UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිදුහත් මහ බෝසතාණන් කපිලවස්තු සිට බුද්ධගයාවට වැඩි මඟ

සුද්ධෝදන මහ රජතුමාගේ හා මහාමායා දේවියගේ එකම පුත්‍රරත්නය වූ සිදුහත් කුමරු ක්‍රි.පූ. 563 වර්ෂයේ දී ලුම්බිණිසල් උයනේ දී උපත ලැබූහ. ඉක්බිතිව එකල වෛදික සංස්කෘතියට අදාළ ගිහිජීවිතයේ සතර අවස්ථා ගත කර එනම් බ්‍රහ්මස්ති (ශවද්‍ය භාවය) ගෘහස්ථ (විවාහ වී පවුල් ජීවිතය) වන ප්‍රවස්ථ (භාවනා යෝගී කල්ගත කිරීමට වනයට පිවිසීම) සහ සන්නායශී ස්ථිර වාසස්ථානයක් රහිතව තපස් ජීවිතය ගත කරමින් සංචාරය කිරීම යන අවස්ථා වලින් පළමු ජීවිත කාලය තුළ විශ්වමිත්‍ර සෘෂිවරයා යටතේ රාජ්‍ය පාලකයා, ධනු ශිල්පය හා වෛදික චරියා ඉගෙනුම අවසන් කර නිසිවියට පත්ව යශෝධරා කුමාරිය සමග විවාහ වී රාහුල නමැති පුත්‍රයා ලැබුවේ ය. වෛදික සංකල්පය අනුව විසි නවවැනි වියට පත්ව ගිහි ගෙයින් නික්මුණේ ය. මැදියම් රාත්‍රියේ ඡන්න අශ්ව පාලකයා සහ කන්ථක අසු සමග ගමන ඇරඹුවේ ය. බුද්ධත්වය පතා කපිලවස්තු පුර සිට යම් යම් ස්ථානවල රැඳී අවුරුදු හයකට පසු ගයාවේ ශ්‍රී මහා බෝධිය වැඩි ගමන් මාර්ගය, ත්‍රිපිටකය සහ සංස්කෘත මූලාශ්‍රය ද වර්තමානයේ මේ ගමන් මග ගැන සිදු කර ඇති ගවේෂකයන්ගේ වාර්තා ද චීන ජාතික පාහියන් (ක්‍රි.ව. 05 වැනි සියවසට)සහ චීන ජාතික හියුං සෑන්ගේ (ක්‍රි.ව.7 වැනි සියවස) යන හිමිවරුන් ගේ දේශාටන වාර්තා අනුව එම ගමන් මාර්ගය මෙසේ ය.

කපිල වස්තු කෝලිය රාජධානිය, මල්ලරාජධානිය, අනෝමා නදිය, රාමග්‍රාම, ලොරියා නන්ද නගර, ලොරියා අරරාජ් කේසපුත්ත (වර්තමාන කේසරිය මෙහි භාරතයේ උසම ස්තූපය මෑතකදී සොයාගෙන ඇත) වෛශාලි (විශාලාමහනුවර) ගංගානදිය තරණය, මගධ රාජ්‍ය, පාටලී පුත්‍ර, රජගහ, තපෝදාරාමය, ගයා, උරුවේල සේනානිගම නේරංජරා (නේලංජලා නිල් පැහැති ජලය) තරණය සහ එකී ගංගාවේ ඉවුර අසල පිහිටි බුද්ධගයා බෝමැඩට මෙම සම්පූර්ණ පියවි ගමනින් ආවරණය කළ දුර ප්‍රමාණය සැතපුම් 408 ක් පමණ වන අතර එම දුර ප්‍රමාණයන් අසුපිටින් කපිලවස්තු සිට අනෝමා නදිය තරණය තෙක් වැඩි දුර ප්‍රමාණය සැතපුම් 25 ක් පමණි. එවිට පියවි ගමණින් වැඩි දුර ප්‍රමාණය සැතපුම් 443 කි.

