්ම කැමැත්ත පළ කළා.

ඊළඟ ප්‍රශ්නය වුණේ මේ වගේ කාර්යයකට සුදුසු ශිල්පීන් සොයා ගැනීම , ලංකාවේ නොයෙක් පුද්ගලයන් හා ආයතන කීපයක් මේ සඳහා ඉදිරිපත් වුණත් නොයෙකුත් හේතුන් මත ඒ අය නුසුදුස්සන් වුණා. කොහොම වුණත් මේ අතුරතුරේදී අපේ හාමුදුරුවන්ට නුවරඑළිය රම්බඩගල්ල හනුමන් කෝවිලේදී මීට සුදුසු අයෙකු මුණ ගැසුනා.

ඒ කෝවිලේ පාලක සභාවේ සභාපති ඩී. ඊස්වර්න් මහතා අපේ හාමුදුරුවන් එක්ක ගියා ඉන්දියාවට . ඉන්දියාවේ මේ සඳහා සිටින දැනට ජීවත්වන විශිෂ්ඨ ගල් කැටයම්කරුවකු වන “ පද්ම ශ්‍රී” ශිල්පකලාමනි එම්. මුත්තයියා ස්ථපතිතුමා මුණ ගැහිලා මේ ගැන කතා කළා. ස්ථපති කවදාවත් බුදු පිළිමයක් නෙළලා තිබුණේ නෑ. ඒත් එතුමා පොරොන්දු වුණා.ලෝකයේ තිබෙන ලස්සනම , ලංකාවේ තිබෙන උසම බුදුපිළිමය (අඩි 67.5)රම්බොඩගල්ල මොණරාගල මහ පිරිවෙනේ ඉදිකර දීමට, (මෙම අය විසින් ඉදිකළ සහ නෙලූගල් පිළිම ) අතර කෙන්කාල් නගරයේ රාජගෝපුරය අඩි 175 ශ්‍රී අධිසංකර් ගල් පිලිමය අඩි 60 ශ්‍රී ක්‍රිෂ්ණ පිළිමය අඩි 60 සහ ඇමරිකා එක්සත් ජනපදයේ හින්දු කෝවිල් 16 ක වැඩ කටයුතු ඇතුළත් )

මේ සඳහා විශාල මුදලක් අවශ්‍ය වනවා. ඒ මුදල කොහොම හරි හොයන්නට පුළුවන් බව අප විශ්වාස කළා. 2002.09.25 දින ඉන්දියානු ශිල්පීන් විසින් වැඩ ආරම්භ කළා. ගල් පර්වතයේ අමතර කොටස් ඉවත් කරන්නට අවුරුදු 2 ක පමණ කාලයක් ගතවුණා. 2005.08.14 දා සුබමොහොතින් ප්‍රතිමාව නෙළිමේ වැඩ ආරම්භ කළා. ආරම්භ කරන අවස්ථාවේ ඉන්දියා ශිල්පීන්ට පමණක් ගෙවිය යුතු මුදල (ප්‍රතිමාව නෙළීමට පමණක්) ඉන්දියානු රුපියල් ලක්ෂ 53 පමණ වුවත් එය මුදලින් නිම කළ නොහැකි බවත් පෙනී යනවා. මෙම මුදල් වලට අමතරව ලංකාවේ කම්කරු /ශිල්පීන්ටත් ඊට සමාන වූ මුදලක් වැය වෙනවා. ශිල්පීන්ට අවශ්‍ය නවාතැන් ආහාරපාන බේත්හේත් ඉන්දියාව ගුවන් ප්‍රවාහන ගාස්තුත් ගෙවන්න ඕනෑ.

