UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය කුමක් ද?

දයාවෙන් අනුකම්පාවෙන් පිරුණු අවිහිංසාවාදී මනුෂ්‍යයා දිව්‍ය , මනුෂ්‍ය ගති ස්වභාවයෙන් ඔබ්බට ගිය බ්‍රහ්මත්වයේ උතුම් ගති ගුණ පිළිබිඹු කරන (මෛත්‍රිය භජනය කරන ) උතුමකු වන බව බුද්ධ දේශනාව අනුසාරයෙන් අපට වටහා ගත හැකිය. ජීවත් වන සියලු ප්‍රාණීන්ට නිර්භයව සුව පහසුවෙන් ජීවත් වීමට ඉඩ සලසා දීමත්, පටු ආකල්ප පසෙකලා උතුම් මනුෂ්‍ය ගුණ ධර්ම විදහා පාමින් සියලු සතුන් සමග සුහදව , සතුටු සමගි සම්පන්නව , සහයෝගයෙන් ජීවත් වීමත් පූජනීය ජීවිතයක කැපී පෙනෙන ලක්‍ෂණයයි. මාංශ භෝජනයට නැඹුරු වීමෙන් මෙම මානුෂීය ගුණ පිරිහෙන බව ඇතැමකුගේ පිළිගැනීමයි. තවත් අය කියන්නේ මාංශ භක්‍ෂණය සූත්‍රයට අභිධර්මයට සහ විනයට අනුව වැරැදි නොවන බවය. බුදුරදුන් දෙසූ දහම තුළින් පිළිබිඹු වන්නේ කිසි ලෙසකින් අන්තග්‍රාහී නොවී මැදුම් දැක්මක පිහිටා හික්මෙන ප්‍රතිපදාවකි. තමන්ගේ ගුණවත්කම පෙන්වමින් සමාජය ඉදිරියේ කැපී පෙනෙන්නට යන අන්තගාමී අවිහිංසා ප්‍රතිරූපයටවත්, සිවුපසයට ලොල්ව කෑදරකමින් මුසපත්ව ඉඳුරන් පිනවන අඥාන අන්තග්‍රාහීබවටවත් එහි ඉඩක් තිබිය නොහැකිය. මෙම අන්ත දෙකින් එකකට වැටුණු කල පළමු වැන්නා තමා තුළ උපදින වඤ්චක ධර්ම ධර්මවාදීකමක් ලෙස මුලාවෙන් සලකා හෝ කූඨ වඤ්චනික කම් කර තමා තුළ නැති දෙයක් මවා පෙන්වා සසර දුකට වැටෙයි. දෙවැන්නා තමා තුළ ඇති දුර්ගුණ නිසා සමාජයේ අප්‍රසාදයටත් සසර දුකටත් වැටෙයි. මේ දෙදෙනාටම ( සිය වැරැදි දෘෂ්ඨිය අතහරින තුරු) හරි දැක්ම ලැබීමට නොහැකිය.

බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රාණීන් මරන බවත් බුදුන් වහන්සේ තමන් උදෙසා කළ ම මාංශය වළඳන බවත් කියමින් බුදු හිමියන්ට එදා විවිධ චෝදනා එල්ල වූ බවට චුල්ලවග්ග පාලි සීහසේනාපති තුමා ගේ කථාවේදීත් මජ්ක්‍ධිම නිකාය ජීවක සූත්‍රයේදීත්, සුත්තනිපාත ආමකගන්ධ සූත්‍රයේදීත් ප්‍රකටම කරුණු ඉදිරිපත් වී පෙනෙන අතර තවත් කිහිප තැනකම මීට අදාළ බොහෝ කරුණු සඳහන්ව ඇත. එහිදී කියැවෙන උද්දිස්සකට (උදෙසා කළ) යන වචනයෙන් හා තුන් තැනකින් පිරිසුදු වූ අදිට්ඨ , අසුත , අපරිසංඛිත (තිකෝටි පාරිසුද්ධ ) යන වචනයෙන් පිළිබිඹු වන්නේ බුදුරදුන් උදෙසා සතෙකු මැරූ බව තමන් වහන්සේ දැන නොසිටිය බව ද නො හොත් තමන් උදෙසා මාංශයක් පිළියෙල කිරීම (ඉවීම) සිදු වූ බව බුදුරදුන් දැන නොසිටිය බවද යන ගැටලුව අද සමාජයට ඇති බව පෙනෙයි. අටුවාවේ මෙය පෙන්වන්නේ තමන් උදෙසා මරන ලද බව විස්තර කිරීම් වශයෙනි. පටිවිංසක මාංශය (විකුණනු සඳහා වෙළෙඳ පොළේ ඇති මාංශය ) මිල දී ගෙනැවිත් පිස අනුභව කිරීමත් එවන් දෙය දන්දීමත් තමන්ට බලපාන්නේ කෙසේදැයි ඇතැම් ගෘහස්ථ පින්වත්හු ප්‍රශ්න කරති. ධර්මයෙහි විනයෙහි කරුණු උදාහරණ කොට පෙන්වමින් මෙම ගැටලුව ගැන විවෘතව සාකච්ඡා කිරීමට විද්වත් බුදුසරණ ලේඛක භවතුන්ට අප මෙහිලා ආරාධනා කරන්නේ සාමාන්‍ය ජනතාවට හරි දැක්ම ලබා දී ඔවුන් පාපයෙන් ගොඩ නගා ගලවා ගන්නට මෙයින් මහ උපකාරයක් සැලසෙනු නියත බැවිනි.

මුලින් කී දෙයාකාර අන්තගාමී දැක්මෙන් තොරව සිය අත්තනෝමතිය දැඩිව ස්පර්ශ නොකරමින් මැදහත්ව ගුණවත්ව මෙම ප්‍රශ්නයට විසඳුම් සැපයීම කාලෝචිත සමාජ සේවයක් හා ශාසනික සේවයක් ඉටුකිරීමක් ද වනවා ඇත. එය මෛත්‍රිය, කරුණාව කුමක්ද යන්න නිවැරැදිව වටහා ගෙන ලෞකික කඩඉම් ඉක්මවා ලෝකෝත්තරත්වය දක්වා යාමට අවශ්‍ය බොදු පිළිවෙත විවරකොට පෙන්වීමක් වනු ඇත.

උඳුවප්
අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 31 වැනිදා සඳුදා පූර්ව භාග 00.28 ට ලබයි. 2008 ජනවාරි 01 වනදා අඟහරුවාදා පූර්ව භාග 02.28 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර්
31 වැනිදා සඳුදාය.
 

මීළඟ පෝය 2008 ජනවාරි 07 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

First Quarterපුර අටවක

ජනවාරි 15

Full Moonපසෙලාස්වක

ජනවාරි 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]