තවද මෙම මූලික ගමනින් රජගහට මුල් අවස්ථාවේ දී ගමන් කිරීම එම දුරද, පසුව බුද්ධත්වය පතා අතරමඟ නතර වෙමින් බුද්ධගයාවට රජගහ ගිජ්ජකූටයේ සිට පියවි ගමනින් වැඩි දුර ප්‍රමාණය කිලෝමීටර් 156 කි. (සැතපුම් 20 ක් පමණ) මේ අනුව පියවි ගමනින් වැඩිදුර සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 465 ක් පමණ වේ. මෙම ගමන් මාර්ගය දැනුදු භාරතයේ භාවිතා වන මාර්ගයකි.

සූත්‍ර දේශනාවල එම ස්ථාන සඳහන් වන අතර ස්ථාන අතර දුර ප්‍රමාණ සඳහන් නොවේ. පෙර සඳහන් කළ චීන භික්‍ෂු දෙනමගේ දේශාටන වාර්තා පමණක් දුර ප්‍රමාණ ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ. පාහියන් හිමියන්ගේ වාර්තාවේ මෙසේ සඳහන් වේ.

බුදුරදුන්ගේ උත්පත්ති ස්ථානයෙන් යොදුන් පහය (යොදුන සැතපුම් 05 ක් පමණ) නැගෙනහිරින් රාමග්‍රාමය පිහිටියේ ය. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ශාරීරික ධාතු බෙදා දීමේ දී කොටසක් එම රාජධානියේ රජතුමා ලබා ගත්තේ ය.

එතුමා පෙරලා සිය රාජධානියට පැමිණි පසු එම ශ්‍රී ධාතු නිදන් කර රාමග්‍රාම නම් ස්තූපයක් කරවීය. (පාහියන් වාර්තා 79 පිට) එම ස්ථානයේ සිට යොදුන් තුනක් නැගෙනහිරින් සිදුහත් කුමරු ඡන්න (ඇමති) සහ ඔහුගේ අසු ආපසු හරවා යැවූ ස්ථානය වෙයි. එතැන්හිද ස්තූපයක් ගොඩනඟා තිබේ. (පාහියන් වාර්තා 87 පිටු) නැවතත් යොදුන් හතරක් නැගෙනහිරට ගමන් කළ විචිත්‍ර අංගාර ස්තූපය වෙතට පැමිණියහ. (පාහියන් වාර්තා 81 පිට)

හියුං සෑං වාර්තා

ලුම්බිණි වනයෙන් නැගෙනහිර ලී 500 ක් (චීන දුර ප්‍රමාණයක් “ලී” යාර 350 ක් පමණි) මහවනයක් මැදින් ගොස් රාමග්‍රාම පෙදෙසට පැමිණිය හැකි ය. රාජධානියේ ගිනිකොන දෙස ගඩොලින් බැඳි අඩි 100 ක් පමණ උස චෛත්‍යයකි. බුදුන්වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මෙම රාජධානියේ රජ කෙනකු ශ්‍රී ශාරීරික ධාතු කොටසක් ඉල්ලා ගෙනවුත් මෙම ස්තූපය බැන්දවිය. එම සෑයට නුදුරු තැන භික්‍ෂූන් 05 නමකගේ සංඝාරාමයකි. “මේ ආරාමයෙන් නැගෙනහිරට ලී 100 ක් පමණ මහ වන මැදින් ගමන් කළ එම අශෝක අධිරාජයා (ක්‍රි.පූ. 3 වැනි සියවස) කරවූ මහා සෑයක් දක්නට ලැබේ. බෝසත් කුමරු අභිනිෂ්ක්‍රමණය කොට අවුත් තමාගේ මුක්තාහාරය හා අගනා වස්ත්‍රයන් ඉවත් කොට අසරුවාට පෙරළා යෑමට නියම කළේ මෙම ස්ථානයේ දී ය. වස්ත්‍ර මාරු කළ තැනවූ ඡන්න හැරී ගිය තැන කරවූ ස්තූපයට නැගෙනහිරින් අතු කොළ වැටී ගිය දඹගසකි. ඒ අසල කුඩා ස්තූපයක් වේ”

