Print this Article


සතිය දුර්වල වන තැන් මැඬ පැවැත්වීමේ උපක්‍රම

සතිය දුර්වල වන තැන් මැඬ පැවැත්වීමේ උපක්‍රම

සතිය දුර්වල වී සිතේ එකලෙස බිඳෙන විට, ලූලා නැති වළට කණයා පණ්ඩිතයා වන්නා සේ මේවා ආගන්තුක ව ඉස්මතු වන්නේ හිතේ අසතිමත් හිස් තැන් පුරවන්නා සේ ය. අයාලේ යන්නාක් මෙන් නො වැදගත් ලෙස මුල් බැසගන්නා මේවා ගෙට වැදුණු ඔටුවකු සේ ආධුනිකයාගේ මෙන් ම ප්‍රවීණයාගේ ද සිත වසා ඉතිර පැතිර යයි.

බැලූ බැල්මට කෙලෙස් නො වන මේවා සම්පූර්ණයෙන් පාලනයට නතු කර ගත හැක්කේ අර්හත්වයෙන් ම පමණි. මුලින් මුලින් කරන්නේ ඒවා තරමක ඈතින් ඇතට තල්ලු කර හැරීම පමණක් වන අතර, ඒ තරමට භාවනාවේ දියුණුව සඳහා වේලාව ලැබේ. මෙම ආක්‍රමණික ධර්ම ඈත්ව තබා ගත හොත් දීර්ඝ කාලයක් මූල කර්මස්ථානය මත භාවනා කිරීමේ හැකියාව දියුණු කර ගත හැකි ය.

ඉහත දැක්වූ බාධා තුනට නිසි අවධානය දීම යෝගාවචරයාගේ යුතුකමයි. ඒ බව දැන ගෙන ඊට සුදුසු මානසිකත්වය සකස් කර ගැනීමට නම්, ඒවා පිළිබඳ සුතමය ඥානය තිබිය යුතු ය. සිතේ ධාරණය කරගත යුතු ය. ඒ අනුව ඉදිරිපත් වන මේ ත්‍රිවිධ බාධා තුළ යෝගාවචරයාට දුක පිළිබඳ ප්‍රත්‍යක්ෂය තහවුරු වන්නේ සුතමය හා චින්තාමය වූ මූලික දැනුමේ ප්‍රමාණයට ය. ඒ ආධාරයෙනි.

කාට හෝ අබිමත දේ අබිමත සේ නොලැබේ ද, එය දුකකි. ඉතිරි ආර්ය සත්‍ය තුන ද මෙලෙසට ම නීවරණ ධර්ම හමුවේ ද ගෝචර ලෙස යොදා ගැනීමට යෝගාවචරයා සූර විය යුතු ය. කෙටියෙන් කියතොත් නීවරණ ඉදිරිපත් වන විට ඒවාට වෛර නො කිරීමෙනි. අවිරුද්ධ වීමේ කලාව හරහා ම පමණි.

සම්‍යග් සතිය පිළිබඳ අවබෝධයෙන් එම සතිය හරහා එදිනෙදා ජීවිතයේ සිද්ධිවල දී ලැබෙන අවබෝධ ඥාන හා සුතමය ඥාන - චින්තාමය ඥාන නිසි සමබරතාවකට ගෙන ඒම, ප්‍රයෝජනය සලකා එතැන කළ යුත්තකි. මෙය සතිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන හතරවැන්න වන ධම්මානුපස්සනාව යි.

ආරම්භයේ දී ම මේ සඳහා ලෑස්ති මනසකින් යුක්ත වීම සඳහා වන මෙම අවිරුද්ධ ප්‍රතිපදාව හෙවත් පළමුවැනි පිම්ම දැන් අප සතු ව ඇත. සතුරා හමුවේ උද්වේගකර වූ, සූදානම් නැති මනසකින් දුර්වල ලෙස මුලින් පටන්ගත්තේ වී නමුත්, කාරණය හරි හැටි මෙලෙස වටහා ගැනීමෙන් පසු සූදානම් මනසක් දැන් අප සතු ව ඇත. මෙය විශාල ලාභයක් වන අතර, මෙයට අපි අවිරුද්ධ ප්‍රතිපදාව යැයි කියමු. මෙතෙක් සතුරන් ව පැවති මේවා දැන් චතුරාර්ය සත්‍ය කියා දෙන ගුරුවරුන් බවට පත් කර ගත් පසු මේ තාක් පැවැති මේ බාධකය ඉදිරි ගමනට සාධකයක් කර ගනිමු.

