UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කවි සංකල්පනා

සංස්කරණය - නන්දන වීරසිංහ

ගිලෙමි ඔබේ ගුණ මූදේ

ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිමි ඔබැ පාදේ
තිලොවග බුදු සමිදේ

සිඳ බිඳ මොහදුර පාප
දැල් වූ දහම් පදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ

සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙල ගුණ ඇති සෝම
සත හට පෑ මවු පේම
තිලොවග බුදු සමිඳේ

දෙවියන් ගෙත් දෙවි සේක
බඹුන් හටත් බඹ සේක
ඔබ මැ අසම සම සේක
තිලොවග බුදු සමිඳේ

(අමරදේවයන් ගයන ගීයකි.)

නමදිමි

උතුම් නිමල් ලොව පරසිදු ගිරි කුළුව
විකුම් ගඟුල් සරසති දියවර සළුව
දහම් සුනිල් බිම ලොව්තුරු සුව ගැලුව
වඳිම් සියල් බැතියෙනි සිරිපද මළුව

අඩවිය සමන් සුරිඳුගෙ අනුහස පතළ
සුරැකිය තෙදින් දෙව් බඹු මුනි පා කමල
වනලිය මතින් සුර අඟනන් මල් අතුළ
වැසි දිය රුවන් මිණිකැට වූයෙලු එකල

නමස්කාර කර රැස් තෙවරක් බලති
දිනක් නැර ඉර සේවය පුද කරති
මෙ සංසාර දුර ගමනේ ගිම් නිවති
සාදුකාර සර සුවඳක් වී ගලතී

දුරින් දුරට සුදු මල් යායක් විලස
බුදුන් පුදට කරුණා වේ බැති පිරිස
සිහින් හඬට ගී මුමුණති තුරු සිරස
නුවන් කුමට නුදුටුව සමනොළ පියස

ගඟ ළඟ බුදුරුව

ජීවිතයේ අනියත බව
ලොවට නිති පසක් කරමින්
නිබඳ වෙනස් වන ගඟ දෙස
මුදිතාවෙන් බලා සිටින

බිලි කොක්කේ මාළු දැලේ
රළු පහසින් අත්මිදෙන්න
දිය ගැඹුරෙන් පීනා එන
කුඩ මසුන්ට සෙවණ සදන

දඩයම් මඳකට නවතා
බුදුරුව දැක බවුන් වඩන
සිල්ගත් කිරි සුදු කොකුන්ට
උදේ හවා පිරිත් දෙසන

සිරිපා මුල පූජාවන
දුප්පත් - පොහොසත් දන් පෙත්
පිළුණු වන්න පෙර පෙරළා
බලු කපුටන් හට දන් දෙන

අතිර සසර දුක් ගිනි වන්
අව්වැසි අතවර විඳිමින්
නිමල නිදන් දා සිරසින්
අනෙක වසුරු වැසි ඉවසන

බුදු පුතකුට වඩා හොඳින්
බුද්ධ පාරමී සපුරන
සමිඳුනි ඔබ වහන්සේ ද
මෙත් බෝසත් මතු බුදු වන ?

බෝ රජාණෝ

හලමි පත් සියල්ල
දුක ද සමග
කිරි බී වැඩුණු
ළදළු සියල්ල
උනා දමමි

නිදිවැරූ දෑසක
වෙහෙස ගතිමි
කොඩි වැල් වන වනා
ජය ම ගෙන දුනිමි

සිලි සිලියෙ පත් අතර
ඒ සතුට විඳ විඳ
කිරි වතුර නාගෙන
රන්වන් පාටට බැබැළිණි

ඉවරයක් නැති දුක
කවි කර කර කියති
වැලපි වැලපී
පිහිට ඉල්ලති

දුකින් හෙම්බත් ව සිටිමි
වන වත සරණ
සෙසු තුරු සේ
සතුට සොම්නස
සොයා ගොස් වැළඳ ගනිමි

හළමි පත් සියල්ල
දුක ද සමඟ
කිරි බී වැඩුණූ
ළදළු සියල්ල
උනා දමමි

ලොකු හාමුදුරුවන් මහලු වී....

එක්තැන් වෙලා අපෙ ලොකු හාමුදුරුවෝ
වැඩ ඉන්නවා ගිලාන මඤ්චකයේ
ගෝල දෙන ඉගිලිලා සතර දිගන්තේ
ඉකිබිඳිනවා ධර්මාසනේ බණ මඩුවේ

සිලි සිලියෙන් ගැයූ ථෙරගීතිකාවෝ
නිවී ගියෝ බෝ මළුවේ ඊයේ
දුකින් තැවී මැලැවී ගිය බෝ පත්හු
මුමුණති අද සූත්තරේ පරිනිබ්බාන

පිටු ඉරී ගිය ජාතක, බණපොත් වහන්සේ
වනපොත් කරනවා කාවෝ පොත් ගුල ඇතුළේ
දානයට ද අමතක වී ගිය දාන පාත්තරේ
තනි වී ඉන්නම් හුදෙකලාවක දංගේ ඇතුළේ

කව් මිණි කො‍ෙඬාල

කිමදෝ වෙළන්නේ මත් කොට මා
මත් පැන් බී කලක් මෙන් ?

වටේ සිටිත් ශෝකී මුහුණින් නෑයෝ
අවුල් කෙසින් ඇඳ සුදු
නොකඩවා හඬ ගැහැනියක්
තියා විලාප උස පිත්තල මහ පහන
සිළු දිලේ හිරු එළියෙහි අඳුරුව
වැහැරිය මුහුණ පණ තිබුණු කලට වඩා
යති එති අමුත්තෝ බලා මිනිය
මදක් සිට බැරෑරුම් ලෙස

මා සමග පාසල් ගිය මිතුරෙකි ඔහු,
වයසින් සම මට මහළු වියට ළං වුණු.

කැලඹි සිතින් සිටියෙමි මම
නිසල ව නිහඬව
නො ඇසේ මට හැඬුම, නොපෙනේ කිසිවක්.
මළැයි මගෙ මිතුරා ශෝකය පහ වූයේ
කොයි වේලෙ ද නො දනිමි මම
මිදී සිත එඩිය, පහළ වී මරණය
තද වේ ළැම, සුස්මන අපහසුවෙන්.

බිඳුණු ඔරුවට පිරෙන මෙන්
පත්ලෙන් නොකඩවා දිය,
නැගේ භය කොහෙන්දෝ

ඉවත් වීම් එතැනින් නමාගෙන හිස
උස පිත්තල මහ පහන සිළු
හිරු එළියෙහි දිලේ අඳුරු ව
එහෙත් බිය එළවා
දැල්කවුළුව කාව්‍ය සංග්‍රහයෙනි.

බිනර පුර පසළොස්වක

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 26 වන දා බදාදා පූර්ව භාග 04.28 ට ලබයි.
27 වන දා බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 01.14 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 26 වන දා බදාදාය.

මීළඟ පෝය ඔක්තෝබර්
03 වන දා බදාදාය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 03

New Moonඅමාවක

ඔක්තෝබර් 10

First Quarterපුර අටවක

ඔක්තෝබර් 19

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]