හියුං සෑං හිමිනම ක්‍රි.ව. 07 වැනි සියවස දුටු ස්ථාන විස්තර මෙසේ විස්තර කරයි. “සිදුහත් කුමරු හැඳ සිටි තමාගේ අගනා වස්ත්‍රය මාරු කළේ මෙතැනදී ය. කුමරු හිස් කෙස් කපා යට අදනා වස්ත්‍රය මාරු කොට අගනා ග්‍රීවාභරණය ද ඉවත් කොට සිටි නමුත් උතුරු සළුව අගනා වස්ත්‍රයක්ව තිබුණේ ය. එයද තමාට පලිබෝධ කරයයි සිතා මාරු කිරීමට කැමැත්තෙන් සිටින විට ශුද්ධාවාසක දෙවියෙක් මුවසම් හැඳි වැද්දෙකුගේ වෙස්ගෙන දුනු හී රැගෙන එම ස්ථානයට සපැමිණියේය. බෝසත්තුමා ඔහු අමතා තමාගේ වස්ත්‍රය රැගෙන මුවසම් දෙනමෙන් ඉල්ලීය. වැද්දා එක¼ගව මුවසමදී වස්ත්‍රය පිළිගෙන දේව වේශයෙන් පෙනෙමින් වස්ත්‍රය දෙව්ලොවට ගෙන ගියේ ය. මේ සළු පිළිගත් තැන කරවූ සෑයට නුදුරෙහි අශෝක අධිරාජයා තැනූ තවත් සෑයකි”

හියුං සෑං වැඩිදුරට විස්තර කරමින් “කේශෝරෝපන චෛත්‍යයෙන් ගිනිකොණ දෙස ලී 180 හෝ 190 පමණ දෙන කාන්තාරයක් මැද පිහිටි නුගවනයෙක්හි අඩි 30 ක් පමණ උසැති චෛත්‍යයකි. පරිනිර්වාණයෙන් පසු කුසිනාරාමයට පැමිණි බ්‍රාහ්මණයන්ට ශ්‍රී ධාතූන්වහන්සේ ලබා ගැනීමට රජවරු අතර ශ්‍රී ධාතූන් වහන්සේලා ද්‍රෝන බ්‍රාහ්මණයා බෙදාදුන් පසු ශ්‍රී ධාතූන් වහන්සේලා ශේෂව නොමැති වූ බැවින් එතැනින් අඟුරුගෙන ගොස් තැනූ සෑය අංගාර චෛත්‍යය වේ. (හියුං සෑං වාර්තා පිටු 188 – 191)

දැනට මෙම අංගාර චෛත්‍ය අසල පුරාණ සංඝාරාමයක නටබුන් ය. මෙම සංඝාරාමය සිව් බුදුවරුන් පරිභෝගය කළ නිසා සංඝාරාමය දෙපස සිය ගණන් චෛත්‍යය අශෝක අධිරාජයා තැනූ දැනටද උසින් අඩි 100 ක් පමණ නටබුන් වූ විශාල චෛත්‍යයකි. මෙම අනෝම නදිය දැනට අඩි 30 කට වඩා නැත. භාරතයේ පුරාවිද්‍යාවේ පියා වන ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනංහම්තුමා වර්තමාන උදය නදිය විය හැකියැයි මතයක් පළ කරයි.

රාමා පූර්ව

ක්‍රි.ව. 6 වැනි සියවස බුදුරදුන් දවස රාමාපූර්වා ගමනා ගමන සන්ධිස්ථානයකි. එක් අංශයක ශ්‍රාවස්ති නුවර දෙසටත් අනික් පසින් වයිශාලිය හරහා මගධයටත් එදා මෙන් අදද ගමන් කළ යුත්තේ රනපූර්වා හරහා ය. මෙම ස්ථානයේ වර්ග යාර 200 ක වපසරිය තුළ පැරණි චෛත්‍ය දෙකක නටබුන් ය.

මෙම චෛත්‍ය දෙක ඡන්න හා කන්ථක අසු ආපසු පිටත් කළ ස්ථානය සහ බෝසත්තුමා කෙස් කපා පැවිදි වූ ස්ථානය බැව් නිගමනය කළ හැක. මේවා අනෝමා නදී තීරයේ පිහිටියේ ය. මෙහිදී පැවිදි වූ බෝසත් තුමා අනුපිය නගරය සමීපයේ වූ අඹ වනයෙහි සතියක් පමණ විවේක සුවයෙන් ගත කළේ ය.

