UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහියංගන රජ මහා විහාරයේ මහ පෙරහර

ඓතිහාසික මහියංගන රාජ මහා විහාරය හා ශ්‍රී සුමන සමන් මහා දේවාලය ඒකාබද්ධව පවත්වනු ලබන වාර්ෂික පෙරහර සමය ඉකුත් 12 වැනිදා චිරාගත සම්ප්‍රදායානූකූලව කප් සිටුවීමෙන් හා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශණාවක්ද පැවැත්වීමෙන් ආරම්භ කැරිණි.

මහියංගන රාජ මහා විහාර භාරකාර අස්ගිරි කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ සංවිධායකත්වයෙන් රාජමහා විහාර පෙරහර හා බෞද්ධ ආගමික වතාවත් සිදුකෙරේ.

මෙරට විවිධ පෙරහර හා සැසදීමේදී මහියංගන පෙරහරටම සුවිශේෂී වූ අංගයන්ද කිහිපයකි. අවසාන මහපෙරහර ගෙවැදීමෙන් අනතුරුව පැවැත්වෙන ආදීවාසීන් සහභාගි වන්නා වූ වැදි පෙරහර බුදුන් වහන්සේගෙන් දහම් අසා බුදු දහම වැළඳ ගෙන මාර්ග ඵලයට පත් වූ බෞද්ධ දෙවි කෙනෙකු වෙනුවෙන් පෙරහරක් පැවැත්වීම, දියකැපුම් පෙරහර සමග පැවැත්වෙන දොඩම් පෙරහර ද ඉන් කිහිපයකි.

පෙරහර කටයුතු සියල්ලම සිදුකෙරෙන්නේ මහියංගන රාජමහා විහාරය කේන්ද්‍රකොටගෙනය. මහියංගන පුදබිම ආශි‍්‍රතව ඓතිහාසික මෙන්ම බෞද්ධ ආගමික අතින් වඩාත් වැදගත් පූජනීය වස්තූන්ද කිහිපයකි. බුදුන් වහන්සේ යක්‍ෂ දමනය සඳහා මහානාග වනයෙහි අහස්කුස වැඩ සිටි ස්ථානයෙහි කරන ලද ස්ථූපය මහියංගන ස්ථූපයයි.

මහියංගනය ශ්‍රී ලංකාව තුල බුදුදහම ස්ථාපිත කරවීමේ ප්‍රථම කේන්ද්‍රස්ථානය හා බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශය ලැබූ ශ්‍රී ලංකාවේ මුල්ම පින් බිමද වේ. ලක්දිව දී ප්‍රථම වරට යමාමහ පෙළහර පෑවේද දැනට සෑය ඉදිකර ඇති ස්ථානයේදීය.

බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා සෝවාන් වූ සමන් දෙවිඳුන් විසින් එම ස්ථූපය පළමුවෙන්ම ගොඩ නඟා තිබේ. බුදුන් වහන්සේගෙන් ලබාගත් කේශධාතු නිධන් කොට ඇති බැවින් ජීව ධාතු නිධන් කර ඇති ලංකාවේ එකම ස්ථූපයද මෙය වේ.

එසේම සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු “ සරභූ” නම් මහරහතන් වහන්සේ විසින් දර සෑයෙන්ම ගෙන ආ සර්වඥ ගී‍්‍රවාධාතුන් වහන්සේලාද මෙම දාගැබේ නිධන් කොට තිබේ. උද්ධ චූලාභය, දුටුගැමුණු, වොහොරකතිස්ස , සේලාභය දෙවන සේන, 4 වන කසුබ් , 4 වන උදය, මහාවිජයබාහු, නිශ්ශංක මල්ල , 6 වන පැරකුම්බා , නරේන්‍ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රාජ්‍ය පාලකයන් සෑයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායකත්වය ලබා දී ඇතිබව ඉතිහාස ගතව ඇත.

මහියංගන පෙරහරේ අතීතය දෙස බැලීමේදී බුදුරජාණන් වහන්සේ වැඩම වීම සිහිපත් කරමින් 1890 දී දුරුතු පෙරහරක් ආරම්භ කොට තිබේ. ඒ වන විටත් සමන් දේවාල පෙරහර දුරුතු මාසයේදීම පවත්වමින් තිබිණි. මෙම පෙරහර 1907 වනතෙක්ම දුරුතු මසදී පැවැත්වූ බවට සාක්‍ෂි පවතින අතර එය අද වන විට ඇසළ පෙරහර බවට පත්ව තිබේ. සංඝමිත්ත , සිරිසඟබෝ හා ගෝඨාභය යන කුමාරවරු අනුරාධපුරයට යාමට පෙර වාසය කලේද මහියංගනයේය. සේලාභය රජු විසින් තම පුත් “සඟබෝ” කුමාරයා නන්ද නම් ස්ථවිර යන්හට භාර කරනු ලැබුවේද මෙම මහියංගන පුදබිමේ බෝ සෙවනේදීය. මෙම කුමාරවරුන්ට අකුරු ශාස්ත්‍රය උගන්වා ඇත්තේද මෙම බෝ වෘක්‍ෂය අසලදී බවද කියැවේ.

දස දෙසින් පැමිණෙන බැතිමතුන් බෝධින් වහන්සේට බාර හාර වීමෙන් අපල උපද්‍රව දුරුවෙන බවට ද ලොකු විශ්වාසයක් පවතී. ශ්‍රී සුමන සමන් දෙවිඳුන් වෙනුවෙන් ඉදිකරන ලද මහ සමන් දේවාලයද පිහිටියේ සෑයට යාබදවමය. සමන් දේවාල පෙරහරට දීර්ඝ ඉතිහාසයක් තිබේ. වර්තමාන දියවඩන නිලමේ දේශබන්ධු රංජිත් අමරසිංහ මහතාගේ සේවා කාලය තුලදී දේවාලය හා ඊට අදාළ සියලුම සංවර්ධන ආවතේව පරිපාලන කටයුතු විධිමත්ව සකසා තිබීමද අගය කල යුතුව ඇත.

කප් සිටුවීමෙන් පසු දිනපතාම පෙරහර පැවැත්වෙන අතර රන්දෝලි ආරම්භ වූයේ 22 දාය. අවසාන රන්දෝලි හෙවත් මහියංගන මහ පෙරහර වීථි සංචාරය කෙරෙන්නේ 26 වනදා පොහෝ දින සන්ධ්‍යා භාගයේදීය. පෙරහර ගෙවැදීමත් සමගම ආදි වාසීන් සහභාගි වන ඓතිහාසික වැදි පෙරහර පැවැත්වේ.

මහියංගන පූජා භූමියට නව ආලෝකයක් ලබාදීමට වර්තමාන භාරකාර උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන් විසින් දරන ලද කැපවීම හා උත්සාහයට මුළු ජාතියේම ගෞරවය පුද කල යුතුව ඇත. මේ අනුව අලංකාරවත්ව සකස් කරන ලද මකර තොරණ සහ චෛත්‍ය මළුවට පිවිසෙන නව මාර්ගයද නිමකර තිබේ.

බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusaran[email protected]