මෙම බාධක පිළිබඳ ලෑස්ති මනසකින් යුක්ත වීම හරහා ලබන ප්‍රථම ලාභය නම් ප්‍රතික්‍රියා නොකරනසුලු මනසකට අඩිතාලම ලැබීමයි. තවදුරටත් වැඩෙන විට බාධකවලට මුහුණදීමේ ශක්තිය තමා ම තමන් තුළ දියුණුවක් ලෙස අත්දකිනු ඇත. මෙම සාමකාමී උපක්‍රමවලට තව ටිකක් සිත යොදමු.

බාධක මැඬ පැවැත්වීම සඳහා උපක්‍රම තුනක් ඇත. එකක් ව්‍යර්ථ වූ විට ඊළඟ එක ආදී ක්‍රමයට මේ තුන යෙදිය යුතු ය. මේ තුන ම සති මාත්‍රය පිළිබඳ අභ්‍යාස වේ. ඒවා එකිනෙකින් වෙනස් වන්නේ බාධාව සඳහා යොදන අවධානයේ ප්‍රමාණය අනුව ය. මෙහි දී අනුගමනය කළ යුතු මානසික අවධානය හැර ඊට වඩා යමක් නොකළ යුතු ය.

පළමුව කෙනකු විසින් බාධාව පැහැදිලි ලෙස ද, නො ගැඹුරු ලෙස ද තම සැලකිල්ලට භාජනය කළ යුතු ය. එනම්, බාධාව පිළිබඳ අංග ප්‍රත්‍යංග බැලීමක් හෝ ව්‍යංජන අනුව්‍යංජන බැලීමක් හෝ නොකළ යුතු ය. මේ කෙටි සමීක්ෂාවෙන් පසුව නැවතත් මූල කර්මස්ථානයට සිත යෙදිය යුතු ය. බාධාව දුර්වල එකක් නම් හෝ පැවති සමාධි සිත බලවත් නම්, සතුප්පාදය හෙවත් නැවත අරමුණට පැමිණීම පහසුවෙන් කළ හැකි ය.

මේ අවස්ථාවේ දී බාධා නමැති (අයාලේ යන්නන්) ආගන්තුකයන් සමඟ අනවශ්‍ය කතා ඇති කර නො ගැනීමට අප පරිස්සම් වුවහොත් ඔවුන්ට වැඩි වෙලා සිටීමට අවකාශයක් අපෙන් නො ලැබෙනු ඇත. එවැනි බොහෝ අවස්ථාවල දී උණුසුම් පිළිගැනීමක් නො ලබන ඔවුන් (මේ අයාලේ යන්නන්) ආගන්තුකයන් මෙන් සැණෙකින් ආපසු යනු ඇත. එබඳු කෙටි පලවා හැරීමකින් පසු අපේ පැවති චිත්ත සමාධියට ලොකු හිරිහැරයක් නැති ව අපට ගෝචර අරමුණට නැවත පිවිසිය හැකි ය.

මෙහිදී අප යෙදූ සාමකාමී උපක්‍රමය නම්, බාධාවට “පල නො කියා පලා බෙදීමයි.” මහා සුඤ්ඤත සූත්‍රයෙහි ‘විස්තර වන පරිදි බුදු රදුන් ද අවේලාවල පැමිණෙන, අයාලේ යන්නන් පිළිබඳ ව ක්‍රියා කළේ මේ ආකාරයට ය.

පවිවේකය සඳහා නැමුණු සිතැති ව, පවිවේකී සිතින් යුතු ව, අයාලේ යන්නන් පලවා හැරීමේ සංසිද්ධිය ගැන සාකච්ඡා කරමින් ආචාර්ය ශාන්තිදේව විසින්, අඥානයන් ගැන ක්‍රියා කළ යුතු යැයි දක්වන ලද ආකාරය ද මීට සමාන ය. කෙනකුට අයාලේ යන්නන්ගෙන් වෙන්වීමට නොහැකි නම් මධ්‍යස්ථ බවකින් යුක්ත ව විනීත ව ඔවුන් ගැන ක්‍රියා කළ යුතු ය.

බාධාව තවදුරටත් පවතී නම්, ඉවසිල්ලෙන් ආධුනිකයකු ලෙස නැවතත් සති මාත්‍රය පුහුණු කළ යුතු ය. ශක්තිය දුර්වල ව ගිය විට එම බාධාව ඉබේ ම අතුරුදන් වනු ඇත. මෙහිදී යෝගාවචරයා දක්වන ආකල්පය නම්, නැවත නැවත එන බාධාවලට “එපා” යන මුහුණින් පිළිතුරු දීමයි. තමාගේ ගෝචර අජ්ඣන්ත අරමුණෙන් හෙවත් මූල කර්මස්ථානයෙන් බැහැර වීමට අකැමැත්ත ඍජුව ම දැක්වීම යි. මෙය ශාන්තියේ හා ඍජු භාවයේ ආකල්පය යි. සෝදිසියෙන් පරීක්ෂා කිරීමේ හැකියාව සඳහා, ඉවසා සිටීමේ හා තම ස්ථාවරයෙහි නො සැලී සිටීමේ හැකියාව උපකාර වේ.