මෙම අඹ වනයට අශෝක රජතුමා කපිල වස්තුවට ගිය වන්දනා ගමනේ දී එම ස්ථානය සැමරීමට දැනට එහි අශෝක ධර්ම ලිපියක් ඇත. නන්දනගර් හා අනුපිය අඹවනය එකම ස්ථානයට යෙදෙන නාම දෙකකි.

ලොරියා ‘ලගුම’ කණුව යන අර්ථය සහිත සංස්කෘත පදයකි. එබැවින් ලොරියා නන්ද නගර් යනු නන්ද නගරයේ කුළුණ යන අරුත දෙයි. එමනිසා අනුපිය අඹවනයේ අශෝක කුමණ නගර නාමයෙන්ම නම් කර ඇත. බුද්ධත්වයෙන් පසුද, බුදුරදුන් මෙම අනුපිය අඹවනයේ වැඩ සිට ඇත. බුදුරදුන් පියමහරජු හමුවීමට වැඩි පළමු ගමනේ දී ටික දිනක් කපිල වස්තුවේ වැඩ සිට මල්ල රටට ද වැඩි සේක.

මෙම අවස්ථාවේ මෙම අඹ වනයේ දී වැදගත්ම සිද්ධිය නම් ආනන්ද අනුරුද්ධ, භද්දිය, භගු කිම්බිල සහ දේවදත්ත යන ශාක්‍යකුමරුන් සහ උපාලි කරණවෑමියා පැවිදිවීම ය. ඉක්බිතිව බුදුරදුන් රජගහනුවරට වැඩි සේක.

ලොරියා අරරාජ

අනෝමා නදී තෙර මල්ල රාජධානියේ ටික කලක් වැඩ සිට එම ස්ථානයෙන් පිටත්ව රජගහට වැඩි සේක. රජගහනුවර වටා ඉසගිලි වේහාර, පාණ්ඩව, වේපුල්ල නමින් පර්වත පහක් වේ.

මෙම පර්වත ශ්‍රමණ බ්‍රාහ්මණයන් භාවනායෝගීව සිටි අතර අදද එම කඳුවල පුරාණ ජෛන පැවිද්දන්ගේ ලෙන් ආරාම වල නටබුන් ඇත.

රජගහනුවරට වැඩි බෝසත්තුමා පිණ්ඩපාතයේ වඩින සැටි මගධ රාජ්‍යයේ සේනිය බිම්බිසාර රජතුමා සිය මාලිගයේ සිටදුටු අතර රමණීය ඇවැතුම් පැවැතුම් දැක පණිවුඩ කරුවන් යවා එම පුද්ගලයා කවරෙක්ද කිනම් ස්ථානයක වැඩවසන්නේ දැයි පරීක්‍ෂා කර තමාට වාර්තා කරන ලෙසට දැන්වීය. එතුමා පාණ්ඩව පර්වතය අසල වැඩ වසන බැව් දැනගෙන වහාම සිය පිරිවර සමග එම ස්ථානය අසලට ගමන් කර පාණ්ඩව පර්වතය අසල වැඩසිටි බෝසත්තු මා වෙත පියවි ගමනින් ගොස් වතගොත විචාරා, ඔබ තරුණයෙකි, ඔබට ක්‍ෂත්‍රිය හැඩහුරුකම් ඇත.

මාගේ ප්‍රධාන හමුදාව හස්ති හමුදාව මෙහෙයවීමට ඔබ සුදුසු ය. මා ඔබට දායාද කරන වස්තුව භාරගනු. ඔබගේ ජන්මය මට පැහැදිලි කරනු මැනවි. එවිට බෝසත්තුමා හිමාල පර්වතය ඉදිරියෙන් ධනවත් හා බලධාරි දේශයකි. එය කෝශලයන්ගේ නිජ බිමයි. ඔවුහු සූර්ය වංශිකයෝ ය. ඔවුන්ගේ පරපුර ශාක්‍යයන් වේ. මම එහි භයානක තත්ත්වය දැක මාගේ සිතැඟි අනුව ගිහිජීවිතය අත්හැර ආරක්‍ෂිත සරණක් සොයමි. ඒ බුද්ධත්වයයි.

