Print this Article


ජීවිතය දිනවන විමසීමේ නුවණ

අප විසින් පවත්වා ගෙන යනු ලබන හෝ ආරම්භ කරන හෝ කිසියම් කාර්යයක් සාර්ථක කර ගැනීමට නම් ඒ පිළිබඳ අවශ්‍ය පළමුවැනි කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි දක්වා ඇත්තේ දක්ෂකමින් සමන්විත වීමයි.

දක්ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු පදනම් කරගෙන ය. ලෝකයේ ඇතැම් අය උත්පත්තියෙන් ම යම් යම් දේට දක්ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුව යැයි සිතිය හැකි ය. එසේ නොමැති වුවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි දක්ෂකමක් ඇති කර ගත හැකි ය. මිනිසා තුළ ඇති ක්‍රියා ශක්තිය ඉතා විශාල ය. එහෙත් බොහෝ දෙනා එයින් ප්‍රයෝජන ගන්නේ ඉතා අල්ප වශයෙනි. තමා තුළ පිහිටි ක්‍රියා ශක්තියෙන් නියම අයුරින් ප්‍රයෝජන ගන්නේ නම්, ඕනෑම පුද්ගලයකුට දියුණු විය හැකි ය. එසේම තමා තුළ ඇත්තේ කවර දේකට අදාළ, දක්ෂකමක් දැයි යන්න හොඳින් තේරුම් ගන්නා කෙනකුට දියුණු විය හැකි ය.

එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ එක් එක් දේ පිළිබඳ දක්ෂකමකි. බොහෝ දේ පිළිබඳ දක්ෂකම් ඇති අය ඉතා විරල ය. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යැයි අපේ පැරැණි කියමනක් ඇත්තේ එබැවිනි. එසේ හෙයින් තමා තුළ ඇති දක්ෂකම තෝරාගෙන ක්‍රියා කිරීම තමන් සතු කාර්යයකි. අදක්ෂ පුද්ගලයා මෙලොව හා පරලොව යන දෙඅංශයෙන් ම පිරිහීමට පත් වේ. කරණීයමෙත්ත සූත්‍රයෙහි ‘සක්කෝ’ යන්නෙන් කියැවෙන්නේ ද මෙම දක්ෂ බවයි.

උත්සාහය තුළින් සාර්ථක කර ගැනීමට අවශ්‍ය අනෙක් සතු අංගය ‘අනලස් බව“ යි. කම්මැලි නොවීම යි. පරාභව සූත්‍රයේ දී අලසබව පිරිහීමේ කරුණක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. සිඟාලෝවාද සූත්‍රයේ දි මෙහි ආදීනව මෙසේ වදාළහ.

දැන් ඉතා ශීත ය. ඉතා උෂ්ණ ය. ඉතා සවස් ය. ඉතා උදේ ය. ඉතා කුසගිනි ය. ඉතා කුස පිරුණේ යැයි, වැඩ නොකරන්නාගේ ධනය පිරිහෙයි. අමුතු ධනයක් ද ඇති නොවෙයි.

මෙසේ අලසකමින් සිතන්නාට වැඩ කිරීමට කාලයක් නොමැත. උත්සාහයට විරුද්ධ කරුණ “ථීනමිද්ධය” යි. එනම් සිත හා එයට අනුගත ව යෙදෙන සිතිවිලිවල මැලිබව යි. මෙය නැති කර ගැනීමට වීර්යය සයක් අනුව ගමන් කළ යුතු බව අන්තකාර සූත්‍රයේ සඳහන් වී තිබේ. එහි දැක්වෙන පරිදි යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමේ වීර්යය, ආරම්භ කළ කාර්යය නොනවත්වා ඉදිරියට පවත්වා ගෙන යාම, පැමිණි සෑම උවදුරක් ම මැඬගෙන ඉදිරියට යාම, නොසැලී පැවතීම, වීර්යයෙහි පිහිටා සිටීම සහ උපක්‍රමශීලිවීම යන පියවර සය නිවැරැදිව ක්‍රියාත්මක කරන්නේ නම් කිසිදු කාර්යයක් අතරමග නතර කර දැමීමට සිදු නොවේ. පුද්ගල ශ්‍රමය වැය කිරීමේ දී බාහිර බලවේග පිළිබඳ විශ්වාසය නොතබා ස්වකීය ශක්තිය ම ඒ වෙනුවෙන් යෙදවීමට කරන උත්සාහයක් මෙමඟින් අදහස් වෙයි.

