[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පන්සිල් හා ජීවිතය
 

පන්සිල් හා ජීවිතය

බුදුදහම හුදෙක් ගිහි - පැවිදි දෙපිරිසටම ජීවිතයේ අවසන් ප්‍රතිඵලය වූ නිර්වාණය කරා ළඟා වීමට නිසි මඟ පෙන්වා දෙයි. මැනවින් ප්‍රකාශිත දහමක් ලෙස බුදුදහම හැඳින්වෙන්නේ එය හුදෙක් මිනිස් දිවිය හා ප්‍රායෝගික වන බැවිනි. ගිහි ජීවිතය පැවිදි ජීවිතයක් ලෙසම ගත කළ යුතු යැයි බුදුදහම කිසිදු තැනක නොදක්වයි. එහෙත් ගිහි ජීවිතයටද ධාර්මික වටිනාකමක් ලැබිය හැකි ලෙස ජීවත්විය යුතු බව අවධාරණය කරයි.

නීතියක් නොවේ

බුදු දහමෙහි ඉගැන්වීමට අනුව තිසරණ සරණ ගිය සැදැහැති බෞද්ධයාගේ ජීවිතයේ සදාචාරාත්මක පදනම පංච සීලය යි. ඉතා නිවැරැදි ජීවිතයක් ගොඩනැඟීමට බෙහෙවින්ම අත්‍යවශ්‍ය වටිනා උපදේශ පහක් පංච සීලය තුළ ගැබ්ව පවතී. සතුන් මැරීමෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, වැරදි කාමයෙහි හැසිරීමෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම සහ රහමෙර පානයෙන් වැළකීම තුළ නීතියක් හෝ මෙසේ කළ යුතු ය නො කළ යුතුය, යන විධානයක් හෝ නොමැත.

සීලය යනු උතුම් පිළිවෙතකින් තමාගේ කය, වචනය හික්මවා ගැනීමයි. කෙලෙස් ගිනි නිවන සිසිලසක් සීලයෙහි පවතී. හිස සුන් කල්හි ජීවිතය නොරඳනාක් මෙන් සීලය නොමැති කල්හි ගුණධර්ම නොරඳනාක් මෙන් සීලය නොමැති කල්හි ගුණධර්ම නමැති සිරුරක්ද නොරඳන්නේය. ගිහි බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය බවට පත්ව ඇත්තේ එබැවිනි.

ජීවත්වීමේ නිදහස

සෑම දෙනකුම නිතරම උත්සාහවත් වන්නේ කරදර බාධක නොමැතිව ජීවත්වීමට යි. එබැවින් ජීවිතයට බෙහෙවින්ම පි‍්‍රය කරන සත්ත්ව වර්ගයා ඝාතනය කිරීම මහා බරපතළ අකුසල කර්මයකි. ශරීරයේ අත පය නැතිව හෝ ජීවත්වීමට සැවොම ඇලුම් කරති. ඒ අනුව ප්‍රාණඝාතයෙන් සත්ත්ව වර්ගයාගේ මූලික අයිතිවාසිකමක් වන ජීවත්වීමේ නිදහස ද අහිමි කරනු ඇත.

පොදු මානසිකත්වය

පුහුදුන් සැවොම තමා සන්තකයෙහි තිබෙන මිල මුදල් මෙන්ම විවිධාකාර උපකරණ හා භාණ්ඩවලට ඇලුම් කරති. එය වෙනත් අයකු සොරකම් කිරීමෙන් ඒවායෙහි හිමිකරුවාට ඇතිවන්නේ සිත් පීඩාවක් හා පාඩුවක්ය. එය ඔහුට මෙන්ම එවන් විපතකට පත්වූ ඕනෑම කෙනකුට පොදු මානසික ස්වභාවයකි. එය බුද්ධිමත්ව තේරුම් ගත් කෙනකු කිසිදාක සොරකමට යොමු නොවේ.

සුහදබව රැකීම

කය ද කායික වින්දනය ද වැරැදි ලෙස භාවිත කිරීමෙන් වැළකීමට තෙවැනි සිල්පදයෙන් උපදෙස් ලැබෙයි. මෙම සිල් පදය විවාහ ජීවිතය සම්බන්ධයෙන් මෙන්ම පුද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද එක සේ බලපායි. එබැවින් වැරැදි කාම සේවනයෙන් වැළකීම මිනිස් සමාජයේ ශිෂ්ටත්වය හා සුහදතාව ආරක්ෂා වීමකි.

රැවටීම වැරදියි

අන්‍යයන් රවටන හැඟීමෙන් වංචාකාරීව යමක් පැවසීම බලවත් අකුසලයකි. සිදු වූ දෙයක් සිදු නොවූ දෙයක් ලෙසත් දුටු දෙයක් නොදුටු දෙයක් ලෙසත් නුදුටු දෙයක් දුටු දෙයක් ලෙසත් ප්‍රකාශ කිරීම මෙයින් අදහස් කෙරේ. බොරු කීම පමණක් නොව, අද සමාජයේ බහුල වශයෙන් ක්‍රියාත්මක වන බොරු ලිවීම හා බොරු පොරොන්දු දීම ද මීට ඇතුළත් වෙයි.

මනස අඳුරු කර ගැනීම

පෙර කිසිදාක නොවූ විරූ ආකාරයේ මත්වතුර, මත්ද්‍රව්‍ය, මත්පෙති හා විවිධ ක්‍රම මඟින් ශරීර මත් කරවන ද්‍රව්‍ය අද ලොව පුරා පැතිරෙමින් පවතී. මේවා භාවිතය පුද්ගල මනස අඳුරු කිරීමට හේතුවනවාක් මෙන්ම පුද්ගල ජීවිතයද ඉතා පහත් තත්ත්වයකට ඇඳ වැටීමට හේතු වෙයි. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ස්වකීය වුවමනාවෙන් ම මනස අඳුරු කරගත් පුද්ගලයා තවත් විපත්ති සයකට මුහුණදීමට සිදුවේ. ඔහුගේ ධනය බලා සිටිය දීම විනාශ වෙයි. කලකෝලාහලාවලට යොමු වෙයි. ශරීරය විපත් රෝගාබාධවලට ආයතනයක් වෙයි. ලජ්ජාව හා බිය රහිත පුද්ගලයකු බවට නිතැතින්ම පත් වෙයි. ඔහුගේ නුවණ ඉක්මනින් දුර්වල වී ඔහු පිළිබඳ අපකීර්තිය සමාජය පුරා පැතිරයාමට ද එය ප්‍රධාන හේතුවක් වෙයි. එබැවින් මත්වතුර සහ මත්ද්‍රව්‍යවලින් වැළකී ජීවිතය උසස් තත්ත්වයකට පත්කරන බව මනාව පැහැදිලිය.

 

අමාවක

සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00න් ගෙවේ.
10 බ්‍රහස්පතින්ද සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

සැප්තැම්බර් 10

First Quarterපුර අටවක

සැප්තැම්බර් 18 

Full Moonපසළොස්වක

‍සැප්තැම්බර් 25

Second Quarterඅව අටවක

‍‍‍ඔක්තෝබර් 03

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]