එවිට රජතුමා බෝසත්තුමා බුද්ධත්වයට පත්වීමෙන් පසු තමා බැහැ දැකීමට එන බවට පොරොන්දුවක් ලබාගති. (සංයුක්ත නිකාය 3.1 )

රජගහ සිට නැවත ආපසු ගමන් අරඹා කාලාමයන්ගේ ශාස්තෘවරයෙකු වූ ආලාර කාලමගේ ආශ්‍රමයට පැමිණ එහි රැඳී සිට ඔහු දේශනා කරන ධර්මය මැනවින් හැදෑරූ අතර ආලාර කලාම තම නිකායේ නායකත්වයද බෝසත්තුමාට දීමට කැමැත්ත ප්‍රකාශ කළමුත්, බෝසත්තුමා එම ධර්මය ලෝභය තුරන්වීම හා නිර්වාණ අවබෝධයට තුඩු නොදෙන බැව් නුවණින් අවබෝධ කරගෙන එම ආශ්‍රම ඉක්බිතිව උද්දකාරාමපුත්‍රගේ ආශ්‍රමයේ ද රැඳී සිට ඔහුගේ ධර්මය ද ඉගෙන ගෙන එයද නිර්වාණාවබෝධයට මාර්ගය නොවන බැව් දැන එහි සිට උරුවෙල වෙත වැඩම කළහ. (මජ්ඣිම නිකායේ 28, 36, 85, සහ 100) දැනට ධර්ම ලිපියක් සහිත අශෝක කුළුණක් ඇති ලොරියා අරරාජ් ආලාර කාලාම ආශ්‍රමය තිබූ ස්ථානය වේ. මෙම කුළුණ පිහිටා ඇත්තේ වර්තමාන බිහාර් ප්‍රාන්තයට අයත් නැගෙනහිර චම්පාරන් දිස්ත්‍රික්කයේ කේසපුත්ත හෙවත් කේසරිය නටබුන් වලට සැතපුම් 20 ක් පමණ වයඹ දිසාවට අයත් ග්‍රාමයයි. එම ගමේ වර්තමාන නාමයද අරරාජ වේ. එකල එම ප්‍රදේශය අයත්වූයේ කෝසල රාජ්‍යටය. මෙම පෙදෙස වෛශාලියේ සිට වයඹ දෙසට සැතපුම් 33 ක් දුරින් පිහිටා ඇත.

ආලාර කාලාම අසපුවෙන් නික්ම බෝසත්තුමා කෝසපුත්ත නියම්ගම පසුකොට වජ්ජි රාජ්‍යයට (විශාලා මහනුවර) රාජ්‍යයට ප්‍රවිශ්ට විය. වජ්ජි රට වැසියෝ ලිච්ඡවි නාමයෙන් ද හැඳින් වේ. අගනුවර වෛශාලි නගරය, වෛශාලියට පෙර දිගින් විදේහ රාජ්‍යවේ. එම ස්ථානයෙන් නික්ම උරුවෙලට සැපවත්ව මෙහිදී කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී නමැති, පස්වග තවුසන් සමඟ කයට දුක් දෙමින් ගත කර එය නිසරු ක්‍රියාවක් බැව් අවබෝධ කර සාමාන්‍ය ජීවිත රටාවකට පිළිපන් සේක. එම ක්‍රියාව ගැන අසතුටට පත් වූ පස්වග මහණුන් බෝසත්තුමා අත්හැර බරණැස් පෙදෙසට පැමිණියෝ ය.

