ඉවසීමේ ශක්තිය හා සූදානම් ශරීරය
උඩුඊරියගම
ධම්මජීව හිමි
ඉඳගෙන ඇස් දෙක වසාගෙන, අතක් උඩ අතක් තබාගෙන ඉන්නවා වගේ නොවෙයි, ඇවිදින කොට ඇස්
පේනවා. ශබ්ද ඇහෙනවා. කයටත් විවිධ දැනීම් දෙනවා. ඊටත් වඩා වැඩියෙන් එදිනෙදා වැඩ කරන
කොට තවත් අමතර දේ මේකට එකතු වෙනවා. බොහෝ විට පවුලේ අය, යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න
වෙනවා. විවිධ කටයුතුවල යෙදෙනවා.
ඒවා ඇවිදිනවා වගේ පුංචි සරල ක්‍රියා නෙමෙයි. ක්‍රියා රාශියක් සිදු වෙනවා. එහෙම
ක්‍රියා රාශියක් සිදු වෙන කොට එන්න තිබෙන, සිදු වෙන්න තියෙන අමනාප අවස්ථා, අමිහිරි
අවස්ථා, බලාපොරොත්තු නැති අවස්ථා වැඩියි.
බාහිරෙන් එන අරමුණු වැඩි නිසා ඒ වගේ වෙලාවක සතිය පිහිටවන්න අමාරුයි. නමුත් එහෙම
වෙලාවක වුවත් අවිරුද්ධ ප්‍රතිපදාව ගැන අහපු, කරදර නැති තැනක, පහසු තැනක, පහසු
වෙලාවක සතිය වඩපු, ඒ වගේ ම ඉඩ පහසුව ඇති තැනක සතියෙන් ඇවිද අපන්නක ප්‍රතිපදාව,
අප්‍රමාද ප්‍රතිපදාව පුරුදු කරපු කෙනාට ගෙදර දොරේ වැඩ කටයුතු කරන වෙලාවෙත් සතියේ
වඩා වර්ධනයක්, දියුණු කිරීමක් කර ගන්න පුළුවන්. මේ ඇත්තෝ එහෙම පුරුදු කර නැත්නම්
හිතන්න එපා අපි එහෙම පුරුදු කර නැති නිසා මේ ලිපිය අපිට ප්‍රයෝජනවත් නොවෙයි කියා.
සමහර කාර්ය බහුල පිරිස් ඉන්නවා මුලින් ම මේ වගේ එදිනෙදා වැඩවල දී මේ වගේ
ක්‍රියාකාරකම් නිසා සතිය පුහුණුවීම ආරම්භ කරන අය. ඒ නිසා දිගට ම කියවා ගෙන යන්න.
අපි හිතමු පිඟානක් හෝද හෝදා ඉන්න වෙලාවක් කියලා. ඒ වෙලාවේ තව කෙනෙක් පිඟාන හෝදන්න
ඇවිත් ඔයාට ඉක්මන් කරන්න කියලා කියනවා. නැත්නම් ජල කරාමයේ වතුර නැතුව යනවා. එවිට
නුරුස්නා ගති, අමනාප ගති පහළ වෙනවා. අවිරුද්ධ ප්‍රතිපදාව පුරුදු වෙන පුද්ගලයා මුලදී
නිහඬ ව බලාගෙන ඉන්නවා, තව ටිකකින් වතුර එයි. එහෙම නැත්නම් මේ කෙනා යයි හෝ ඉක්මන්
කරන්න කියා කියන කරච්චලය නවත්තයි කියලා හිතලා. බාධාවක් වුණා තමයි, ඒත් නොවුණ ලෙස
ඉන්නවා. ඒ නිසා වෙන්න තියෙන නෝක්කාඩුව නැති කර ගෙන ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒවා
අපි නිතර ම කරන දේ. නමුත් අපි දැන් කතා කරන්නේ සතිමත් ව කරන ආකාරය පිළිබඳව යි.
