Print this Article


කුරුල්ලන්ටත් බඩගිනියි

කුරුල්ලන්ටත් බඩගිනියි

අන්න අන්න අර බලන්නකෝ අයියේ.....අපේ සරුංගල් ඔක්කොටොම උඩින් උඩහ අක්කගේ නයි සරුංගලේ යන හැටි.

සිරිල් මාමගෙ වෙල තමයි සරුංගල් අරින්න කියාපු තැන. ඒ ළඟම තියෙන්නේ අමරේ මාමාගේ පීදුණු කුඹුර. මේ වෙල් අතර කන්ඩිය තමා වෙල් යායේ උස ම තැන. අපි ඔක්කොම නිවාඩු කාලේ හින්දා සරුංගල් එක්ක සෙල්ලම් කරන්නයි හදන්නේ. ඒ හින්දා ඒ හින්දා එතැනට වේගෙන් දිව්වා.

අමරේ මාමගේ කුඹුරේ වී කරල් පැහිලා. පඹයෙක් හිටියට වැඩක් නෑ. ගිරව් රංචු වී කන්න ඇවිත්. අමරේ මාමත් එහා ලියද්දේ කුරුල්ලෝ එලෙව්වට මෙහා පැත්තේ පොඩි ලියද්ද කුරුල්ලන්ට ම දීල ද මන්දා. මට හිතුණේ වී කරල් කන කුරුල්ලෝ දැකලා.

ෂෝ. ෂෝ. ෂෝ. සරුංගලුත් අරන් අපි ගිරව් එළවන්න හැදුවා. ගිරව් හිටියම අපට සරුංගල් අරින්න බෑනේ. උන්ව කොහොම හරි පන්නමු. අයියා අපිට කිව්වා. අපේ සද්දේ ඇහුණු එහා ලියද්දේ හිටපු සිරිල් මාමා එපා ළමයිනේ ඕවා කුරුල්ලන්ටත් අයිතියි කියාගෙන කෑ ගහගෙන ආවා.

“කුඹුර අමරේ මාමගෙනේ. ගිරව් වී කෑවම වී අස්වැන්න අඩු වෙනවනේ. ගිරවුන්ට කන්න පලතුරු තියෙන්නේ ගස්වල ඕනෑ තරම්.”අයියා තරහෙන් වගේ මාමාගෙන් ඇහුවා.

එහෙම නොමේ පුතේ.

“ඇයි මාමේ එහෙම කියන්නේ” මම ඇහුවා.

ඇයි දරුවෝ ඔයාලා සාලිකේදාර ජාතක කතාව ගැන දන්නේ නැද්ද?

ඒ මොකක් ද මාමේ...සරුංගලේ බිමට බාලා අපි ඔක්කොම මාමා ළඟට ආවා.

හොඳ පැහිලා තිබුණු කුඹුරු යායක වී කරල් කන්න ගිරව් රංචුවක් පුරුදු වෙලා හිටියා. දවස් ගණනාවක් මේ විදියට ම වුණා. ගොවියා අත්පුඩි ගහලා ගිරව් එළවන්න හැදුවා. මේ රංචුවේ නායක ගිරවා හැමදාම වී කරල් අරගෙන ගියා.මේක දැක්ක ගොවියා උගුලක් අටවලා නායක ගිරවා අල්ලා ගත්තා.

“අනෙක් ගිරව් වී කාලා යද්දී ඔබ විතරක් වී කරල් අරගෙන යන්නේ ඇයි ?” ගොවියා ඇහුවා.

“මගේ අම්මයි’ තාත්තයි ගොඩක් වයසයි. ඒ දෙන්නටයි වී ගෙනියන්නේ” කියලා ගිරවා කිව්වා. අම්මට තාත්තට සලකන එක හොඳ වැඩක් හින්දා දිගටම ඒ දෙන්නට වී ගෙනිහින් දෙන්න කියලා ගොවියා ගිරවාට කිව්වා.

ඔන්න ඒකයි සාලිකේදාර ජාතික කතාව කියන්නේ. අපි දන්නේ නෑනේ මෙතනත් එහෙම ගිරව් ඉන්නවා ද කියලා. අනික කුරුල්ලෝ වී කන්නේ නැති ව බඩගින්නේ ඉන්නේ කොහොම ද? ඒ හින්දා මේ පොඩි ලියද්ද ම අමරේ මාමා කුරුල්ලන්ට තියලා තියෙන්නේ. සිරිල් මාමා කිව්වා.

අපි ආයේ වී කන්න එන කුරුල්ලන්ට කරදර කරන්නේ නෑ. කුරුල්ලන්ටත් අපිට වගේම බඩගිනියිනේ. අපි සරුංගල් අරින්න වෙන තැනක් හොයාගන්නම්’ මම කිව්වා. යාළුවෝ ඔක්කොම ඒකට කැමැති වුණා.