Print this Article


මිත්‍ර ධර්මය සත්පුරුෂ ධර්මයකි

මිත්‍ර ධර්මය සත්පුරුෂ ධර්මයකි

එකමත් එක කාලයක දඹදිවට දැඩි නියඟයක් හට ගත්තා. තණ කොළ වේළිලා මැරිලා ගියා. පොඩි පඳුරුත්, ලොකු පඳුරුත්, පොඩි ලොකු ගස්වැල් මලානික ව වියළී ගියා. කුඩා සතුන්ගේ සිට මිනිස්සු දක්වා ම කෑම වගේම වතුරත් නැති වෙන්න පටන් ගත්තා.

කුසගින්නෙන් පෙළෙන හැමෝම වතුර තියෙන තැන් හොයන්න පටන් ගත්තා. මේ විදිහට මිනිසුනුත්, තිරිසන් සතුනුත් කෑම බීම හොය හොයා ඇවිද ගියා. මේ කියන්න යන කතාව එහෙම එකතු වුණ තුන් දෙනෙක් ගැනයි. ඒ ගිරවෙක්. නාගයෙක් සහ මනුෂ්‍යයෙක්.

ඉස්සෙල්ලා ම වතුර හොයාගෙන කැලෑවට ගොඩ වුණේ මනුෂ්‍යයායි. ඔහු කෑම බීම සොයමින් මහා වනාන්තරයේ ඇවිදින කොට මොහුට දකින්න ලැබෙනවා දිරා ගිය විශාල ගහක්. එතැනට ගොඩවුණාම දකින්න ලැබෙනවා අඩි හැටක් පමණ ගැඹුරු වළක්. වතුර ටිකක් තියෙනවා දැක්කා. පිපාසය ඉවසා ගන්න ම බැරි තැන ඒ වළට බැස්සා. හැබැයි ඇතිතරම් වතුර බීවාට පස්සේ ආයෙත් වළෙන් ගොඩ එන්න පුළුවන් වුණේ නෑ. කඹය කැඩී ගියා. ඒ නිසා රාත්‍රිය මේ වළේ ම ගත කළා.

එදා මැදියම් රැයේ පිපාසයෙන් වතුර හොයාගෙන ගියපු නාගයකුත් මේ වළට බැස්සා. නාගයාටත් ගොඩට එන්න පුළුවන් කමක් වුණේ නෑ. පහුවදා වතුර හොයාගෙන ආ ගිරවකුත් වතුර තියෙන වළ දුටුවා. ඉතිං අඩි හැටක් වුණු ඒ වළට පියාඹා ගිහින් වතුර බිව්වා. ඒත් එක්කම පියාපත් දෙක ම මඩවලින් පිරී ගියා. තුන් දෙනා තුන් තැනක මේ විශාල වතුර වළේ එරිලා.

පහුවදා වතුර හොයාගෙන මේ වනාන්තරයේ ආ මනුෂ්‍යයකුට මේ මහා වතුර වළ දකින්න ලැබුණා. එබිකං කරලා බලන විට දුටුවා මනුෂ්‍යයෙක්, ගිරවෙක් වගේම නාගයෙක් අසරණවෙලා ඉන්න ආකාරය. කරුණාව මුදුන් පමුණුවාගෙන ශක්ති සම්පන්න වැල් ටිකක් හොයාගෙන එක් එක්කෙනා ගොඩ ගත්තා. තුන් දෙනාට ම පුදුම සතුටුයි ජීවිත බේරපු එක ගැන. ඒ අය මුව පුරා නොසෑහෙන්න උදව් කළ මනුෂ්‍යයාට ස්තූති කළා. ගිරවා කියනවා ‘පින්වත් සත්පුරුෂය, අද සිට නුඹ මගේ හොඳ ම යහළුවෙක්. මගේ ජීවිතය රැක දුන්නා. මගේ ජීවිතය දැන් අයිති නුඹට. මම ඉන්නේ අසවල් තැන, අසවල් නුග ගසේ. ඕනෑම වේලාවක මම ඉන්න තැනට ඇවිත් උදව්වක් ඉල්ලන්න කියලා ගරු කරලා පියාඹා යන්න ගියා.

