Print this Article


නුවණැත්තා බබළවන අප්‍රමාදය

නුවණැත්තා බබළවන අප්‍රමාදය

පමාදං අප්පමාදෙන -

යදා නුදති පණ්ඩිතො,

පඤ්ඤා පාසාදමාරුය්හ -

අසොකො සොකිනිං පජං

පබ්බතට්ඨොච භුම්මට්ඨෙ -

ධීරො බාලෙ අවෙක්ඛතී’ති

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කළා වූ කාලයෙක්හි දී මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ රජගහ නුවර වේහාර පර්වතයෙහි පිහිටි පිප්ඵලී ගුහායෙහි විසූ සේක.

දිනක් රජගහ නුවර පිඬු සිඟා වළඳා පිප්ඵලී ගුහායෙහි විවේකී ව වැඩහුන් මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේ දිවැස් (දිබ්බචක්ඛු) උපදවා, ප්‍රමත්තයන් හා අප්‍රමත්තයන් (පමාවූවන් හා නොපමාවූවන්) ද, දිය, පොළෝ, පර්වතාදියෙහි චුත වන්නා වූ ද, උපදින්නා වූ ද සත්ත්වයන් දකිමින් වැඩහුන් සේක. එවිට බුදුරජාණන් වහන්සේ “මා පුත් මහ කසුප් තෙරුන් පිළිබඳ තොරතුරු කෙසේ දැයි බලා වදාරණ සේක්. මහ කසුප් තෙරුන් දිවැස් උපදවා සත්ත්වයන්ගේ ව්‍යුති උත්පත්තීන් සලකමින් (බලමින්), වෙසෙතැ යි පෙනී, මහ කසුප් මහ තෙරුන් වහන්සේට තමන් වහන්සේ පෙනෙන සේ ඉටා, “කාශ්‍යපය, සත්ත්වයන්ගේ චුති උප්පත්තීන් මෙතෙකැයි සීමා කොට, ගණන් වශයෙන් වෙන් කොට දැනගැනුම් බුදු නුවණට පවා විෂය වන්නක් නොවේ. “සීමා විරහිත සත්ත්ව වර්ගයන්ගේ මව්කුස් හි පිළිසිඳ ගෙන, ඒ මාපියන් නොදැනුවත්වැ ම (මව් කුසින් බිහි නොවී මැ) චුත වන්නා වූ සත්ත්වයන්ගේ ගණන මෙතෙකැයි සීමා කොට නොකිව හැකි ය. “එසේ තිබිය දී ඔය නමට එය කෙසේ නම් දැන ගත හැකි වන්නේ දැ” නො හැක්කේ ම ය. කාශ්‍යපය, ඔය නමගේ, ඔය විෂයය ප්‍රමාණ රහිත විෂයයක් ය. චුත වන්නා වූ ද, උපදින්නා වූ ද සත්ත්වයන් පිළිබඳ දැනගැනුම සම්මා සම්බුදුවරුන්ට ම විෂය වන්නක් යැයි පැහැදිලි කොට, පෙර සඳහන් ඔහාස ගාථාව (බුදු අනුහසින් දුර සිටි බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිට දේශනා කරන ගාථාව) දේශනා කළ සේක.

ගාථාවේ අදහස

යම් විටෙකැ පණ්ඩිතයා නො පමාවෙන් පමාව දුරු කරන්නේ ද, දිවැස් නුවණ නමැති පහයට නැඟීගත්, ශෝකයන් දුරු කළා වූ හෙතෙමේ කඳු මුදුනක සිටි කෙනකුන් බිම සිටියවුන් බලන්නාක් මෙන්, ශෝක කරන්නා වූ සත්ත්ව වර්ගයා දෙස දිවැසින් බලන්නේ ය. (එවිට) ඒ පණ්ඩිත (රහත්) තෙම මැරෙමින්, උපදිමින් සසර සැරිසරන අන්ධ බාලයන් දක්නේ ය.

බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කොට උගන්වා වදාළේ දිවැස් ලබා තිබෙන රහතන් වහන්සේ, ඒ දිවැස් නම් වූ ප්‍රාසාදයට නැඟ මේ ගොරඛිරම් සංසාරයෙහි උපදිමින්, මැරෙමින් සැරිසරන්නා වූ අන්ධබාල ජනයා දෙස බලන බවයි.

