Print this Article


විමුක්ති සුවය අරමුණු කර දන්-පින් කරමු

විමුක්ති සුවය අරමුණු කර දන්-පින් කරමු

අංගුත්තර නිකායෙහි සටහන් වන මේ පාඨය වස්සාන කාලයේ දී ඉතා වැදගත් වෙනවා.

යං භික්ඛවෙ සීලවන්තො පබ්බජිතා ගාමං වා නිගමං උපනිස්සාය විහරන්ති. තත්ථ මනුස්සා තීහි ඨානෙහි බහුං පුඤ්ඤං පසවන්ති කායෙන වාචාය මනසා

පෙර ඈත කාලයේ වහල් බවෙන් දාස කරන පන්සියයක් ස්ත්‍රීන් හා ඔවුන්ට සම්බන්ධ එවැනි ම පන්සියයක් වහල් දාසකම් කරන පුරුෂයන් පන්සියයක් දඹදිව බරණැස වාසය කළා. මෙදා නන්ද හාමුදුරුවෝ එදා ඒ පිරිසේ නායකයා වෙලා හිටියා. මහා ප්‍රජාපතී ගෝතමිය එදා මෙම කාන්තා පිරිසේ නායිකාව වෙලා හිටියා. ඇය බොහොම බුද්ධිමත් දාසි ස්ත්‍රියක්. ඔය කියන කාලයේ වැසි සමය ආසන්න වෙමින් තිබුණා. මේ කාලයේ නන්දමූලක පර්වතයේ ලෙනක වැඩ වාසය කළ පසේ බුදුවරු පස්නමක් එතැනින් පිටත් වී ඉසිපතනයට පැමිණියා. වර්ෂා කාලයෙහි දායකයන් ලවා සෙනසුනක් කරවා ගැනීමට සිතා සවස් කාලයේ බරණැස් නුවර සිටුවරයාගේ නිවෙසට වැඩම කළා. සිටු දේවිය උන්වහන්සේ වඩා හිඳුවා කුමන කරුණකට වැඩියා ද කියා අසා සිටියා.

මේ වෙලාවේ උන්වහන්සේ ප්‍රකාශ කළා වස් වැසීමට සෙනසුනක් කරවා ගැනීමට පැමිණි බව. තමන් සියලු දෙනාට කටයුතු බහුල නිසා ඒ වෙනුවෙන් කළ හැකි යමක් නැති බව සිටු දේවිය ප්‍රකාශ කළා. උන්වහන්සේ බලාපොරොත්තු සුන් වෙලා ඒ ගමන් ම ආපසු පිටත් වුණා. සිටුමැඳුරට වැඩිය සැණින් ම ආපසු වඩින මේ පසේබුදුරුන් දුටු කම්කරු දාස නායිකාව වහා ඉක්මන් වී මෙහි වැඩිය කාරණය උන්වහන්සේගෙන් විමසා සිටියා. කාරණය වටහා ගත් මේ දාස නායිකාව මෙහෙම අහනවා.

“ස්වාමීනි, එවැනි සෙනසුන් කුටියක් පොහොසත් සිටුවරුන් විසින් ම කරන්න අවශ්‍ය ද? අප වැනි දුගී දුප්පත් උදවියට කළ හැකි නොවේ ද?” කියලා.

“පින්වතිය, පින් කැමති කාට වුවත් එය කරන්න පුළුවන්”

එයින් බොහොම ප්‍රීතියට පත් මේ දාස නායිකාව හොඳයි

“ස්වාමීනි, අපි ඒ කාරණය ඉටු කරනවා ඔබ වහන්සේ හෙට මේ ගමට දවල් දානයට වඩිනු මැනවැයි” ආරාධනා කළා.