ඇතිවූ කරදරේ දිගට ම තිබෙනවා කියලා හිතමු. එහෙම නම් සතියෙන් අනෙක් කෙනා එක්ක කතා කර
ඉවසා ගෙන ඉඳීමු කියලා සාමකාමී ව සමථයකට පත් කර ගන්න ඕනෑ. මේ විදිහට ප්‍රතික්‍රියා
නො කර කරමින් සිටින වැඩේට පූර්ණ අවධානය යොමු කර ගෙන ඉන්න බව අඟවන්න උත්සාහ කිරීම
අවිරුද්ධ ප්‍රතිපදාවේ දෙවැනි පියවර විදිහට දක්වන්න පුළුවන්. මෙතැන දී තව කෙනෙක් ආවා
කියලා අයින් වෙන්නෙත් නැති ව, ආව කෙනා එක්ක ගැටෙන්නෙත් නැති ව සතිය පවත්වන්න උත්සාහ
කරනවා.
අදියර තුනකට අවිරුද්ධ ප්‍රතිපදාව එදිනෙදා ජීවිතයේ වැඩවල දී යොදා ගන්න පුළුවන්.
බාධාව ගණන් නොගෙන සතිය පැවැත්වීම පළමු අදියර වන අතර, ඉවසීමෙන් අනෙක් කෙනා සමඟ
සාකච්ඡා කර සමථයකට පත් කර ගැනීම දෙවැනි අදියරයි. බාධාව දිගට ම තිබෙන නිසා
ප්‍රතික්‍රියා නොකර පැත්තකට වීම තුන් වැනි අදියරයි. මේ හැම වෙලාවක ම කොච්චර දුරට
අවිරුද්ධ ව සිට සති මාත්‍රාව බේර ගන්න පුළුවන් වුණා ද කියන එක තමා වැදගත්. එහෙම
බලාගෙන ඉන්න පුළුවන්කමක් ලැබුණු දවසක් ආවොත් අපට තේරෙයි මේ වගේ දේවලින් තමයි ඉඳගෙන
ඉන්න කොට පුරුදු කරපු සතිය අපි හොඳට තහවුරු කර ගන්න, එහෙම නැත්නම් විවිධාංගීකරණය
කරලා ඕනෑම තත්ත්වයක් යටතේ දී කර ගෙන යන්න පන්නරය ලැබෙන්නේ කියලා.
අනිත් පැත්තට විරුද්ධත්වයක් ඇතිකර නො ගෙන සිහියෙන් මෙවැනි අවස්ථාවලට මුහුණ දෙන්න
පුරුදු වීම කවදා හෝ සතිමත් ඉඳ ගැනීමට රුකුලක් වෙනවා.
මේ වගේ අභියෝගාත්මක නුරුස්නා ගති ගොඩක් සිදු වෙන්නේ ඉඳගෙන හෝ ඇවිදින වෙලාවට හෝ
වැඩිය එදිනෙදා වැඩවල දී තමා විශේෂයෙන් ම අපි සමූහයක් එක්ක වැඩ කරන විට මේ විදිහට
ගැටුම් අවස්ථා, බලාපොරොත්තු නොවන අවස්ථා එනවා. ඒ වෙලාවට සතිය රැක ගෙන ඉවසීමෙන්
එදිනෙදා ජීවිතයේ වැඩවල දී සතිය වඩන්න බැරි නැහැ. සමහර වෙලාවට හදිස්සියේ කාගෙ හරි අත
කැපුණොත් තුවාලයක් වුණොත්, ඒ වෙලාවටත් ඔය අපන්නක ප්‍රතිපදාව නැත්නම්, අවිරුද්ධ
ප්‍රතිපදාව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වෙලාවට කලබල නොවී, හෙමින්, සතිමත් ව
නිශ්ශබ්ද ව කළ යුතු දේ තීරණය කිරීම වටිනවා. ඒ සඳහා පැමිණි දේ තේරුම් ගෙන අවශ්‍ය දේ
කිරීමට සතිය ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
එදිනෙදා ජීවිතයේ දී අවිරුද්ධ ප්‍රතිපදාව සති ක්‍රීඩා විදිහට යොදා ගැනීම තවත්
ක්‍රමයක්. ඇස, කන, නාසය, දිව, කය සහ මනස කියන ඉඳුරන් සත්ත්ව සමූහයකට කළ උපමාව නැවත
මතක් කර ගත්තොත් මේ විදිහට වැරදෙන, කලබල වෙන තැන්වල දී මේ සතුන් ඒ අයගේ යථා
ස්වරූපයෙන් හැසිරෙන හැටි දැක ගන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවල දී සතිමත් ව වෙන දේ
හොඳ පැත්ත බැලීම හෝ, වෙන දේ එක්ක නො ගැටී අවිරුද්ධ ප්‍රතිපදාවේ යෙදීම හෝ ක්‍රීඩාවක්
විදිහට ජීවිතයට එකතු කර ගන්න පුළුවන්.