එය එසේමැ ය. රහතුන් වහන්සේ උපදවා ගන්නා ලද චුතූපපාත ඤාණය ප්‍රාසාදයක් බඳු ය. එය මෙහිලා පඤ්ඤාපාසාදයි වදාළේ චුතූපපාත ඤාණ නමින් ගැනෙන්නා වූ ප්‍රඥාවමැ යි. සසර දුක පිළිබඳ කිසි අවබෝධයක්, හැඟීමක් නොමැති හෙයින් පහන් වූ, අඳ බල් පුහුදුන් සත්ත්වයන්ගේ චුති උත්පත්තීන් දැකීමට නම්, දිවැස උපදවා ගත යුතු ම ය. දිවැස නොමැති නම් එය කළ නොහැකි ය. පහත බලන්නකුට උසකට නැඟගත් කල්හි පහසුවෙන් පහත බැලිය හැකිවාක් මෙන් ම, දිබ්බචක්ඛු නමැති ප්‍රාසාදයට (දිවැස් නමැති පහය) නැඟ, ඒ නුවණ මෙහෙයවා බලත්ම සත්ත්වයන්ගේ චුති උපත් දැකිය හැකි ය. එය තවත් පහසුවෙන් වැටැහෙන්නට “පබ්බතට්ඨො ච භුම්මට්ඨෙධිරො බාලෙ අවෙක්ඛති”යි කඳු මුදුනෙකැ සිටින්නකුට බිම සිටින්නවුන් පෙනෙන්නාක් මෙනැ යි දේශනා කළ සේක.

මෙහි මෙකී පරිදි උපත් මරණ බැලීමෙහි සමත් රහතුන් වහන්සේ අප්‍රමාදයෙහි පිහිටා ප්‍රමාදය සහමුලින් දුරු කළ කෙනෙකි. එහෙයිනි, “පමාදං අප්පමාදෙන යදා නූදති පණ්ඩිතො”යි දේශනා කොට වදාළේ. රහතන් වහන්සේ අප්‍රමාදයෙන් ප්‍රමාදය බැහැර කළ නිසා ම ප්‍රඥා ප්‍රාසාදයට නැඟගත හැකි ය. මෙහි ප්‍රඥා ප්‍රාසාදයට නැඟ ගැනීම නම් දිබ්බචක්ඛු ඤාණය උපදවා ගැනීමයි. එය උපදවා ගනු කැමැත්තන් අප්‍රමාදයෙන් ප්‍රමාදය දුරු කළ යුතු ය. ඒ දුරු කිරීම සිදුවන්නේ මෙසේ ය. කෙසේද? යත්, මඩ වූ, අපිරිසිදු ජලයෙන් යුත් පොකුණකට පිරිසිදු ජලධාරා ඇතුල් කිරීමෙන් ඒ මඩ සහිත අපිරිසිදු ජලය ඉවත් ව යන්නාක් මෙනි. රහතුන් වහන්සේ අප්‍රමාදයෙන් ප්‍රමාදය නිසා හටගන්නා වූ කෙලෙස් මඩ දුරු කළ සේක. එසේම රහතුන් වහන්සේ අශෝක නම් වන සේක. උන්වහන්සේට මොන විදියේ කරදර, අලාභ ඇති වුවත් එයින් කම්පා නො වන සේක් ම අශෝක කීහ.

පුහුදුන් සත්ත්වයන් සුළු අලාභයකින්, විපතකින් ද මහත් සේ ශෝකවන ස්වභාවයෙන් යුක්ත නිසා ම සොකිනී ප්‍රජාවකි. උපදින්නා වූ ද, මැරෙන්නා වූ ද මෙකී සොකිනී ප්‍රජාව රහතුන් වහන්සේ ප්‍රඥා ප්‍රාසාදයට නැඟ බලන්නාහ යි දේශනා කළ සේක.

ප්‍රඥා ප්‍රාසාදය

මෙයින් දිබ්බචක්ඛු ඤාණය කියැවේ. එය ලබන්නට කැමති තැනැත්තා විසින් තේජෝ කසීණය, ඔදාත කසීණය, ආලෝක කසීණය යන කසීණ තුනෙන් එකකින් උපචාර ධ්‍යාන ලබා, එය වැඩියත් පුහුණු කොට ඒ කසීණ පටිභාග නිමිත්ත යැයි කියනු ලබන ආලෝකය, ඒ තැන්හි ම තිබෙන රූප බැලීමට පමණක් උපකාර වන නිසා ඉන් පිටත්හි රූප බැලීමට නො සමත් ය. ඒ පරිකර්මවාරය (කසීණය අරමුණු කොට පවත්නා උපචාර ධ්‍යානය) ඉක්මැ ගිය පසු, රූප නොදැක්ක හැකි ය. නැවතත් පාදක ධ්‍යානයට සම වැද, ඉන් නැඟිට කසීණ ලෝකය පතුරුවා, නැවතත් රූප දැකිය හැකි ය. මෙසේ ක්‍රමයෙන් ශක්ති සම්පන්න වූ කල්හි එම කසීණ ලෝකය යම්තාක් පෙදෙසක පැතිරවීමට කැමති නම්, ඒතාක් පතුරුවා, රූප දැකිය හැකි ය. මේ නුවණ චුතූපපාත ඤාණ නමිනුදු හඳුන්වා ඇත.