ඉක්බිති සිදුහත් බෝසත්තුමා ගමන් ගත් ස්ථානය බුදුරජාණන් වහන්සේ මෙසේ අනුදැන වදාරා ඇත. යහපත කුමක්දැයි දැනුදු සොයමින් අතිශ්‍රේෂ්ඨ සාමය කවරේදැයි ද සොයමින් මම මගධ දේශය සිසාර අතරමග රැඳෙමින් අන්තයේ දී උරුවෙල අසල සේනානිගමට පැමිණියෙමි. එවිට මම එහි මා පි‍්‍රයකරන භූමියක් රමණීය තුරු වදුලක්, පැහැදිලි ජලය ගලා බස්නා ගංගාවක් සිත්කඵ නදී තෙරක් සහ සඳහා අසල ග්‍රාමයක් සහිත දානමාත ස්ථානයක් හමුවිය. මා මෙසේ සිතීය. විරිය දැරීමට සුදුසු ස්ථානය මෙය වේ. (මජ්ඣිම නිකාය 26, 36, 85 සහ 100)

සේනානිගම ධනු රජුගේ සේනාවගේ වාසභූමියයි. ඔවුහු ගොවිතැනටම යොමු වන අතර, සටන් පවත්නා අවස්ථාවන්හිදී පමණක් හමුදා සේවයට කැඳවනු ලැබේ. මෙම පළාතේ පාලකයා වූයේ සුජාතා සිටු දේවියගේ ස්වාමි පුත්‍රයා ය. සේනානිගම වැසියන් එකල ගව පාලනයේ ද යෙදුනු අතර එළුවන් පාලනය කරන ලද අයට වෙනම පූජා ස්ථානයක් විය. එහිනුග ගසක් පාමුල පුද පූජා පවත්වන ලදී. භාරතයේ අනාදිමත් කාලයක් වෘක්‍ෂ වන්දනා ක්‍රමය පැවතුනි. මියගිය සිය ඥාතීන් ආර්ථික ලාභ ලබා නොගන්නා විශාල ඇහැටු වෘක්‍ෂවල , බෝ වෘක්‍ෂ ද, තුරු වදුලු වලද දෙවිවරුන් ලෙස අරක් ගෙන සිටින බවත් එම දෙවිවරුනට පුද පූජා පවත්වා සිය ජීවිත කම් කටුලු වලින් මිදීමට මැදහත් වන ලෙසට අයදින ලදී. එම ස්ථානවලට ‘චේතිය’ යනුවෙන් භාවිතා කරන ලදී.

බුදුරජාණන් වහන්සේ රජගහ ගිජ්ජකූටයේ සිට කුසිනාරාවට 80 වැනි වියට පත්ව මහා පරිනිර්වාණය සඳහා වඩින විට එවැනි චේතිය වලට වැඩ ගමන් විඩාව අවම කරගත් සේක. එවැනි චේතිය උදේන චේතිය, ගෝටඨක චේතිය, ඝකම්බ චේතිය, බාහු පුත්ත චේතිය, සාරංදද චේතිය, ආනන්ද චේතිය, චාපාල චේතිය, වෙයි. චේතියන් රජගහ සිට වෛශාලි අතර පිහිටා තිබුණි. මෙම චේතියන් ඉතා රමණීය යැයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළසේක. (දීඝ නිකාය 16 අංගුත්තර නිකාය 4.1) දැනුදු සේනානිගම ඇති අජපාල නුගරුකට සුජාතාව තමාට පුත්‍රයකු ලබාදීමට අජපාල නුගරුක් දෙවියන්ට වාර්ෂිකව “ඝණ පායාස” පූජා කළා ය. එක් අවස්ථාවකදී සිය මෙහෙකාරිය පුන්නට නුගරුක වෙත ගොස් ස්ථානය පවිත්‍රකරණ ලෙසට අණ කළා ය. ඇය එම ස්ථානයට එම කාර්යයට ගිය අවස්ථාවේ දුටුවේ එහි පාමුල වැඩ සිටි බෝසතාණෝ ය. ඇය විශ්වාස කළේ නුගරුක දෙවියන් වැඩි සිටින බවකි. මෙය තම ස්වාමිදුවට දැන්වීමෙන් පසු සුජාතා එහි පැමිණ “ඝණ පායාස” දානයක් බෝසත්තුමාට පිළිගන්වන ලදී. එම දානය බෝසත් තුමාට බුද්ධත්වයට පත්ව සති 7 ක් ශ්‍රී මහා බෝධිය අවට භාවනා යෝගීව සිටීමට ශරීර ශක්තිය ලබා දුනි. දැනටද එම නුගරුක එම ස්ථානයේ තිබෙන අතර එම නුගරුක දෙසට දිවෙන මන්සන්ධියේ සුජාතාවගේ, අති විශාල ගඩොලින් තැනූ මන්දිරය ඉන්දීය පුරාවිද්‍යා සමීක්‍ෂණය මඟින් සංරක්‍ෂණය කර ඇත. ඉන්දියාවේ 1947 නිදහස් ව්‍යවස්ථාව අනුව සියලුම ඓතිහාසික (ආගම් ප්‍රභේදයන් රැසක්ම) කැණීම් සංසරක්‍ෂණය ලේඛන ගත කිරීම් හා පාලනය මධ්‍ය රජයට අයත් කාර්යයකි. එම කාර්ය සඳහා පත් කර ඇති එකම බලය ලත් සංවිධානය ඉන්දීය පුරාවිද්‍ය සමීක්‍ෂණය වේ.