සවස ඒ ඒ සිටු මාලිගාවලට වතුර ලබා ගන්නා ළිඳ ළඟට ගියා. අනෙකුත් දාසියන් වතුර ගෙන ඒමට එතැනට ආවට පස්සේ දාස නායිකාව මේ බව ප්‍රකාශ කර අපි මේ දාස වහල් බවෙන් මිදෙන්නට ප්‍රාර්ථනා කරමින් හොඳ පින්කමක් කරමු. පසේ බුදුවරයන් වහන්සේ පස්නමකට ආරාධනා කරලා උන්වහන්සේ එළැඹෙන වස් කාලයෙහි වස් වසවා ගෙන සිවුපසයෙන් උපස්ථාන කරලා මේ දාස බවෙන් නිදහස් වෙමු, කියලා ප්‍රකාශ කළා.

එදා සවස මාලිගාවල දාස කටයුතු අවසන් වෙලා කවුරුත් එක තැනකට රැස්වෙමු කියලා කතිකා කර ගත්තා. එම රැස්වීමේ දී තීරණය වුණා පසේ බුදුවරුන් පස්නම වස් වසවා ගන්නට. පසුවදා ම මාලිගාවල කටයුතු අවසන් කර කැලේට ගිහින් දැවදඬු කපා, වහළයට කොළ අතු ආදිය රැස්කර ගෙන පැමිණ එදින ම සියක් දෙනා බැගින් දාසියෝ කොටස් පහකට බෙදී කුටි පහට වැසිකිළි, කැසිකිළි, පැන් සැපයීම් ආදී සියලු දේ සහිත ව සකස් කළා. දවල් දානයෙන් පසු පෙර වස් විසීමට ආරාධනා කළා. ඒ තුන් මාසය පුරා ම වස් විසූ පසේ බුදුවරයන් වහන්සේට සිවුපසයෙන් උවටැන් කරමින් තමන් සේවය කරන සිටු මාලිගාවල බැලමෙහෙකම් ද අඩුපාඩුවක් නැති ව සිදු කළා. තමන්ගේ ස්වාමි පුරුෂයන් වූ දාසයන් පන්සියයට ද කල්‍යාණමිත්‍ර අවස්ථාව ළඟා කර දුන්නා.

එම වස් කාලය තුළ බොහෝ පින් සිදු කර ගත්තා. වස් තුන් මාසය අවසානයේ දී ප්‍රාර්ථනාවක් ඇති කර ගත්තා, “අපි දුප්පත් වෙලා අනුන්ට බැලමෙහෙකම් කරමින් ජීවත් වන්නේ පෙර පින් නැති නිසා. දැන් ඉතින් මේ කාලය තුළ සැදැහැ සිතින් පසේ බුදුවරුන් වස් වසවා ගෙන චීවර මාසය තුළ කඨින පින්කම් ද සිදු කර ගත්තා. ඒ පින්බලයෙන් මෙවැනි දුක් සහිත ජීවිත නො ලබා සසර පුරාවට, සත්පුරෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබී, මතු භවයක සසර කෙළවර අවසාන ශාන්ත නිවන් සුවය සලසා ගනිමු යැයි ප්‍රාර්ථනා කළා. එදා කළ මෙම පින්කම්වල විපාක වශයෙන් මේ පන්සියය බැගින් වූ දාස පිරිස හා දාසි පිරිස සංසාරයෙහි සැප විපාක ලබමින් ජීවත් වුණා. අප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි කෝලිය නුවර එම දාසයෝ පන්සියයත්, දෙව්දහ නුවර දාසියෝ පන්සියයත් ක්ෂත්‍රිය වංශික ව ඉපදුණා. බොහෝ පිළිවෙත් පුරා පැවිදි වී සසර විමුක්තිය සලසා ගත්තා.

මේ කරුණින් පෙනී යන්නේ දායක පිරිස් වස් කාලයෙහි මෙලොව පරලොව සුගතිය පිණිස හේතුවන පිළිවෙත්වල යෙදී ක්‍රියා කළ යුතු බව නොවේද?