නාග රාජයා මෙහෙම කිව්වා. ‘පින්වත් සත්පුරුෂය, අද සිට නුඹ මගේ හොඳ ම යහළුවෙක්. මගේ ජීවිතයත් රැක දුන්නා. මම නුඹට ණය ගැතියි. මම ඉන්නේ අසවල් තැන හුඹහේ්. ඕනෑම වෙලාවක මට ‘දීර්ඝ’ කියලා කතා කරන්න. මම නුඹට ඕනෑම උදව්වක් කරනවා යැයි කියලා නාගයාත් පිටත් වෙලා ගියා. තුන්වැනියාට කතා කළේ මනුෂ්‍යයා. එයා කියනවා ‘යහළුවේ, ඔයා මට මේ කරපු උදව්ව නම් කවදාකවත් අමතක කරන්නේ නෑ. මගේ ජීවිතයට මම සෙනෙහස දක්වනවා වගේ මම නුඹටත් බොහෝම සෙනහසින්, ආදරයෙන් සලකනවා. මම ඉන්නේ අසවල් නගරයේ, අසවල් වීථියේ යැයි කියලා සියලු තොරතුරු දන්වා යන්න ගියා.

උදව් කළ පුද්ගලයාත් ගෙදර ගියා. ටික කලක් යනකොට මේ කරුණාවන්න, මනුෂ්‍යයාට ජීවත් වෙන්න බැරිම තත්ත්වයක් උදා වුණා. සතුටින් ජීවත් වෙන්න මේ වෙලාවේ කාගෙන් හෝ උදව්වක් ගන්න ඕනෑ. මගේ යහළුවෝ තුන් දෙනා මුණගැහිලා උදව්වක් ඉල්ලා ගන්නවායි හිතාගෙන මුලින් ම ගිරවා ඉන්න නුග ගහ ළඟට ගිහින් කතා කළා. ගිරවා ආ ගිය තොරතුරු ඇහුවා. අර මනුෂ්‍යයා තමන් පත්වෙලා ඉන්න ආර්ථික තත්ත්වය ගැන පැහැදිලි කළා. ඒක අහගෙන හිටිය ගිරවා ‘ටික වේලාවක් ඔහොම ම මෙතැන ඉන්න මම නුඹට හැකි උපරිමයෙන් ම උදව්වක් කරන්නම්‘ කියලා