ස්වභාවයෙන් ම දුර්වල වූ අයාලේ යන සිතිවිලි හා දවල් සිහින ආදිය සම්බන්ධයෙන් මේ උපක්‍රම දෙක සාර්ථක වනු ඇත. එසේ ම අනෙක් බාධා දෙක වන බාහිර උපද්‍රව සහ කෙලෙස් සඳහා ද බොහෝ විට ප්‍රයෝජනවත් වනු ඇත.

එහෙත් යම් හේතුවක් නිසා හෝ මේ බාධක යටත් නොවී නම්, ඒ ඒ බාධාවට අවධානය යොමු කොට එය ම සතියෙහි අරමුණ බවට හරවා ගත යුතු ය. එනම්, බාධක සාධකයක් බවට හරවා ගැනීමයි. එමඟින් ඔහු භාවනාවට පටහැණි කරුණ ඉවත් වනතුරු එයට මුහුණ දිය යුතු ය. එසේ නැතහොත්, එයට අදාළ හේතුව ඉවත් වන තුරු හෝ ප්‍රයෝජනවත් යැයි හැඟේ නම් දිගින් දිගට ම එයම අරමුණු කොට හෝ භාවනා කළ හැකි ය.

බාධකය බලවත් ශබ්දයක් නම්, එයට අපගේ සම්පූර්ණ අවධානය යොමු කිරීමට සිදුවේ. මෙහිදී අප පරිස්සම් විය යුත්තේ ඒ බාධාව කෙරෙහි ප්‍රතික්‍රියා නො කර සිටීමයි. අවිරුද්ධ ව සිටීමටයි. ඉදින් ප්‍රතික්‍රියාවක් ඉබේට ම මෙන් සිදු වූයේ නම් එම ප්‍රතික්‍රියාව පැහැදිලි ව හඳුනා ගැනීමට පුරුදු විය යුතු ය. මෙසේ කිරීමෙන් සතිපට්ඨාන සූත්‍රයේ පහත දැක්වෙන ඡේදයට අනුව ධම්මානුපස්සනාව පුහුණු කරන්නමෝ වෙමු.

“සොතඤ්ච පජානාති, සදෙද ච පජානාති, යඤ්ච තදුභයං පටිච්ච උප්පජ්ජති සඥේඤාජනං තඤ්ච පජානාති”

ඔහු කන හා ශබ්ද දැන ගනී. ඒ දෙක නිසා හටගන්නා සංයෝජන ද (උදා - ක්‍රෝධය) දැන ගනී. ශබ්දය නො නැවතී පවතී නම්, හෝ අඩු වැඩි වේ නම් හෝ කෙනකුට එයින් උගැන්වෙන ඇති වීම හා නැති වීම (උදයබ්බය) හඳුනා ගැනීමට පුළුවන. එය අනිත්‍යය පිළිබඳ තමාගේ විදර්ශනා ඥානයට තවත් රුකුලක් වනු ඇත.

වරින් වර පැමිණෙන රාග උද්ධච්ච ආදී කෙලෙස් ධර්ම ගැනත් ඇති කරගත යුතු ආකල්පය ද එය ම ය. ඒවාට ඍජු ව මුහුණ දීමට අවශ්‍යය. එහෙත් ඒවා තමාගේ ක්‍රෝධය, බිය ආදී ප්‍රතික්‍රියාවලින් වෙන් කර හඳුනාගැනීමට පුරුදු විය යුතු ය. මෙසේ කිරීමෙන් කෙනකු “නම් කිරීමේ” අභ්‍යාසය ද පුහුණු කරන අතර, කලින් දක්වන ලද එහි ප්‍රතිඵල ද භුක්ති විඳිනු ඇත. වරින් වර ඇතිව නැති වන රාග, උද්ධච්ච නමැති කෙලෙස් දිය රැලි අතර කෙනකුට උස් - පහත් වීම හෝ ඇති වීම, නැති වීම නමැති විවිධ අවස්ථා දැක ගත හැකි ය. ඒවායේ ස්වභාවය පිළිබඳ ව තමාගේ භාවනාවට අදාළ වැදගත් කරුණු ඔහුට ඉගෙනගත හැකි ය. මේ ක්‍රමය අනුව හෙතෙම සතිපට්ඨානය ඇතුළත සිටිමින් චිත්තානුපස්සනාව ද, ධම්මානුපස්සනාව ද පුරුදු කරන්නේ ය.

