UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විසිපස් වසරක් සපිරෙන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දිවයිනේ අනෙක් විශ්වවිද්‍යාල අතර සුවිශේෂී වෙයි. එයට හේතුව එය දෙස්විදෙස් භික්‍ෂූන් වහන්සේලා සඳහා ම වෙන්වූ උසස් අධ්‍යාපන ආයතනයක් වීමයි. එහි අධ්‍යයනය කෙරෙන හා ප්‍රමුඛත්වය දෙන විෂය පථය කවරාකාර එකක් ද යන්න විශ්වවිද්‍යාලය නාමයෙන් ම සනාථ වෙයි. දිවයිනේ විශ්වවිද්‍යාලය පද්ධතිය ගැන කථා කරන බොහෝ දෙනෙක් ඒ පිළිබඳව විවිධ කෝණවලින් බලා තම මතවාදයන් ඉදිරිපත් කරති. ඇතමෙක් විශ්වවිද්‍යාලය ශිෂ්‍යයා රටේ පිළිගත් නීතියට ගරු නොකරන දඩම්බරයෙකු ලෙසත්, තවකෙක් රටේ බුද්ධිමත් ශිෂ්‍ය පරපුර නියෝජනය කරන්නේ විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන්ගෙන් බවත්, ඔහු රටේ සංවර්ධන කාර්යයෙහි නියමුවෙකු ලෙසත් සලකති. එහෙත් විශ්වවිද්‍යාලය ශිෂ්‍යයන් විප්ලවකාරීන් විය යුතු ය යන අදහස ඉදිරිපත් කළෝ විද්‍යොදය විශ්වවිද්‍යාලයේ ආදි කර්තෘවර හා එහි ප්‍රථම උපකුලපති වූ වැලිවිටියේ සෝරත හිමිපාණෝය. උන්වහන්සේ එයින් අදහස් කළේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් චින්තනයෙන් විප්ලවකාරී විය යුතුය යන්න ය. අදහස් උදහස් නොපැකිළව ඉදිරිපත් කිරීමටත් තම අදහස් හා නව දැනුම පුළුල් කර ගැනීමේ දී විප්ලවකාරී මනසකින් ක්‍රියා කළ යුතු ය. බුද්ධිය පුළුල් කර ගෙන පර්යේෂණශීලීව අධ්‍යයන කටයුතු සිදු කරගෙන යාමේ දී විප්ලවකාරී විය යුතු ය. මෙය ලොව පවත්නා ඕනෑම සරසවියකට පොදු සංකල්පයකි. විශ්වවිද්‍යාලයවලින් පිටවන ශිෂ්‍ය ප්‍රජාව තුළ දැනුම, බුද්ධිය හා සමඟ සදාචාරාත්මක හර පද්ධතීන් නැත්නම් එවැනි අධ්‍යාපනයෙන් රටකට කවර ප්‍රතිඵලයක් අත් වන්නේ ද? මෙය අද දවසේ ගැඹුරින් සිතා බැලිය යුතු කරුණකි. ගල් මුල් කඩු කිනිසි ගෙන අවි හරඹ ගන්නට විශ්වවිද්‍යාලයකට යා යුතු නැත. එවැන්නෝ නූගත් ප්‍රාථමික ගෝත්‍රික ජනයා තුළ බෙහෙවින් දැකිය හැකි ය. වසර 25 ක් ගතවන මේ අවස්ථාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යලයට එවැනි අතීතයක් නැත. එබැවින් කාහටත් එය සතුටට කාරණයක් වනු ඇත.

විශ්වවිද්‍යාලය අධ්‍යාපනය කිසියම් රාමුවකට නැතහොත් ආකෘතියකට කොටු වුවහොත් අපේක්‍ෂිත ප්‍රතිඵල ලැබේ ද යනු සැක සහිත ය. නිදහස් චින්තනයටත්, ස්වයං උත්පාදනයටත්, නිර්මාණශීලී ගවේෂණයටත් දොරටු විවර කළ යුතු ය. විශ්වවිද්‍යාලය ශිෂ්‍යයා තුළින් උසස් නිර්මාණ, නව සොයා ගැනීම් හා ස්වාධීන විවේචන ආදිය බිහිවන්නේ එවිට ය. එවිටයි විශ්වවිද්‍යාලය භූමිය මොළ ගැටෙන තැනක් වන්නේ. මෙහි දී ගුරුවරුන්ගේ භූමිකාව සුවිශේෂී වෙයි. ආචාර්යවරුන් ශිෂ්‍යයන්ට මෙම ස්වාධීන පරිසරය ඇති කර දිය යුතු ය. පර්යේෂණය සඳහා මඟ කියා දිය යුතු ය. තම ශිෂ්‍යයා තමාට වඩා ඉහළ මට්ටමකට යනු දැකීම නොරිසි ආචාර්යවරුන්ගෙන් විශ්වවිද්‍යාලයට හෝ ශිෂ්‍ය ප්‍රජාවට වන සේවයක් නැත. මේ අනුව කල්පනා කරන විට පැහැදිලි වන්නේ ඉතාම දක්‍ෂ කථිකාචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයක් බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සතු වන බවයි. වසර 25 ක් ගත වන මේ මොහොතේ එය සුබ අනාගතයක පෙර නිමිත්තකි.