කණ්ඩායම් ක්‍රියාවක යෙදෙන වෙලාවට ඒ කණ්ඩායමේ සෞඛ්‍ය සම්පන්න මානසිකත්වය හැම කෙනකුගේ
ම වගකීමක්. තම තමන්ට පුළුවන් තමන් නිසා කණ්ඩායමේ සෞඛ්‍ය සම්පන්න බව නැති නො වන ලෙස
වැඩ කරන්න. තමන් ඉවසීමෙන්, සියල්ල වෙන්නේ හොඳට කියන බැල්මෙන්, නැත්නම් හැමෝම ළඟ
ඉන්නේ සතුන් හය දෙනෙක් විදිහට වැරදීම්, පැරදීම් දෙස බැලීමෙන් ක්‍රීඩාවක් බවට පත් කර
ගන්නත් පුළුවන්.
මෙය විස්තර කර දෙන්න අපට පන්ති කාමරයක් උදාහරණ විදිහට ගන්න පුළුවන්. පන්තිය භාර
ගුරුවරයා නැති වූ වෙලාවක ළමයි නොසන්සුන් වෙන බව අපි කවුරුත් දන්න කාරණයක්. එක
එක්කෙනාට, එක එක් කෙනා උසුළු විසුළු කිරීම බොහෝ විට දකින්න පුළුවන්. සතිමත් කෙනකුට
නම් හොඳට තේරෙනවා , පාලනයෙන් ගිලිහුණු ගමන් මේ ඇතිවෙන ඇවිස්සෙන ගතිය. පිටරටක කළ
පර්යේෂණයක් තිබෙනවා. එහිදී ළමයින්ට කියා දී තිබෙනවා කෙනෙක් ඔයාට විහිළු කරනවා නම්
ඒකෙන් ඔයා ඇවිස්සෙනවා නම්, ඔයා පරාදයි. විහිළු කරන කෙනා දිනුම්. ඒ නිසා විහිළු කරන
වෙලාවට ඇවිස්සෙන්නේ නැති ව තරහ ගන්නේ නැති ව ඉන්න පුළුවන් කෙනා දිනුම් කියලා. ඒක
පන්ති කාමරයට හඳුන්වා දුන් ක්‍රීඩාවක් විදිහට ක්‍රියාත්මක කර තිබෙනවා. මුලදී ඒ
ළමයින්ටත් මේ ක්‍රීඩාවට හුරු වෙන්න අමාරු වෙන්න ඇති. මේ ක්‍රීඩාව නිතර මතක් කිරීම
පන්ති භාර ගුරුවරයා විසින් දිගට ම සිදු කර අවුරුද්දක් විතර වගේ පුහුණු කර තිබෙනවා.
මේ පුහුණුව කර ඇත්තේ හතරේ පන්තිය ළමයින් එක්ක. පහේ පන්තියේ දී ඒ ළමයින්ගෙන් නැවත
අහනවා ඔයාට කවුරු හරි අමනාප වෙන විදිහේ දෙයක් කළොත්, විහිළුවක් කළොත්, ඔයා මොකක්ද
කරන්නේ කියලා.
