UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චීන සත්‍ය බණ කතා

ප්‍රති උපකාරය

විවිධ වර්ණවත් අලංකාර මලින් ගැවසී ගත් ගණ නිල්වනපෙත මැදින් ගලා බස්නා සුදු පළිඟුවන් දිය ධාරාවේ මිමිණුම තොර තෝංචියක් නැතිව දිවා රාතී‍්‍ර ඒකාකාරව ඇසේ. වනපෙත මැද වූ කුඩා නිවසට මේ දොළපාරේ මිමිණුම ආශීර්වාදයකි.

සූර්යයා මුදුන් වන්නට ආසන්නව අහසේ බැබලෙයි. හිටි හැටියේම මුවකු මේ කුඩා නිවසේ ගෙවත්තට කඩා වැදුණි. මිදුලේ කුඩා ළමයකු ක්‍රීඩා කරමින් සිටියේ ය. වහාම ළමයා සමීපයට පැන්න මුව පොව්වා ළමයා ඇඳගෙන සිටි ඇඳුම තමාගේ අං තට්ටුවේ අමුණාගෙන දුවන්ට විය. මෙයින් මහත්සේ බියපත් වූ ළමයා මහ හඬින් කෑගසන්නට විය. ළමයාගේ කෑ ගැසීම නිසා මව ළමයා සිටි තැනට දිව ගොස් ළමයාගේ ඇඳුම අං තට්ටුවේ අමුණාගෙන දුවන මුව පොව්වා පසුපස හඹා ගියාය. මුව පොව්වාද ඉතා වේගයෙන් ළමයා අං තට්ටුව අතරේ හිරකර ගෙන තැනිතලා භූමියේ කෙළවර තෙක්දිව ගොස් ළමයා බිමතබා වන රොදට ඇතුළු විය. මව තම දරුවා රැගෙන දිවයන මුව පොව්වා පසුපස තමාට හැකි මුළු ශක්තිය යොදා ගිය විට නිරුපද්‍රිතව දරුවා තණ තලාවේ සිනාසෙමින් එනුදුටු මවගොස් දරුවා සිප වැළඳ ගත්තා ය.

ඇය තම පුත්‍රයා සමඟ ඉක්මන් ගමනින් නිවස කරා පැමිණෙමින් සිටියා ය. ඔවුන්ගේ නිවස පෙනෙන මානයට පැමිණි විට ළමයාගේ මව මවිත වූවා සේ මහා හඬක් නැඟුවා ය. ඇය දුටුවේ තම නිවස මතට කඩා වැටී තිබුණ දැවැන්ත ගසකි. නිවාසය සමීපයේ තිබුණ එම මහ වෘක්‍ෂය මුළු ගෙයම වසාගෙන සියල්ල විනාශ කරමින් ගෙය මතට කඩා වැටී තිබුණි. ගෙයිසිටි බලු බළල් හා ගව ආදී ජීවී සතුන් මියගොස් තිබුණි. මව සහ පුතා නිවසේ සිටියා නම් ඔවුන්ට ද සිදුවන්නේ බලු බළල් ආදීන්ට සිදු වූ දෙයමය.

මෙම සිද්ධියෙන් මාසයකට පමණ පෙර මේ නිවසේ සිදුවූ සිදුවීමක් මවගේ මතකයට නැඟුණි. කැලෑවේ දඩයම් පිණිස ගිය දඩයක් කාරයෙක් දවසක් මුවකු පසු පස එලවා ගෙන අමෝරාගත් දුන්න ඇතිව දිව ගියේ ය. දඩයක් කරුගේ ගමන් මග වෙනස් කළ මුව පොව්වා මෙම නිවස දෙසට වේගයෙන් පැමිණ ගේ ඇතුළටම රිංගා ගති. මුව පොව්වා සොයා එන දඩයක්කරු ගෙට එබී බලන විට එම කාරුණික කාන්තාව මුව පොව්වා ඝන රෙදි කඩකින් වසා සඟවා ගත්තා ය.

දඩයක්කරු ගෘහණියගෙන් මුවා ගැන විමසුවේ ය. “මොන පිස්සුද අනේ මුවෝ ගෙවල් ඇතුළට එනවද?” මේ ප්‍රශ්නයෙන් ඔබ්බට යමක් සිතාගත නොහුණු දඩයක්කාරයා මුවා පිටුපස දොරින් කැලයට රිංගා ගන්ට ඇතැයි සිතා ආපසු ගියේ ය. දඩයක්කාරයා බොහෝ දුරට යන තෙක් සිටි කාන්තාව මුවාට අනතුරක් නැතිබව හොඳින් තේරුම් ගියාට පසුව ආවරණය ඉවත් කොට ගෙයි පසුපස දොර විවර කර පිටවීයන්නට සැලැස්වූවා ය.

තමාගේ ජීවිතය බේරූ මෙම මව සහ දරුවා මුවපොව්වා විසින් මෙසේ මරණයෙන් බේරා ගන්නා ලද්දේ තමාට කළ උපකාරයට උපකාරයක් වශයෙනි. වනයකට වාගිණි කුණාටු භූමිකම්පා, ජල ගැලීම් ආදිය හෝ ගිනිකඳු පිපිරීම් වැනි ස්වභාවික විපත් සතුන්ට සිවුපාවුන්ට හා පක්‍ෂීන්ට කල්තියා දැනගත හැකි සංඥා විශේෂයක් ස්වභාව ධර්මයෙන් ම ලැබී තිබේ. ඒ අනුව මෙම මුව පොව්වා ස්වකීය ජීවිතය ගලවා ගත් මවගේත් ඒ මවගේ දරුවාගේත් ජීවිත බේරා ගැනීමට කළහැකි වූ එකම දෙය ළමයා මවට පෙනි පෙනී ඇඳිවත අං තට්ටුවෙහි පටලාගෙන ඔසවාගෙන යාමය. එසේ නොවන්ට මව ගෙයින් එළියට ගත නොහැකි ය.

යහපත් චේතනාවෙන් කාට හෝ යහපතක් කළහොත් එහි ප්‍රතිඵලය කවදා හෝ ලැබෙන්නේය යන න්‍යාය ධර්මයට මේ සත්‍ය කතාව අපූරු නිදසුනකි.

THE LOVE OF LIFE නමැති චීන බෞද්ධ සත්‍ය කතා ඇසුරිනි .

වප්

පුර අටවක


වප් පුර අටවක පෝය
ඔක්තෝබර් 19 වනදා සිකුරාදා පූර්ව භාග 01.38 ට ලබයි. 20 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 19 වන දා සිකුරාදා ය.


මීළඟ පෝය ඔක්තෝබර් 25 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 25

Second Quarterඅව අටවක

නොවැම්බර් 01

New Moonඅමාවක

නොවැම්බර් 09

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]