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අරමුණ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා රැකියාවකට පුහුණු කිරීම නොවේ. දේශීය හා විදේශීය සමාජයට දහම් දැනුම ලබා දීමට සමත් ගුණ නුවණින් හෙබි සමාජයට හිතැති පුරෝගාමී අමිල මෙහෙවරක් කළ හැකි උගත් යතිවරයන් පිරිසක් බිහි කිරීම එහි අරමුණයි. බෞද්ධ අධ්‍යයනයේ මූලික පරමාර්ථය තමන්ටත්, අනුන්ටත්, කරදරයක් නැතිව ගුණවත් ජීවිතයක් ගත කරමින් පරාර්ථය වෙනුවෙන් කැප වී නිවන් සාක්ෂාත් කර ගැනීමයි. ලෝකය මිනිස් ප්‍රජාවටත්, සත්ව ප්‍රජාවටත්, ශාඛයන්ටත් හිතකර භූමියක් බවට පත් කිරීම ද බෞද්ධ අධ්‍යයනයේ පරමාර්ථය යි. 25 වසරක් සපිරෙන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ද උත්සාහ කරන්නේ එකී අභිමතාර්ථයන් සාධනය කර ගැනීමට යි.

ලෝකයේ සිදුවන විවිධාකාර ගැටුම් දෙස සුපරීක්‍ෂාවෙන් බලන විට පෙනී යන කරුණක් නම්, විවිධ සංස්කෘතීන් අතර ඇති වෙනස්කම් මනුෂ්‍ය ප්‍රජාව අවබෝධ කර නොගැනීමයි. එමෙන්ම ඔවුහු එකී බහුවිධ සංස්කෘතීන් පිළිගැනීමට හෝ ඒවාට ගරු කිරීමට දක්වන අකැමැත්තයි. මේ තත්ත්වය සාමකාමී අනාගත ලෝකයකට හිතකර නොවන්නකි. එහෙත් මේ තත්ත්වය අනුව නිසැකයෙන් ම කිව හැකි වන්නේ දැනට තිබෙන ගැටුම්වලට වඩා බොහෝ ගැටුම් ඉදිරියේ දී නිර්මාණය වනු ඇති බවයි. විද්‍යාඥයින්ට නොපෙනෙන මේ ව්‍යසනය බෞද්ධ භික්‍ෂූන්ට නිතැතින් ම පෙනේ. එයට හේතුව බුදුදහම අධ්‍යයනය කිරීමෙන් ලැබෙන දුරදක්නා නුවණයි. මේ තත්ත්වය පෙන්වා දීමට සමත් වන්නේ බුදු දහමට පමණි. ඒ සඳහා සුදුසු වන්නේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා ය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පිටවන භික්‍ෂූන් වහන්සේලා ය. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පිටවන භික්‍ෂූන් පවත්නා මේ අහිතකර තත්ත්වය ලෝකයාට පැහැදිලි කර දීමට සමත් පිරිසක් වන්නේ නම් එය කෙතරම් භාග්‍යයක් ද? එවැනි පිරිසක් බිහිකර ගැනීම අද කාලීන අවශ්‍යතාවකි. එමෙන්ම ආත්මාර්ථකාමීත්වයන් මුලින් සඳහන් කළාක් මෙන් ජාති ආගම් කුල ගෝත්‍ර භේදාදියෙන් මංමුළා වී ඇති යුගයක අපි ජීවත් වෙමින් සිටිමු. මෙවැනි පටු ආකල්පවල ඇති නිසරු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ මීට වසර දෙදහස් පන්සියයකටත් පෙර ය. නව තාක්‍ෂණයෙන් හා විද්‍යාවෙන් දියුණු වෙමින් වෙනස් වන ලෝකයට බුදුදහමේ ඇති සහනශීලී පණිවුඩය ගෙන යාමට සමත් දෙස් විදෙස් භික්‍ෂූන් තැනීම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මූලික අරමුණයි. ශිෂ්‍ය භික්‍ෂූන්ගේ නිපුණතා වර්ධනය කර ගැනීමටත්, බුදුදහම පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමටත් ප්‍රායෝගිකව බුදු දහම ජීවිතයට අදාළ කර ගැනීමටත් විශ්වවිද්‍යාලය මඟින් පාඨමාලා රාශියක් හඳුන්වා දී ඇත. එය මේ අවස්ථාවේ දී කාගේත් පී‍්‍රති ප්‍රමෝදයට හේතුවන කාරණයක් වනු ඇත.