එතැනින් පියාඹා රාජ උද්‍යානයට ගියා. රජතුමා බිසෝවරුන් සමඟ ජල ක්‍රීඩාවට යනකම් බලා හිටියා. රජතුමා ගෙල පැලඳි මුතුමාලය, ඇඳුම් ගලවා දියට බැස්සා. ආරක්ෂකයන්ට නොපෙනෙන්න මුතුමාලය වහා ම තුඩින් අරගෙන තමන්ගේ ජීවිතය බේරා දුන් මනුෂ්‍යයාට දීලා කිව්වා ‘මේක විකුණා සතුටින් කටයුතු කර ගන්න” කියලා මනුෂ්‍යයා හිතනවා. මගේ අනෙක් යහළුවනුත් හමුවෙලා ම තීරණයක් ගන්න ඕනෑ කියලා හිතලා දෙවැනියට ගියා තමන් උදව් කරපු මනුෂ්‍යා හමුවෙන්න. එයා ඉන්න නගරයේ වීථියට ගියා. ‘මම උදේම ගියා ගිරා යහළුවා හමුවෙන්න. මගේ දුෂ්කර බව තේරුම් අරගෙන මෙන්න මේ මුතුමාලය මට දුන්නා’ කියලා කිව්වා. ඒ වෙන කොටත් රජතුමාගේ මුතුමාලය නැති වු බවට නගරය පුරා ම ඝෝෂාව පැතිරී ගිහින්. ඒක හොයා දෙන කෙනකුට රජතුමා තෑගිබෝග සම්පත් දෙන බවට අණ බෙර ද ගහලා දැනුම්වත් කර තිබුණා. මේ මනුෂ්‍යයා දැන ගත්තා මේ තියෙන්නේ ඒ මුතුමාලය කියලා. ඔහු හිතනවා ‘මොහුගේ යාළුකම්වලින් මට වැඩක් නෑ. මේ මුතුමාලයත් එක්ක මොහුව අල්ලලා දුන්නා නම් ජීවිත කාලයට ම සැප සේ ඉන්න පුළුවන් කියලා හිතලා හොරෙන් ම රාජපුරුෂයන්ට පණිවිඩයක් දීලා මේ උතුම් මනුෂ්‍යයා අල්ලලා දුන්නා. රජතුමා නියෝග කළා ඔහුව උල හිඳුවා මරන්න. ඉතින් රාජපුරුෂයෝ රතු වද මල් මාලා බෙල්ලට දා වදබෙර ගයමින් පාරේ අරගෙන යනවා වදකස්ථානයට. ඒ යන පාර අයිනේ තමන්ගේ තුන්වැනි යාළුවා ඉන්නේ. ඉතින් මතක් වෙලා ‘දීර්ඝ’ කියලා කතා කළා. කටහඬ ඇහෙනකොට ම දැන ගත්තා තමන්ගේ ජීවිතය බේරා දුන් යහළුවා තමයි මේ කියලා. මරණයට ගෙන යනවා දැක්කා. වහා ම මිනිස් වෙසක් මවාගෙන ගිහින් රාජපුරුෂයන්ට කීවා ‘මොහුව මරන්න එපා මොහු මගේ යහළුවෙක්. කැමැති රස කෑමක් තියෙනවා. ඒක රසවින්දාට පස්සේ මරන්න. මම ඒ කෑම ටික ඉක්මනින් අරගෙන එන්නම් කියලා. වහාම රාජ මන්දිරයට ගිහින් රජතුමාගේ බිසවගේ යහන් ගබඩාවට නාග වේශයෙන් ඇතුළු වෙලා පාදයට දෂ්ට කළා. ඒ පුවත හැම තැන ම පැතිර ගියා. ඒ වෙලාවේ මේ නාගයා මනුෂ්‍ය වේශයක් අරගෙන රජතුමාට කිව්වා. ‘රජතුමනි, අර මරන්න ගෙනියන පුද්ගලයා මම දන්න කෙනෙක්. ඔහුට පුළුවන් මේ විෂ ඉවත් කරලා සනීප කරන්න කියලා. රජතුමා වහා ම ඒ පුද්ගලයා රජමැඳුරට ගෙන එන්න නියම කළා. ඒ නියෝගයත් එක්ක ම නාග රාජයා වහාම යහළුවා ගෙනියන පෙරහරට එකතුවෙලා ‘යහළුවේ, මම දීර්ඝ. බය වෙන්න එපා. මෙන්න මෙහෙම දෙයක් මම කළා. ඔයා රජමාළිගාවට ගිහින් වතුර ටිකක් අතට අරගෙන බිසවගේ මුහුණට පැන් ටිකක් ඉහින්න. විෂ ඔක්කොම නැතිවෙලා කියලා නාග රාජයා යන්න ගියා. අගබිසව සුවපත් වුණා. මොහුට රජතුමා සම්පත්වලින් සැලකුවා. තෑගිබෝග දුන්නා.

අවසානයේ රජතුමා සමීපයට ගිහින් තමන් වනයට ගියපු හැටි. ගිරවාට, නාගයාට වගේම අර මනුෂ්‍යයාට උදව් කරපු හැටි, මුතුමාලය ලැබුණ හැටි ඔක්කොම කතාව රජතුමාට පිළිවෙළින් කිව්වා. රජු මොහු ගැන පැහැදිලා රජමාළිගාවට සමීපයෙන් මාළිගාවක් වගේ නිවෙසක් හදා දීලා රාජ්‍ය සේවයට බඳවා ගත්තා. එතකොට මනුෂ්‍යයා කියනවා ‘රජතුමනි, මගේ හොඳම යහළුවෝ දෙදෙනා ඉන්න ස්ථාන අසලින් හදලා දෙන්න. මට ඕන ඒ අයට ආදරයෙන් සලකන්න‘ කියලා. රජතුමාත් එහෙම කළා. ගිරවාටත්, නාගයාටත් ආදරයෙන් සැලකුවා. තුන් දෙනා ම අන් අයට උදව් කරමින්, කෘත ගුණ දක්වමින් සත්පුරුෂ ධර්මයත්, මිත්‍ර ධර්මයත් ආරක්ෂා කරමින් ඉඳලා ආයු කෙළවර මරණයට පත් වෙලා දිව්‍ය ලෝකවල උපත ලැබුවා යැයි රසවත් වගේම හරවත් කතා පුවතක් සද්ධර්මාලංකාරයේ තුන් යහළු වස්තුව ලෙස සඳහන් වෙනවා.