බෝසතාණන් වහන්සේගේ එම ස්ථානයට සැපත් වීමට පෙර දුෂ්කර ක්‍රියාවේ යෙදුනු ස්ථානය එනම් විශාල පර්වතයක මැද භාගයේ ලෙනක් ඇත. එම ස්ථානය දැනට පාලනය කරනුයේ ටිබෙට් ජාතික ලාමාවරු ය. උරුවෙල තපස්දම් වැඩු පූජකයන් වැඩසිටි ස්ථානයකි. ඔවුහු සමාදන් ව සිටින යම් කිසි වෘතයක් පැහැර හැරියොත් පැය ගණනක් සැතපුම් 10 ක් පමණ දුරින් පිහිටි නේරංජනා නදියෙන් වැලි පාත්‍රවලට රැගෙනවිත් ගොඩ ගසන ලදී. මෙම වැලිකන්ද වර්ෂාවට සේදී යමින් දැනුදු ඇත. බිහාර් ප්‍රාන්තය භාරතයේ ඉතාම දුප්පත් ප්‍රාන්තය වේ. බෝසතාණෝ සිය දුෂ්කර ක්‍රියාවන් ගැන විස්තර කිරීම සූත්‍ර පිටකයේ මෙසේ සඳහන් වේ. (මජ්ඣිම නිකාය 36, 85, 100) එම විස්තර කෙටියෙන් මෙසේ ය.

‘මාගේ මුළු ශරීරය දර කැබැල්ලක් විය.’ මා ආශ්වාස ප්‍රශ්වාස කිරීම නවතාලීමි. මාගේ හිස කඩුවකින් කපන මෙන් දැනිණි. මාගේ පසු පස ඔටුවකු ගේ පිට මෙන් විය. මාගේ උදරය ඇල්ලූ විට මාගේ කොඳු ඇටපෙළ හසු විණි.” සුජාතාව පිළිගැන්වූ ඝණ පායාස දානය වැළඳීමෙන් පසු ගමන් ඇරඹුවිට, සොත්තිය බ්‍රාහ්මණයා හමුව ඔහු කුස තණ අටමිටක් දෙන ලදී.

දැනුදු එම ස්ථානයේ කුස තණ සරුවට වැවේ. දෙවිවරුනට හින්දු ජනයා පූජා භාණ්ඩ රුක්මුල් වල තබන විට එම කුසතණ අතුරා එය මත පූජා භාණ්ඩ තැන්පත් කරති. එම කුසතණ අටමිට ද රැගෙන බෝසතාණන් වහන්සේ වළලුකරට පමණ ජලය සහිත නේරංජනා ගංගාව හරහා ගමන් කළ සේක.

බෝසතාණන් වහන්සේ ශ්‍රී මහා බෝධියට වැඩ ම කොට එම කුසතණ අතුරා වජ්‍රාසනයක් සකසාගෙන භාවනා යෝගීවිය.

උඳුවප්

අමාවක

උඳුවප් අමාවක පෝය ජනවාරි 07 වන දා සඳුදා අපරභාග 03.56 ට ලබයි. 08 වන දා අඟහරුවාදා අපරභාග 05.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි
07 වනදා සඳුදාය.
 

මීළඟ පෝය ජනවාරි
15 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

Second Quarterඅව අටවක

ජනවාරි 30

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]