බුදුරුවගල පුදබිම වරුණ
දිල්හානි ජයවර්ධන
මොණරාගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලවාය නගරයේ සිට තණමල්විල පාරේ අංක 48 වැනි සැතපුම්
කණුව අසලින් හැරී සැතපුම් හතරක් පමණ ගිය විට බුදුරුවගල ඓතිහාසික පුදබිමට ළඟා විය
හැකි ය.
ගල් කුලක නෙළා ඇති මෙරට ඇති උසම බුද්ධ ප්‍රතිමාව මෙම පුදබිමේ පිහිටා ඇති අතර, සමභංග
ඉරියව්වෙන් හා දකුණතින් අභය මුද්‍රාව නිරූපිත මෙම හිටි
බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 51ක් පමණ උසකින් අර්ධ උන්නත ව නෙළා ඇත. මෙම බුද්ධ
ප්‍රතිමාවේ සිවුරේ රැලි බදාමයෙන් නිමවා ප්‍රතිමා වහන්සේ සුදු, රතු, කහ සහ දුඹුරු
ආදී වර්ණවලින් හැඩ ගන්වා තිබූ බවක් පෙනේ. මේ ප්‍රතිමාව මහායාන බුදු දහමේ එන ධ්‍යානී
බුදුවරයකු වන අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් යැයි කඹුරුපිටියේ වනරතන
හිමියෝ අදහස් කරති.
මෙම ප්‍රතිමාව දෙපස තවත් ප්‍රතිමා තුන බැගින් ප්‍රතිමා හයකි. බුද්ධ ප්‍රතිමාවට
දකුණු පසින් අඩි 25ක් පමණ උසට සමභංග ඉරියව්වෙන් හා දෙඅත්වලින් කටක මුද්‍රාව නිරූපණය
කොට, දෝතියක් ඇඳ සිටින ආකාරයෙන් නෙළා ඇති අවලෝකිතේෂ්වර නාථ බෝසත් ප්‍රතිමාව
බදාමවලින් පිරියම් කොට සුදු පැහැ ආලේප කොට ඇත. අවලෝකිතේෂ්වර නාථ බෝධි සත්ත්වයන්
මැදි කොට ගෙන වම් පසින් අඩි 21ක් පමණ උසට ස්ත්‍රී ලාලිත්‍යයෙන් ත්‍රිභංග හිටි
ඉරියව්වෙන් සහ උඩුකය නිරුවත් ව තාරා දෙවඟනගේ ප්‍රතිමාව සහ දකුණු පසින් උසින් මීටර
6ක් පමණ වන වම් අතින් යම්කිසි මුද්‍රාවක් පෙන්නුම් කර සුදන කුමරුගේ ප්‍රතිමාව වේ.
වම් පසින් මෛත්‍රී බෝසත් රුවක් සහ දෙපසින් වජ්‍රපාණී බෝසත් රුවක් ද, හඳුනා ගැනීමට
අපහසු වෙනත් රුවක් ද වේ.
ගල් පර්වතයෙන් මදක් ඉස්මතු වන සේ අර්ධ උන්නත ක්‍රමයට නෙළා තිබෙන මෙම ප්‍රතිමා
ක්‍රි. ව. 7-9 ශතවර්ෂවලට අයත් මහායානික මූර්ති ලෙස පිළිගැනේ. අඩි 70ක් පමණ විශාල
පර්වතයක මුහුණතේ මෙම ප්‍රතිමා නෙළා ඇත. මෙහි සමහර ප්‍රතිමා සියුම් කැටයමින් යුක්ත ව
නෙළා ඇති අතර, එසේ කළ නොහැකි වූ පිළිම බදාමවලින් ඔප් නංවා, වර්ණාලේපිත කොට නිමාවක්
දී තිබූ බව පෙනේ.
අඩි 25ක් පමණ උසකින් නිමවා ඇති මෛත්‍රී බෝධි සත්ත්ව ප්‍රතිමාවේ උඩුකය නිරුවත් ව,
දෑත් කටක මුද්‍රාවෙන් යුතු ව සහ රාජාභරණ පැලඳී ආකාරයෙන් නෙළා ඇත. මෛත්‍රී බෝසත්
ප්‍රතිමාවට වම් පසින් සමභංග හිටි ඉරියව්වෙන් යුතු අඩි 22.4ක් පමණ උසකට නෙළා ඇති
වජ්‍රපාණී බෝධි සත්ත්ව ප්‍රතිමාව වේ. මෛත්‍රී බෝධි සත්ත්ව ප්‍රතිමාවත්, බුද්ධ
ප්‍රතිමාවත් අතරින් සමභංග හිටි ඉරියව්වෙන් උඩුකය නග්න ව දෑත් ඉහළට යොමුව ඇති දකුණු
කනෙහි මකර කුණ්ඩලාභරණයක් පැලඳ සිටින ආකාරයෙන් නෙළා ඇත්තේ මංජු ශ්‍රී බෝධි සත්ත්ව
ප්‍රතිමාව බවට අනුමාන කෙරේ.
බුදුරුවගල ආසන්නයේ ස්තූපයක නටබුන් සහ වැව් බැම්මේ සිට මීටර් 125ක් පමණ නැඟෙනහිරින්
අක්කරයක පමණ භූමි ප්‍රමාණයක බුදුරුවගල සංඝාරාමවල නටබුන් දක්නට ලැබේ. ස්තූපයට උතුරු
දෙසින් සීමා පවුරක් ද තිබූ බව පෙනේ.
බුදුරුවගල ආශි‍්‍රත ව කරන ලද කැනීම්වල දී සොයා ගත් අනුරාධපුර, පොළොන්නරු, මහනුවර
ආදී යුගවලට අයත් යැයි සැලකෙන පුරාවස්තු ප්‍රදර්ශනය කෙරෙන පුරාවිද්‍යා කෞතුකාගාරයක්
1988 දී බුදුරුවගල දී විවෘත කොට ඇත.
|