වැසි සමය තුළ ගමන් බිමන් අපහසුයි. පිඬු පිණිස චාරිකාවේ හැසිරීමත් අපහසුයි. ධර්ම ප්‍රචාරය පිණිස ගමන බිමනත් අපහසුයි. දඹදිව එක දිගට නො නවතින වැසි සමයක්. අපේ රටවල එවැනි වර්ෂාධික බවක් මේ සම්මත වස් කාලය තුළ නො තිබුණත්, බුද්ධ නියමයේ කිසිදු වෙනසක් සිදු නො කළ නිසා ලංකාව ඇතුළු සමස්ත ලෝකයේ ම ථේරිය සම්ප්‍රදායානුගත මහා සංඝ රත්නය ඒ කාලය තුළ වස් වසනවා.

විනයේ කියැවෙන පරිදි අවශ්‍ය ම කරුණකට හැර වස් විසූ ස්ථානයෙන් බැහැර වෙන්නෙත් නැහැ. එසේ නම් උන්වහන්සේට තමන් වහන්සේගේ මෙලොව සුගතිය මෙන් ම, සංසාර විමුක්තිය පිණිස එක් ස්ථානයකට වී ප්‍රතිපත්තිමය වශයෙන් ආධ්‍යාත්මික විමුක්තිය ඇති කර ගත යුතු සුදුසු ම කාලය මේ කාලය යි.

අපේ බුදුරජාණන් වහන්සේ දවස සැවැත් නුවර වාසය කළ මහාපාල නම් කෙළෙඹි පුත්‍රයා පැවිදි උපසපන් බවට පත් වුණා. සැටනමක් වූ එවැනි ම භික්ෂු පිරිසක් සමඟ බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා, එකසිය විසි යොදුන් මඟ ගෙවා පිටිසර බද ගමකට සැපත් වුණා. වස් කාලය ද එළැඹුණා. එම ගම්වැසි දායකයන්ගේ ආරාධනාවෙන් ඒ ගමෙන් සකස් කෙරුණු සෙනසුන්වල සැට තමක් වූ භික්ෂූ පිරිස වස් එළැඹුණා. වස් අරඹන දවසේ ම පාලිත මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ සමඟ එහි වැඩි භික්ෂු පිරිස අමතා ප්‍රකාශ කළා,

ආයුෂ්මතුන් වහන්ස, දැන් වස් කාලය ආරම්භ වෙනවා. මේ මාස තුන තුළ බුදුරජාණන් වහන්සේ අපට ලබා දුන් කමටහන් වඩා, දැඩි වීර්යයක් ගෙන, පිළිවෙත් සපුරා මේ සසරින් එතෙර ව නිවන් සුව සාදා ගන්නට අධිෂ්ඨාන කොට ක්‍රියා කරමු යැයි යෝජනා කර උන්වහන්සේ එම ස්ථිර අධිෂ්ඨානයෙහි පිහිටා ක්‍රියා කළා. ඒ අනුව සතර ඉරියව්වෙන් ම සතිය උපදවා, කමටහන් වඩා, ඇස් දෙක පවා අඳභාවයට පත්වෙන තුරු භාවනා කර රහත් භාවයට පත් වුණා.

ඒ නිසා ම චක්ඛුපාල යන නාමයත් උන්වහන්සේට පටබැඳුණා. මහත් වූ සම්‍යක් වීර්යය නිසා ම සෙසු භික්ෂූන් වහන්සේත්, පසුව කෙලෙස් සතුරන් නසා රහත් වුණා. උන්වහන්සේට ඇප උපස්ථාන කරමින් දායක පිරිස් ද පින් සිදු කර ගත්තා. ඇතැම් කෙනෙක් ගිහි ව වුණත් උන්වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කර, සසර දුක නිමා කර සදාකාලික විමුක්තිය ද උදා කර ගත්තා.

මේ කරුණින් පැහැදිලි වන්නේ අප ගිහි පැවිදි දෙපාර්ශ්වය ම මේ වස් කාලය සිහි බුද්ධියෙන් විමුක්ති සුවය අරමුණු කර ගෙන දන් පින්කම් කරනවා වගේ ම, ආධ්‍යාත්මික විමුක්තියට යොමු ව, ප්‍රතිපත්ති පූජාවට ද වහ වහා යොමු විය යුතු බව නොවේ ද?