Print this Article


කාන්තාව අනතුරේ වැටෙන්නේ ඉවසීම නැති නිසයි

කාන්තාව අනතුරේ වැටෙන්නේ ඉවසීම නැති නිසයි

මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ

දියණියක්, සොයුරියක්, බිරිඳක්, මවක්, මිත්තනියක් ලෙස ජීවිතයේ විවිධ චරිතවලට ජීවය දෙන කාන්තාව ජීවිතයේ් විවිධ ප්‍රශ්න සහ ගැටලු හමුවේ දුකට පීඩාවට පත් වෙනවා. ව්‍යාකූල වෙනවා. එවැනි අවස්ථාවල දී ඇය ශක්තිමත් ව ජීවිතයට මුහුණදිය යුතු වන්නේ කෙසේ ද? මහරගම උත්පලවන්නා මෙහෙණින් වහන්සේ සමඟ ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි.

මෙහෙණින් වහන්ස, අපේ කාන්තාවන් බොහොමයක් කාර්ය බහුලකම ගැන කියමින් මැසිවිලි නඟනවා. මේ ගැටලුවට විසඳුමක් ලබා ගන්නේ කොහොම ද?

කාටත් තියෙන්නේ දවසකට පැය විසි හතරයි. ඒ කාලය අපට අවශ්‍ය ආකාරයට කළමනාකරණය කර ගැනීමයි කළ යුතු වන්නේ. මෙහිදී ඒ ඒ අවස්ථාවට උචිත ලෙස අපේ සිත හසුරුවා ගැනීම ඉතා වැදගත් වෙනවා.

එතැන දී ප්‍රමුඛත්වය හඳුනාගත යුතුයි. ප්‍රමුඛත්වය පෙළ ගැහෙන්නෙ අපේ කැමැත්ත අනුවයි. උදාහරණයක් ලෙස තමන්ගේ කැමැත්ත වැඩිපුර ෆේස්බුක් එකේ ඉන්න නම් එසේත් නැත්නම් රූපවාහිනිය බලන්න නම් ප්‍රමුඛත්වය ලැබෙන්නේ එතැනට. එවිට සියලු වැඩ අතපසු වී අවුල් ජාලාවක් නිර්මාණය වෙනවා. මවකගේ මේ හැසිරීම දකින ළමයින් හැදෙන්නෙත් ඒ ආකාරයට ම යි. එනිසා නිවෙසක අම්මා අත්‍යවශ්‍ය ම දෙයට කාලය කළමනාකරණය කර නොගත්තොත් සියලු කටයුතු අවුල් වෙනවා.

එනිසා කාර්යබහුල බවෙන් මිදෙන්න නම් ප්‍රමුඛත්වය හඳුනා ගැනීම, වෙලාව හඳුනා ගැනීම සහ කාලය බෙදා වෙන් කිරීම ඉතා වැදගත් වෙනවා.

කාන්තාවගේ නුවණ හැඳි මිටට සීමා කරන අය අදටත් ඉන්නවා. ඇයගේ වටිනාකම එපමණ ද?

මම හිතන්නේ සැම විටම බෞද්ධ කාන්තාව කියන්නේ ශක්තිමත්, දිරිමත්, ප්‍රඥාවන්ත වගේ ම වීරියවන්ත කෙනෙක්. මේ සමාජයේ ජීවත් වන කාන්තාවට අනිවාර්යයෙන් ම නුවණ සහ ප්‍රඥාව අත්‍යවශ්‍යයි. ස්ථානෝචිත ප්‍රඥාව ඉතා වැදගත්.

ථේරී ගාථාවලින් පෙන්වා දෙන එක් චරිතයක් තමයි කුණ්ඩලකේසා. ඇය විචක්ෂණ නොවීමෙන් අනතුරේ වැටුණා. නමුත් අවසානයේ දී ඇයට නුවණ පහළ වී ජීවිතය බේරා ගත්තා. ජීවිතයට වටිනාකමක් එක් කර ගත්තා. ඒ අනුව කාන්තාවගේ නුවණ ප්‍රමාණ කළ නොහැකි යි.

මේ සමාජයේ කාන්තාවට පවුල තුළ, රැකියා ස්ථානයේ, සමාජයේ, සමස්තයක් ලෙස රටේ මේ ආදී සෑම තැනක දී ම විවිධ අභියෝග රැසකට මුහුණ දෙනවා. මේ අභියෝග හඳුනාගෙන ජය ගැනීම වැදගත්. එහිදී පැහැදිලි ඉලක්කයක් තබා ගැනීම සුවිශේෂියි. එසේ ඉලක්කයකට යන්න බැරි නම්, ඒ ගමන් මාර්ගය වෙනස් කිරීම ඉතා සුදුසුයි.

ඒ තැනට කාන්තාව තමන්ගේ නුවණ මෙහෙයවනවා නම්, මේ සමාජයේ ශක්තිමත් ව ජීවත් වන්නට ඇයට හැකියාව ලැබෙනවා.

බොහෝ කාන්තාවන් පුංචිදේටත් කලබල වෙනවා. ඉවසීම නෑ. මේ තත්ත්වය ඇයගේ ජීවිතයට බලපාන්නේ කොහොමද?

බුදුපියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ජීවිතයේ සාර්ථකත්වයට සහ දියුණුවට ඉවසීම ඉතා වැදගත් බවයි.

ඛන්තීච සෝවචස්සතා-සමනානංච දස්සනං-නිබ්බාන සච්ච කිරියාච- ඒතං මංගල මුත්තමං.

ඉවසීම, අවවාද පිළිගැනීම, ගුණවතුන් ඇසුරු කිරීම, නිවන අවබෝධ කිරීම යන මේ උතුම් වූ මංගල කරුණු ජීවිතයට ආශිර්වාදයක්. ඉවසීමෙන්, මෛත්‍රියෙන් සාමය ළඟා වෙනවා.