භික්‍ෂුව සමාජයට පරමාදර්ශී තැනැත්තෙකු විය යුතු ය. එබැවින් චරිත සංවර්ධනයට දහම් අධ්‍යාපනය පමණක් නොව භික්‍ෂූත්වයේ පරමාර්ථය හා කාර්යභාරය පිළිබඳව ද කරුණු භික්‍ෂුවට අවබෝධයක් ලබා දිය යුතු ය. ඒ සඳහා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සුදුසු ම තැනකි. ඊට සමගාමීව නූතන ලෝකය සමඟ අත්වැල් බැඳ ගැනීමට අවශ්‍ය පරිගණක හා තොරතුරු තාක්‍ෂණ දැනුමට අමතරව ඉංගී‍්‍රසි භාෂාව ද මැනවින් ඉගැන්වීමට කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි. විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේලා සමාජ සේවයක් කිරීමට කැප වූ පිරිසකි. ගෝලීයකරණය වූ සමාජය තුළ ආත්ම විශ්වාසයකින් යුතුව නැඟී සිටීමට අවශ්‍ය ශක්තිය බුදුදහම තුළ ඇත. සමාජ සේවයට ඔබින භික්‍ෂූන් වහන්සේ විෂය පරිබාහිර දැනුමෙන් ද ශාස්ත්‍රීය ශික්‍ෂණයක් ලැබිය යුතුමය. එකී ශාස්ත්‍රීය ශික්‍ෂණය ලබා දීමට බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් පාඨමාලා රැසක් ආරම්භ කොට ඇත. අපගේ ජාතික අභිමානය රැක ගත හැක්කේ එවිටයි. ඒ සඳහා ද සෑම විශ්වවිද්‍යාලයක්ම කටයුතු කළ යුතු කාලය එළඹී ඇතැයි ද සිතමි. සිංහල හෝ වේවා ඉංගී‍්‍රසි හෝ වේවා වෙනත් භාෂාවක් හෝ වේවා පැරැණි සාහිත්‍ය පරිහරණයට විශ්වවිද්‍යාලයවලින් මං පෙත් විවර කළ යුතු ය. පැරැණි සාහිත්‍ය ඥානයෙන් ලබන ඒ දැනුම ද අවබෝධය ද ජීවිත සාර්ථක කර ගැනීමට උපකාරී වනු ඇත. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ආරම්භ කළේ, වසර 25 ක් ගතවන මේ මොහොතේ එකී අරමුණු සාක්ෂාත් වී ඇතැයි විශ්වවිද්‍යාලය පාලනාධිකාරියට සතුටු විය හැකි ය. පුරෝගාමී මෙහෙවරක් ඉටු කිරීමට හැම දෙනාගෙන් ම ලැබුණු සහයෝගය ගැන ද කෘතගුණ පූර්වක විය යුතු ය. අනාගතයේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් වනු දැකීම අප කාගේත් ප්‍රාර්ථනයයි.



ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ රජත ජයන්තිය නිමිත්තෙන් බෞද්ධ හා පාලි අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය 2007 රජත ජයන්ති සමරු කලාපය හා තෙලකටාහ ගාථා ශාස්ත්‍රීය සංස්කරණය පසුගියදා හෝමාගම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේදී දොරට වැඩීම සිදු කැරිණි. එහිදී එම සරසවියේ මහෝපාධ්‍යාය මහාචාර්ය වෑගම පියරතන හිමියන් වෙත ආචාර්ය නෙළුවේ සුමනවංස හිමියන් විසින් එම ග්‍රන්ථ පිළිගැන්වූ අවස්ථාව

සේයාරුව - මහරගම සමූහ ටී.ඩී. සිරිසේන

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]