Print this Article


ධර්ම චර්යාව සහ සම-චර්යාව

ධර්ම චර්යාව සහ සම-චර්යාව

මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍රයෙන්

“ත්‍රිවිධං ඛෝ, ගහපතයෝ, කායේන ධම්මචරියා සමචරියා හෝති; චතුබ්බිධං වාචාය ධම්මචරියා සමචරියා හෝති; ත්‍රිවිධං මනසා ධම්මචරියා සමචරියා හෝති.”

ගෘහපතිවරුනි, කයින් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව ත්‍රිවිධාකාර වේ. වචනයෙන් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව සිව්වැදෑරුම් වේ. සිතින් සිදුවන ධර්මචර්යාව හා සමචර්යාව ද ත්‍රිවිධාකාර වේ.

අප බුදුරජාණන් වහන්සේ කෝසල ජනපදයෙහි චාරිකාවෙහි යෙදෙන සේක්, දිනක් කොසොල් රට වැසියන්ගේ “සාලා” නම් බ්‍රාහ්මණ ගමට භික්ෂු සංඝයා වහන්සේ සමඟ වැඩම කළ සේක. එම සාලා ග්‍රාමයේ දී දේශනා කරන ලද සූත්‍රය මජ්¼ක්‍ධිම නිකායට අයත් “සාලෙය්‍යක සූත්‍රය” නම් වේ. එදින බුදුරදුන් “අතුරිත චාරිකාවෙහි” යෙදුණු දිනයකි. ලෝකානුකම්පාවෙන් දිනපතා කරනු ලබන ධර්ම සංචාරය, “අතුරිත චාරිකා” නම් වන බව මජ්ක්‍ධිම නිකාය අටුවාව වන “පපඤ්චසූදනී” හි සඳහන් වෙයි.

එම සාලා ග්‍රාමයේ බ්‍රාහ්මණ ගෘහපතිවරු බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙලෙස විමසා සිටියහ.

“ස්වාමීනී, මෙලොව කිසියම් සත්ත්ව කෙනෙක් මරණින් මතු සැපයෙන් තොර වූ, දුක වූ දුගතියෙහි උපදින්නේත්, ඇතැම් සත්ත්ව කෙනෙක් සුගතියෙහි උපදින්නේත් කවර හේතුවක් නිසා ද?”

ඊට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ, අධර්මචරියා සහ විෂම චරියා හේතුවෙන් සත්ත්වයන් දුගතියෙහි උපදින බවත්, ධර්මචරියා සහ සමචරියා හේතුවෙන් සත්ත්වයන් සුගතියෙහි උපදින බවත් ය.

එය තවදුරටත් විස්තරාත්මක ව දේශනා කරන ලෙස බ්‍රාහ්මණයන් ඉල්ලා සිටි කල්හි, බුදුරජාණන් වහන්සේ දස අකුසලයෙන් වැළකීම හා දස කුසලයෙහි හැසිරීම මෙසේ විස්තර කළ සේක.

කයින් කරනු ලබන අධර්මචර්යා (වැරැදි ක්‍රියා) තුනකි. ඒවා නම්,

ප්‍රාණඝාතය: ලේ තැවරුණු අත් ඇති ව, දඬු මුගුරු ගෙන, දයාවෙන් තොර ව සතුන් මැරීම සහ හිංසා කිරීම.

අදත්තාදානය: අනුන්ට අයත්, තමන්ට නුදුන්, අන් සතු උපකරණ හෝ වස්තුව හෝ සොර සිතින් ගැනීම.

කාමේසුමිච්ඡාචාරය: මව විසින් රකිනු ලබන, පියා විසින් රකිනු ලබන, මව්පිය දෙපසින් ම රකින, සහෝදර සහෝදරියන් විසින් හෝ ඥාතීන් විසින් හෝ රැකවරණය සපයන, කුලගෝත්‍ර චාරිත්‍ර හෝ ධර්මය විසින් රකින, අවසානයේ මාලාවක් පළඳවා විවාහය පිණිස වෙන් කරන ලද ස්ත්‍රියක කෙරෙහි වැරැදි ලෙස හැසිරීමයි.

මෙම විෂම චර්යාවන්ගෙන් වැළකී, දඬු මුගුරු බහා තබා, සියලු සත්ත්ව ප්‍රජාව කෙරෙහි දයාවෙන් යුතු ව ක්‍රියා කිරීම, නුදුන් දේ නො ගැනීම සහ කාමමිථ්‍යාචාරයෙන් වැළකීම “කායික ධර්මචර්යාව හා සමචර්යාව” වේ. මෙහිදී බුදු දහම තුළ කුල කාන්තාව මාතු රක්ඛිත, පිතු රක්ඛිත ආදී වශයෙන් සමාජීය රැකවරණය ලැබිය යුතු තැනැත්තියක ලෙස ඉහළින් ම අගය කර ඇති බව පැහැදිලි වේ.

වචනයෙන් සිදුවන වැරැදි (අධර්මචර්යා) සතරකි. ඒවා නම්,

මුසාවාදය (බොරුව): සභාව මැද දී, ගම් පිරිස මැද දී හෝ රාජ සභාව මැද දී සාක්ෂියට කැඳවා විමසූ කල, තමන් දන්නා දේ නොදන්නා බව හෝ, නො දන්නා දේ දන්නා බව හෝ පැවසීමයි. ආත්ම හේතුවෙන්, පර හේතුවෙන් හෝ අල්ප මාත්‍ර ලාභයක් තකා දැන දැන ම බොරු කීම (සම්පජාන මුසාභාසිතා).