ඒ පන්තියේ එක ගැහැනු ළමයෙක් කියා තිබෙනවා මට දැන් එහෙම තරහ යන දෙයක් කරන කොට ම මතක්
වෙනවා මම ඇවිස්සුණොත්, තරහ ගත්තොත් මම පරදිනවා කියලා. ඒ නිසා මම ඉවසීමෙන් ඉන්න ඕනෑ
කියලා ඉවසන කොට ඒ කෙනා පැරදිලා පසුබසිනවා කියලා. ඉතින් පන්ති භාර ගුරුතුමිය ඒ
ළමයාගෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා ඔයා මේ ලබා ගත් දැනුම, අත්දැකීම තව කෙනකුට කියලා
දෙන්න පුළුවන් ද කියා. ඇය කියනවා කාටවත් කියලා දෙන්න බැහැ කිව්වට ඒ අයට තේරෙන්නේ
නැහැ කියලා. නමුත් නැවත නැවත උනන්දු කරවමින් අහන විට ඒ දරුවා කියනවා ගුරු මහත්මිය
නිතර කිව්වත් කවුරුවත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ. ඒ අයට රණ්ඩු කරන එක, තව කෙනකුට
රිදවන එක නවත්තන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා මට කියලා දෙන්න තේරෙන්නේ නැහැ කියලා. තව
දුරටත් ඉල්ලීමක් විදිහට ඒ පර්යේෂණ කණ්ඩායම ඒ දරුවාට කියනවා ඔයාට උදාහරණයකින් හරි
කියන්න පුළුවන් ද කියලා. එතකොට ඒ දරුවා කියන උදාහරණය තමයි මට කවුරු හරි විහිළු
කළොත්, තරහ යන දෙයක් කළොත් මම ඒ සැණින් ඒ කෙනාගේ හිත කොහොම ඇතිද කියලා කල්පනා කර
බලනවා. එතකොට මට පේනවා ඒ හිත කැළඹුණු ජලාශයක් වාගේ. ඒ කැළඹුණු නිසා තමයි එයා මාවත්
කළඹන්න හදන්නේ කියලා මට තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවට මගේ හිත දිහා බලන විට මට
පේනවා ඒක බොහෝම තැන්පත්, කැලයක් මැද තියෙන නිස්කලංක වැවක් වගේ කියලා. ඉතින් මම
උත්සාහ කරන්නේ ඒ අයගේ කැළඹුණු ජලාශය නිසා මගේ නිස්කලංක ජලාශය කළඹ ගන්නේ නැතුව ඉන්න.
ඉතින් ඒ නිසා මම කලබල වෙන්නේ නැහැ. බණින්න, ගහන්න යන්නේ නැහැ. කලබල නොවී ඉන්න කොට
එයාගේ ඒ ප්‍රයත්නය ඉබේ ම අසාර්ථක වෙනවා. එයා පරදිනවා.
වතුර ටිකකට පස් ටිකක් දාලා හොල්ලලා හදා ගත් වීදුරුවක් හෝ බෝතලයක් භාවිත කරනවා. වතුර
කැළඹුණොත් වීදුරුවේ මඩ කැළඹෙනවා. නිසල ව තිබ්බ ගමන් මඩ ටික වීදුරුවේ නැත්නම්, බෝතලේ
තැන්පත් වෙනවා. එලෙස තැන්පත් වීමක් අපන්නකව කවුරු කලබල කරත්, හිත නරක් නොකර ගැනීමේ
ක්‍රීඩාව කරන විට අප තුළ සිදු වෙනවා. ඉතින් ඒ වගේ කවුරු හෝ අපව අවුස්සන්න, කලබල
කරන්න හැදුවත් ඔහුගේ ඇවිස්සුණු හිත දිහා බලලා තමන් ඇවිස්සෙන්නේ නැති ව ඉන්න උත්සාහ
කරන්න පුළුවන්. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සූදානම් වී ගියොත් හිත අවිරුද්ධ ව
පවත්වා ගන්න ක්‍රියාව ඉබේ සිදු වෙන බව මේ අයට වැටහේවි. ඒ සඳහා වැරැදි, වැරැදි
පුහුණු වීම අවශ්‍ය වෙන අතර, පුහුණුව අපව අතරමං නො කරන බව ටික දිනකින් වටහා ගන්න
හැකි වේවි. උත්සාහ කර බලන්න. මේ ක්‍රීඩාව කරපු කිසිම කෙනෙක් පැරදිලා නැහැ. ඒ නිසා
තමන්ට අමනාපයක්, කරදරයක්, හිත් තැවුලක් ආපු හැම වෙලාවෙ ම මේ අපන්නක ප්‍රතිපදාව,
අවිරුද්ධ ප්‍රතිපදාව ක්‍රියාත්මක කර බලන්න. ඒ කරන හැම වෙලාවේ ම තමන් තුළ ඉවසීමේ
ශක්තියක් සහ සූදානම් ශරීරයක් හැදෙනවා.
|