ඉතා චාම් මෙන් ම විචක්ෂණ වූ ද මෙම ක්‍රමය භාවනාමය බාධක, සාධක බවට පත් කරලන අතර, ඒ සඳහා උපායශීලි විය යුතු ය. එමඟින් අපි අවිරුද්ධ ප්‍රතිපදාවේ උච්චතම අවස්ථාවට පිවිසෙමු. සියලු ම අත්දැකීම් ප්‍රතිපදාවේ ආධාරකරුවන් හැටියට හරවා ගැනීම සතිපට්ඨාන ක්‍රමයේ ප්‍රධාන ලක්ෂණය වේ. මේ ආකාරයෙන් සතුරෝ මිතුරන් බවට පත් වෙති. මක්නිසා ද යත්, බාධා සහ කරදර අපගේ ගුරුවරුන් බවට පත් වන හෙයිනි. ගුරුවරුන් කවුරුන් හෝ වේවා, මිතුරන් හැටියට සැලකිය යුතු ය.

මෙහිදී වැදගත් කුඩා පොතකින් ගත් උධෘතයක් ගෙනහැර දක්වන්නට කැමති අතර, එය අමතක නොකළ යුත්තකි. එය වූ කලි අප්‍රතිහත ධෛර්යය හා ප්‍රායෝගික ඤාණය පිළිබඳ මහඟු ලේඛනයකි. ඒ ලේඛනය කැතරින් බට්ලර් හැතවේ යන කතුවරියගේ කෘතියකි.

තමන්ට අරුචි දේ විසි කර දමන ඇතැම් පුද්ගලයන්ගේ මෝඩකම සහ නාස්තිකාරකම නිසා මම කම්පාවට පත් වෙමි. තමන් අකැමැති නිසා අත්දැකීම්, මිනිසුන්, විවාහ, මහඟු අවස්ථා ආදී හැම දෙයක් ම ඔවුහු ඉවතට විසි කර දමති. ඔබ යමක් වීසි කළහොත් ඔබෙන් එය සදහට ම ඈත් වේ. කලින් ඔබට යම් කිසිවක් තිබුණ නමුත් දැන් කිසිවක් නැත්තේ ය. ඔබේ දෙ අත් හිස් ය. ඒ අත්වලට කිරීමට දෙයක් දැන් නැත්තේ ය. එසේ වුව ද වීසි කර දමනු ලැබූ හැම දෙයක් ම මඳක් නුවණ පාවිච්චි කිරීමෙන් පසු ඊට වෙනස් දෙයක් බවට හරවා ගැනීමේ පුළුවන්කම තිබේ. එහෙත් බොහෝ මනුෂ්‍යයන් සිහි නොකරන දෙයක් ඇත. එනම් හැම නරක දේක ම ඇති හොඳ පැත්ත හෙවත් ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ හැකියාව ය. එමඟින් අරුචි දේත්, රුචි දේ බවට හරවාගත හැකි ය.

භාවනාවට පටහැනි යට කී ත්‍රිවිධ බාධාවල පැමිණීම, වළක්වන්නට නොහැකි දෙයක් බව කලින්ම මතක් කළේ මේ නිසා ය. ඒ බාධා අපගේ ම ලෝකයට අවශ්‍ය, අපට අයත් කොටස් ය. ඒවායේ හැසිරීම අපගේ මනාපය, අමනාපය ගැන නොතකා අදාළ න්‍යායට අනුව සිදු වේ. එහෙත් සති මාත්‍රය යෙදීමෙන් ඒ බාධාවල බලපෑම්වලට යට නොවී සිටීමට, අපගේ කර්මස්ථානයෙන් ඉවත් නොවී සිටීමට අපට පුළුවන. සතිය නමැති ගෝචර භූමියේ ස්ථාවර ලෙස සහ ශාන්ත ලෙස අපේ පා තබමින් අප ද කරන්නේ බෝ මැඩ දී බුදු රදුන් වැඩ සිටි භූමිය ගැන මාරයා අයිතිවාසිකම් පළ කිරීමේ ඓතිහාසික සිද්ධිය නැවතත් අත්හදා බැලීමකි. සතියේ ඇති බල මහිමය ගැන අපේ දෘඪ විශ්වාසය තබමින් බුදුරදුන් බුද්ධත්වයට පෙර කළ ඒ ප්‍රාර්ථනය මෙහිදී නැවත සිහිපත් කරමු. “මා මං ඨානා අචාවයි” මාර තෙමේ මා මෙතනින් ඉවත් නො කෙරේවා.”