මංගල සූත්‍රයේ දේශනා කර තියෙන සුභාසිතාච යා වාචා යන්න ඉතා වැදගත්. සුභාෂිත වචනය නැති වූ විට අපට තරහ යනවා. ඉවසන්න බෑ. අපි අනිත් කෙනත් එක්ක සමාදානයෙන් ජීවත් වෙන ආකාරය මේ සූත්‍රයේ මැනවින් විග්‍රහ කරනවා.

අද බහුතරයක් අයගේ බෞද්ධකම ගාථාවලට පමණක් සීමා වෙලා කියලා හිතෙනවා. මෙයට දෙන පිළිතුර කුමක්ද?

සමහරු බෞද්ධ කියලා කියා ගන්නවා විතරයි. බෞද්ධකම ක්‍රියාවේ නෑ.

මුලින් ම අපේ සිත පිරිසිදු වෙන්න ඕනෑ. පිරිසිදු සිතේ ලෝභය, ද්වේෂය සහ මෝහය නෑ. ඒ සිතේ ඇති වන්නේ අලෝභ, අදෝෂ සහ අමෝහ. එවැනි සිතක් ඇති කර ගැනීමට අපි පුරුදු පුහුණු විය යුතුයි.

ඒ වගේ ම බෞද්ධාගමික නිවෙසේ අම්මා සැම විටම තම දරුවන් හික්මවීම කළ යුතුයි. ආදර්ශය ඉතා ම වැදගත්. ඒ වගේ ම දරුවන්ට අධ්‍යාපනය ලබා දීම කළ යුත්තේත් ඔවුන් හොඳීන් හඳුනාගෙනයි. සෑම දරුවකුට ම එකම ක්‍රමය හරියන්නේ නෑ. මෙය අභිධර්මයේ බුදුරදුන් ඉතා පැහැදිලි ව විග්‍රහ කර තිබෙනවා.

අනෙක බෞද්ධයෙක් විදියට දකින දෙය දැක්කා පමණක් යැයි අවබෝධ කර ගැනීමත්, යමක් ඇසුණු විට එය ශබ්දයක් පමණක් බව සිතීමත්, සිතට යමක් සිතුණු විට එය අනිත්‍යයක් ලෙසත් සිතීම ඉතා වැදගත්. එවිට ප්‍රශ්න කඳු ගැසෙන්නේ නෑ.

කාන්තාවගේ ජීවිතය පරිහානියට ගෙන යන කරුණු මොනවාද?

බුදුපියාණන් වහන්සේ පරාභව සූත්‍රය, වසල සූත්‍රය සහ ව්‍යග්ගපජ්ජ සූත්‍රය විශේෂයෙන් ගිහියන්ට දේශනා කර තිබෙනවා.

පරාභව සූත්‍රයේ විග්‍රහ කෙරෙන්නේ සුවිජානෝ භවං හෝති - සුවිජානෝ පරාභවෝ - ධම්මකාමෝ භවං හෝති - ධම්මදෙස්සී පරාභවෝ කියලා.

ඒ කියන්නේ ධර්මයට අකැමැති කෙනා පිරිහීමටත්, ධර්මයට කැමති කෙනා යහපත් මඟටත් යොමුවන බවයි.

ධම්මපදයේ සඳහන් වෙනවා අපිරිසිදු සිතින් යමක් කරයි ද, කියයි ද එයින් දුක ගෙන දෙනවා. හරියට ගොනා පසුපස කරත්ත රෝදය යනවා වගේ.

පිරිසිදු සිතින් යමක් කරයි ද, කියයි ද එය සැපයට හේතුවක්. හරියට ඡායාව තමා පසුපස එනවා වගේ.

නිද්දාසීලී සභාසීලී වීමත් පිරිහීමට බලපානවා. අද වැඩිපුරම අප දකින්නේ සබාසීලී. තමන් යා යුතු නොයා යුතු තැන, ඇසුරු කළ යුතු නොකළ යුතු අය ගැන කාන්තාව බුද්ධිමත් නොවුණොත් ඒ අයගේ පිරිහීම වැළැක්විය නොහැකි යි. අලසකම, ක්‍රෝධය, මෛත්‍රිය නැතිකම පිරීහීමට හේතු වෙනවා.

මෛත්‍රී සහගත සිතක් ඇති කර ගන්නේ කොහොමද?

ඒක හරි අමාරු දෙයක්. කරණීයමෙත්ත සූත්‍රයේ මෙන් ම රතන සූත්‍රයේ ද සඳහන් වන්නේ මෛත්‍රී කරන ආකාරය.

ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ. එක් පුතෙක් ඉන්න මවක් ඒ පුතාට කොපමණ ආදරය කරනවා ද, ඒවම්පි සබ්බ භූ තේසු. ඒ ආකාරයෙන් ම සියලු ම සත්ත්වයන්ට ආදරය කරන්න කියලයි අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කොට වදාළේ.

ඒත් අපේ සමහරුන්ගේ ලෝකය අවිද්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් වැහිලා. හැමතැන ම ප්‍රශ්නවලට හේතුව ඊර්ෂ්‍යාවයි. කාන්තාවකට මෙවැනි ගතිගුණ කිසිසේත් ම උචිත නැහැ. දයාව, කරුණාව, ආදරය, මෛත්‍රිය, හික්මීම වැනි ගුණාංගවලින් තමයි ඇය බැබළිය යුතු වන්නේ. අභ්‍යන්තරය අපවිත්‍ර වී තිබෙනවා නම් බාහිර ඔපයට මුල්තැන දුන්නාට වැඩක් නෑ