පිසුණාවාචාව (කේලාම්): සමගිය බිඳවනු පිණිසත්, මිතුරන් වෙන් කරනු පිණිසත් එකිනෙකාට විරුද්ධ ව කේලාම් කීම.

පරුෂාවාචාව (රළු වචන): අන්‍යයන්ගේ සිත් රිදවන, කනට අමිහිරි, ක්‍රෝධය උපදවන රළු වචන කතා කිරීම.

සම්ඵප්ප්‍රලාපය (හිස් වචන): මෙලොවට හෝ පරලොවට හෝ කිසිදු වැඩක් නොමැති, නිසරු හිස් ප්‍රලාප දෙඩවීම.

මෙම වැරැදි සතරෙන් වැළකී සත්‍යවාදී වීම, සමඟිය වර්ධනය කරන වචන කතා කිරීම, කනට මධුර, ප්‍රියශීලී වචන සහ අර්ථවත් කාලීන වචන කතා කිරීම “වාචසික ධර්මචර්යාව හා සමචර්යාව” වේ. බුදු දහම ‘පරම සච්ච‘ හෙවත් උතුම් සත්‍ය අගය කරන අතර, සමාජය බිදීමට ලක්වන වාග් දූෂණය දැඩි ව ප්‍රතික්ෂේප කරයි. සත්‍ය යනු සැබවින් ම අමා දහමකි.

මනසින් සිදුවන වැරැදි හෙවත් අධර්ම විෂම චර්යා තුනකි. ඒවා නම්:

අභිජ්ඣාව (විෂම ලෝභය): අනුන් සතු වස්තුව දෙස බලා “අහෝ! අන් සතු මේ වස්තුව මට ලැබෙන්නේ නම් මැනවැ“ යි සිතමින් දැඩි ලෝභකමක්, ඡන්ද රාගයක් ඇති කර ගැනීම.

ව්‍යාපාදය (තරහව/වෛරය): අනුන්ට විපතක්, විනාශයක් වේවා යි සිතමින් ද්වේෂය පැතිරවීම. අන්‍යයන් ඝාතනය වේවා, විනාශ වේවා’යි නපුරු සිත් උපදවා ගැනීම.

මිථ්‍යා දෘෂ්ටිය (වැරැදි දැකීම): මෙය විපරීත දර්ශනයකි. සූත්‍රයෙහි එය “මිච්ඡාදිට්ඨිකෝ හෝති විපරීතදස්සනෝ” ලෙස දැක්වේ. මෙලොවක් නැත, පරලොවක් නැත, දානයේ ආනිශංස නැත, මවක් නැත, පියෙක් නැත, කුසල් අකුසල් කර්මයන්ගේ ඵල විපාක නැත, යහපත් මඟ පෙන්වන සම්මා දිට්ඨික මහණ බමුණන් නැත ආදී වශයෙන් සමාජයේ සාධු සම්මත සදාචාරයට පටහැනි ව සිතීමයි.

මෙම මානසික දූෂණයන්ගෙන් වැළකී, අනුන්ගේ දියුණුව පතමින් (අනභිජ්ඣා), මෛත්‍රී සහගත සිත් පතුරවමින් (අව්‍යාපාද) සහ කර්ම-කර්ම ඵල විශ්වාස කරමින් නිවැරැදි දැකීමෙන් (සම්මා දිට්ඨි) යුක්තවීම මානසික ධර්මචර්යාව හා සමචර්යාව වේ.

අධර්මචර්යාව සහ විෂම චර්යාව හේතුවෙන් ත්‍රිවිධ ද්වාරය ම (කය, වචනය, සිත) අසංවර වන අතර, ධර්මචර්යාව හා සමචර්යාව නිසා ත්‍රිවිධ ද්වාරය ම සංවර වේ. සන්තානය සංවර වීම පුද්ගලයාට මෙන් ම මුළු මහත් සමාජයට ම වැඩදායක වේ.

සමචර්යාවෙහි හැසිරීම මෙලොව ජීවිතය යහපත් කරනවා සේ ම, පරලොව සුගතිගාමී වීමට ද මඟ පාදයි. චාතුම්මහාරාජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාණරතී, පරනිම්මිත වසවත්ති යන දිව්‍ය ලෝකවල උපත ලැබීමටත්, ඉන් ඔබ්බට උසස් බ්‍රහ්ම ලෝකවල ඉපදීමටත් මෙම දස කුසල ධර්ම චර්යාව හේතු වන බව සාලෙය්‍යක සූත්‍රයේ පැහැදිලි ව සඳහන් වේ.

මජ්ක්‍ධිම නිකායේ සාලෙය්‍යක සූත්‍රය ඔස්සේ මෙම ත්‍රිවිධ ද්වාරයෙන් සිදුවන වැරැදි දසය (දස අකුසල්) සහ ඒවායින් වැළකීමේ (දස කුසල්) පැහැදිලි පිළිවෙත දැන ගත් සාලා ග්‍රාමයේ බ්‍රාහ්මණ ජනතාව අප්‍රමාණ සතුටට පත්ව, බුදුරදුන් සරණ ගිය උපාසකයන් බවට පත් වූ බව සූත්‍ර වර්ණනාවලින් හෙළි වේ.