සති මාත්‍රය පුරුදු කිරීමේ දී අපේ සුපරික්ෂාකාරී ඇස් ඉදිරියේ ගලා යන විශාල මානසික හා කායික චින්තනයේ අනික් සාමාජිකයින් මෙන් කරදරකාරී අයාලේ යන්නන්ගේ ද යාම් - ඊම් වේවා යන්න සිත්හි ධාරණය කර ගත යුතුය.

මෙහි අපගේ වාසිය හැටියට සැලකිය යුතු දේ නම්, චිත්තක්ෂණ දෙකක් එකවර පහළ නොවිය හැකි ය, යන පැහැදිලි සත්‍යය යි. ඇත්ත වශයෙන් අවධානය යෙදෙන්නේ වර්තමානයට නොව ඉකුත් වූ මොහොතට යි. එහෙයින් එසේ නොවී සතිය ස්ථාවර තාක් “බාධකයක්” හෝ “දූෂ්‍ය” සිතිවිල්ලක් හෝ ඇති විය නොහැකි ය. මෙමඟින් අපට අපගේ ම නිර්මල, නික්ලේශී භූමියේ රැඳෙමින් අනාගත කෙම්බිම ගැන බලාපොරොත්තු තැබිය හැකි ය.

ඉහත දැක්වූ ත්‍රිවිධ උපක්‍රම මඟින් ඇති වන දුරස්ථ නිරීක්ෂණවල නො ගැටෙනසුලු අභ්‍යාසය නිසා, භාවනාවේ දී ඇති වන බාධාවල දැවිලි - තැවිලි දිගින් දිගට ම දුර්වල වීම සිදුවිය හැකි ය. ඇත්ත වශයෙන් ම මෙම භාවනාව “විරාගී” ක්‍රියාවක් හැටියට ඔප්පු වන්නේ ය. විරාගී යන්නෙහි අදහස නම් ඉහත දැක් වූ අත්දැකීම්වල රාග, ද්වේෂ, මෝහාදී කෙලෙස් අවුස්සන රසාත්මක ලක්ෂණය තුරන් වී යාමෙන් ඒ අත්දැකීම් නික්ලේශී සුද්ධ ධර්ම බවට පත් වේ.

සති මාත්‍රය උගන්වන අවිරුද්ධ ක්‍රමය, සිතෙහි පවතින තියුණු දුර්දාන්ත ස්වභාවය පාලනය කිරීමට ද, ජීවිතයේ දුෂ්කර අවස්ථා හා බාධකවල දී ඒවා ගැන කටයුතු කිරීමට ද යෝගාවචරයාට අවශ්‍ය වන අහිංසක බව ලබා දේ.

භාවනා මඟින් ධ්‍යාන ඇති කර ගැනීමට අවශ්‍ය වූ වීර්යය විස්තර කිරීමේ දී එක්තරා උපමාවක් විශුද්ධි මාර්ගය මෙසේ දක්වයි. එනම් වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම පිළියම ඉගෙනගත්තා වූ පැරැණි ශිෂ්‍යයන් විසින් ස්වකීය දක්ෂතාව ඔප්පු කිරීම සඳහා කළ යුතු වූ පරීක්ෂණයකි. නෙළුම් පතක් ජල භාජනයක පාවෙන විට ශිෂ්‍යයකු විසින් කළ යුත්තේ එම නෙළුම් පත දිගේ ඇති නහර දැලි පිහියකින් සියුම් ලෙස පැළීමයි. මෙයට ‘ශිරාවේදය’ යි කියනු ලැබේ. නහරය සම්පූර්ණයෙන් නො කැපෙන ලෙසට (දියට කිඳා නොබසින ලෙසට) ශිල්පය සිදු කළ යුතු විය. අධිවේගී තැනැත්තා නෙළුම් පත දෙපළු වන ලෙසට කපයි. කෝල වන තැනැත්තා දැළි පිහිය ළං කිරීමට ද අසමත් වේ. චිත්තාභ්‍යාසවල දී ද අවශ්‍ය වන්නේ ශල්‍යකර්ම වෙදැදුරුගේ මෘදු, එහෙත් සුඛනම්‍ය හස්තය වැනි ආකල්පයකි. මෙම කාර්යක්ෂම වූ සම බලැති ස්පර්ශය, සති මාත්‍රය මඟින් පුරුදු කරනු ලබන අවිරුද්ධ ප්‍රතිපදාවේ ප්‍රතිඵලය වනු ඇත.