දියුණුව සඳහා අවශ්‍ය ඊළඟ කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි දැක්වෙන්නේ උපායෙන් හා විමසීමෙන් යුක්තවීම යි. මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන් වෙළෙඳාම් ආදි දේ දියුණු කර ගැනීමට උපායෙහි දක්ෂබව ඇති කර ගත යුතු ය. මිථ්‍යා උපාය (වැරදි උපාය) සහ සම්මා උපාය (නිවැරැදි උපාය) යනුවෙන් උපාය මාර්ග දෙකකි. මෙයින් අනුනට පීඩා පමුණුවන වැරදි උපාය මාර්ගයන් සහමුලින් ම බැහැර කළ යුතු ය. නිවැරැදි උපාය මාර්ග පමණක් භාවිතයට ගත යුතු ය.

කිසාගෝතමියට කිසිවකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙනෙන්න යැයි බුදුරදුන් වදාළේ සම්‍යක් උපාය මාර්ගය මුල් කරගෙන යි. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාට ම තේරුම් ගැනීමට ඉඩකඩ සැලසීම යි.

ලෞකික රාජ සම්පත් සියල්ල අත්හැර අභිනිෂ්ක්‍රමණය කොට බුද්ධත්වයට පත් වූ බුදුරදුන් පිටුපස රාහුල කුමරු දායාද ඉල්ලා පිටත් කොට හැරියේ උන් වහන්සේ ලත් පරම සුවය ඔහුට ද ලබා දීමේ අපේක්ෂාවෙනි. යශෝධරා දේවිය බුදුරදුන් හට ලෞකික වශයෙන් දිය හැකි දායාද කිසිවක් නොමැති බව පැහැදිලිව ම දන්නී ය. සිය පුත් කුමරු ද ලෝකෝත්තර මාර්ගයට ඇතුළත් කිරීම සඳහා යශෝධරා දේවිය යෙදූ සම්‍යක් උපායක් ලෙස පුත් කුමරු දායාද ඉල්ලා පිටුපස යැවීම දැක්විය හැකි ය.

උපාය සමඟ විමසා බලා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය ය. නොවිමසා නොසිතා කටයුතු කරන්නා දියුණුූ නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළ හ. කල්පනා ශක්තිය යෙදවීමක් නැති ව අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින් ම පිරිහෙයි. එය, පැවිදි වුව හොත් රහත් වීමට නිසි සේ ගිහි ජීවිතය ගත කළේ නම් මහ සිටු වීමටත් වාසනාව තිබිය දී නොනිසි ලෙස ක්‍රියා කොට සිඟන්නෙකු බවට පත් වූ බව රජගහනුවර සිටාණන්ගේ කතාවෙන් පැහැදිලි වේ. විමසීමෙහි හා උපායෙහි දක්ෂව ක්‍රියා කරන්නා ඉතා සුලු දෙයකින් පවා දියුණුවන අයුරු මළ මී කුණක් විකුණා සිටුවරයකු වූ පුද්ගලයකු ගැන කිය වෙන චුල්ලසෙට්ඨි කතා පුවතෙන් විග්‍රහ කෙරේ. එම සිද්ධිය ම ඇසුරු කොට කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක්, මොළවන්නාක් සේ ඉතා කුඩා දෙයකින් විශාල ධනයක් උපයා ගත හැකි යයි බුදුරජාණන් වහන්සේ වදාළහ. එසේ කළ යුත්තේ අනුන් තළා පෙළා, හිංසා පීඩා කොට, අධාර්මික ලෙසින් නොවේ. ධාර්මික ව යෙදූ උපාය ශක්තියෙන් හා විමසීමේ නුවණිනි.

උත්සාහය තුළින් දියුණුව කරා යන ගමනේ දී ඊට අවශ්‍ය සිව් වැනි කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන් ව ඇත්තේ සංවිධානයෙහි දක්ෂ බව යි. කිනම් කාර්යයක වුව ද පිළිවෙළක් සංවිධානයක් තිබිය යුතු ම ය. සංවිධානයකින් තොර ව සිදුකරන දේ සාර්ථක නොවේ. ජීවිතයේ දෛනික කටයුතු සියල්ලක් ද සංවිධානාත්මක ව කළ යුතු ය. දින සටහනක්, කාලසටහනක් අවශ්‍ය වන්නේ එබැවිනි. බුදුරදුන් පවා එදිනෙදා කටයුතු සිදු කළේ දින චර්යාවකට අනුව ය.