කොහොම වුණත් මෙම කාර්යයට දේශීය මෙන්ම විදේශීය ආධාර ද ලැබෙනවා. මේ ළ¼ගදි ඉන්දියා හිටපු මහකොමසාරිස් නිරූපමා රාවෝ මහත්මිය රුපියල් 2500,000 /= ක් පරිත්‍යාග කලා. දේශීය වශයෙනුත් විශාල ආධාර ලැබුණා. රු. ලක්ෂ 26 ක පමණ මුදලක් වැයකොට තෙකලා ෂජලිය ලබාගැනීම , ජෙනරේටර් ලබා ගැනීම ප්‍රවේශ මාර්ගය සකස් කිරීම ආදියටත් ආධාර ලැබුණා. අපේ අදහස මෙම කාර්යය නිම කරන්නට තවත් රුපියල් මිලියන 50 ක් පමණ අවශ්‍ය වෙයි කියලා. එයටත් අප රටේ බෞද්ධ අබෞද්ධ සියලු දෙනා දායක වෙයි කියලා අප විශ්වාස කරනවා.

මෑතකදී අපට හමුවුණා ජපානයේ සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරික මහතෙක්. එතුමා මෙම කාර්යයට බොහොම අතහිත දෙනවා. දැනට මාස 4 ක් පමණ ඉන්දීය ශිල්පීන්ගේ වැටුප් ගෙව්වෙත් ඒ මහතා (රු. ලක්ෂ 10 ක් පමණ ) එතුමා බලාපොරොත්තු වනවා එතුමාගේ මුදලින් මෙම ඉවත් කරන කළුගල් වලින් විශාල ස්ථූපයක් කරවීමටත් ඒ සඳහා දැනට මුල්ගල තියලයි තියෙන්නේ.

2008 මැයි මාසය වන විට බුදු පිළිමය නෙලීමේ වැඩ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වනවා . පිළිම වහන්සේ බලගැන්වීම සඳහා මේ මාසයේ (මැයි) 29 දායින් පටන්ගෙන 2008 මැයි 29 දින දක්වා දවස් 365 එක දිගටම පිරිත් සජ්ජායනා කිරීමට බලාපොරොත්තු වනවා. දවසකට භික්ෂූන් වහන්සේ 10 නමකට මේ සඳහා ආරාධනය කිරීමටයි බලාපොරොත්තුව . උන් වහන්සේ සියලු දෙනාටම පිරිත් පොතක් ප්‍රදානය කිරීමටත් බලාපොරොත්තු වනවා. මේ සඳහාත් විශාල මුදලක් වැය වේ යැයි බලාපොරොත්තු වනවා.

මින් අනතුරුව අප හා සාකච්ඡා කළ සෙල් පිළිම කමිටුවේ නියෝජ්‍ය සභාපති පියල් වික්‍රමසිංහ මහතා (විශ්‍රාමික රාජ්‍ය සේවක) ඉදි කිරීම් කටයුතු සම්බන්ධ විස්තර දක්වමින්, දැනට මෙම කටයුතු සඳහා රු. මිලියන 12.5 ක් පමණ වැය වී ඇති බවත් වැඩ කටයුතු අවසන් කිරීම සඳහා තවත් මිලියන 12.5 ක මුදලක් වැය වන බවත් පැවසීය.

කුරුණෑගල රම්බඩගල්ල මොණරාගල විහාර භූමියේ ඉදිවන මෙම බුදු පිළිමය දැනට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ඇති බුදු පිළිම ශෛලීන්ගෙන් තරමක් වෙනස්ය. අනුරාධපුර මහමෙවුනාවේ ඇති සමාධි පිළිමය තොලුවිල සමාධි බුද්ධ ප්‍රතිමාව ආදියට සමාන ඇතැම් ලක්ෂණ පෙන්නුම් කළ ද මෙම පිළිමයේ වෙනත් සුවිශේෂ ලක්ෂණ කිහිපයක් ද ඇත. ගල්විහාරයේ ඇති සමාධි බුද්ධ ප්‍රතිමාවට බොහෝ සෙයින් සමාන වුවත්, පිළිමයේ ඇති පද්ම ආසනය ලංකාවේ ඇති අනෙකුත් සියලු බුද්ධ ප්‍රතිමාවලට වඩා වෙනස්ය.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]