සත්ත්වයන්ගේ චුති උත්පත්තීන් දැන ගැනුමට සමත් නුවණ නිසා ය. කුසල කර්මානුභාවයෙන් උපන්නා වූ දෙවියන්ගේ ප්‍රාසාද වක්ෂුස ඉතා සියුම් වූවක් බැවින්, ඉතා දුර අරමුණු ගත හැකි ය. එවන් ස්වභාවය ඇති නිසා දිබ්බචක්ඛු ඤාණ නම් විය. මිනිස් ඇස ඉක්මැ පවත්නා වූ මේ දිවැස හේතු කොට ගෙන, ව්‍යුත වන, උපදින, හීන ප්‍රණීතා දී වෙනස්කම් ඇති, කම් වූ පරිද්දෙන් පරලෝ ගිය සත්ත්වයන් දක්නේ ය. මේ සත්ත්වයෝ මෙබඳු කුසලාකුසල කර්ම කොට මේ මේ උත්පත්තීන් ලැබූහ යි වෙසෙසා දත හැක්කේ ය.

මේ දිබ්බචක්ඛු ඤාණය පුහුදුන් අයට අහිතකර වන්නටත් ඉඩ තිබේ. මෙය උපදවා ගත් පුහුදුන් පුද්ගලයා, යම් යම් තැනෙක ආලෝකය පැතිරේවා යි අභිඥා බලයෙන් ඉටාගත්තේ නම් පොළෝ, මුහුදු, පර්වතාදිය විනිවිද ගෙන ඒකාලෝක වී පෙනෙන්නට පටන් ගනී. එහි යක්‍ෂ රාක්‍ෂසා දී භයානෙක රූප පෙනෙන්නට ද වන් කල්හි මහත් බියට පත් වන්නේ ය. එයින් සිත නොසන්සුන් වී ධ්‍යානයෙන් ද පිරිහෙන්නට සිදු වේ.

මේ දිබ්බචක්ඛු ඤාණයට ම සම්බන්ධ තව නම් දෙකක් ඇත. අනාගතං සංඤාණය (අනාගතය දක්නා නුවණ), යථාකම්මුපග ඤාණය කියා යි. මේ සස්නෙහි අභිඥාලාභී මහණ තෙමේ යට දෙසට ආලෝකය වඩා නිරිසනුන් දැක, මේ සත්ත්වයන් කවර අකුසලයන් කොට නිරාදුක් විඳීනවාදැ යි බලත් ම, මේ නම් කර්මයෙකිනැ යි නුවණ පහළ වෙයි. එය යථාකම්මුපග ඤාණ නම් වේ.

මේ නුවණින් උඩට ආලෝකය වඩා දෙව්ලොවැ සුව විඳීන දෙවියන් දැක ඔවුන් මෙ නම් කුසල කර්ම විපාකයෙන් දෙව්ලොව සුව විඳීන බව තේරුම් ගන්නට ද හැකි වන්නේ ය. එසේම අනාගතයෙහි මෙත්තෙය්‍ය නම් බුදු කෙනෙක් උපදින්නාහ, යනාදිය දත හැක්කේ ද මේ දිබ්බචක්ඛු ඤාණයට සම්බන්ධ අනාගතංස ඤාණයෙනි. මෙය ධ්‍යාන වඩා අභිඥා ධර්මයක් වූ දිබ්බචක්ඛු ඤාණය පහළ කැරැ ගත්තා වූ පුහුදුනන්ට ද ලබාගත හැකි ය. එය චිර කාලයක් පවත්වා ගෙන යන්නට නො පිළිවන් ය. රහතුන් වහන්සේ දිවැස් උපදවා ගැනීම් ඊට වඩා බොහෝ ශක්ති සම්පන්න ය. මහා කාශ්‍යප මහ රහතුන් වහන්සේගේ දිවැසින් බැලීම් අතිශය පැහැදිලි වූවක් ය.