Print this Article


සැදැහැ සිතින් බෝධින් වහන්සේ පුදමු

සැදැහැ සිතින් බෝධින් වහන්සේ පුදමු

ලොව සතර දිග්භාගයෙහි ම වෙසෙන බොදුනුවන් විසින් මහත් ගෞරවයෙන් යුතු ව පුදසත්කාර කරනු ලබන, මහත් පරිශ්‍රමයකින් යුතු ව ආරක්ෂා කර ගනු ලබන පූජනීය වස්තුවක් වනුයේ “බෝධීන් වහන්සේ” යනුවෙන් ගෞරවය පෙරදැරි ව ආමන්ත්‍රණය කරනු ලබන “සම්බුද්ධත්වය පිණිස හෙවත් බෝධි ඤාණ උපදවා ගැනීම පිණිස උපකාර කළ ඇසතු වෘක්ෂය යි.

සජීවිභාවය පැවතීම නිසාත්, අප ගෞතම බුදුරජාණන් වහන්සේ පරිභෝග කළ වස්තු අතරින් සියල්ලන්ට ම දැක බලා ගැනීමේ අවස්ථාව පවතින නිසාත්, බෝධීන් වහන්සේ නමක් සමීපයෙහි හිඳින කළ ජීවමාන බුදුරදුන් තමා අභිමුව වැඩසිටින්නාක් මෙන් හැඟීමක් උපදින නිසාත්, ත්‍රිවිධ චෛත්‍යයන් අතරින් වුව ද බෝධීන් වහන්සේ වෙත සුවිශේෂි ස්ථානයක් හිමි වී ඇත.

නිවන් මඟෙහි රැඳී සිටීමට බෝධියේ උපකාරය

තණ්හාව නැවත හට නොගන්නා පරිදි ක්ෂය කිරීම පිණිස නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි උත්සාහවත් වන කෙනකුª සිය පඤ්ච ඉන්ද්‍රියයන්ට හසුවන වස්තු අවිද්‍යාවෙන් තොර ව ග්‍රහණය කර ගැනීමට තම සිත තවමත් පුහුණු කර නොමැති හෙයින්, කෙලෙස් සහිත ලෝකයා අතර සිටින විට, කෙලෙස් සහිත අරමුණූ කෙරෙහි ප්‍රියතාව බලවත් වී නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි රැඳී සිටීමට ඇති කැමැත්ත හීන වී යා හැකි ය. එනම්, බලවත් වීර්යයකින් සහ අවබෝධයකින් අනුගමනය කළ සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිපත්ති අත්හැර සුපුරුදු කෙලෙස් සහිත ජීවන රටාවට නැවත අවතීර්ණ වීමට සිතෙනු ඇත.

ගමනාන්තය සැනසිලිදායක වුව ද, ගමන් මාර්ගය කටුක, වෙහෙසකර, නීරස වූවක් බැවින්, නිවන් මඟ යාම මන්දෝත්සාහි කරවන අවස්ථාවල දී බෝධීන් වහන්සේ නමක් සමීපයට ගොස්

“බුදුරජාණන් වහන්සේ මෙම බෝධි මූලයෙහි හිඳිමින් පිළිවෙත් පුරා නිර්වාණාවබෝධය ලද සේක. නමුදු, මම තවමත් නිවනෙහි ප්‍රමාදවීමි” යි පහන් සංවේගය උපදවා ගත් කළ නැවත ද නිවන් මඟට අවතීර්ණ වීමේ උනන්දුවක් උපදිනු නො අනුමාන ය. බොහෝ බොදුනුවන් බෝධීන් වහන්සේ නමක් අබියස හිඳිමින් භාවනාව පුහුණු කරනුයේ ද මෙලෙස තම සිත නිර්වාණගාමී ප්‍රතිපදාව කෙරෙහි උනන්දු කිරීම පිණිස ය.

එසේ ම, අභියස හිඳින්නවුන්ගේ සිතෙහි ශාන්ත බවක් ඇති කරන්නා වූ ගුණයක් ද බෝධි වෘක්ෂයෙහි ඇත. මහා බෝසතාණන් වහන්සේ ද තමන් වහන්සේ පෙර අත්භවයන්හි දී පාරමි ධර්ම පුරමින් අවබෝධ කළ ගැඹුරු ධර්මයන්හි මතකය අවදිකරවා ගැනීම පිණිස එළැඹෙනුයේ තම චිත්ත ඒකාග්‍රතාව පවත්වා ගැනීමට නන් අයුරින් උපකාර වන්නා වූ ලක්ෂණවලින් හෙබි වෘක්ෂ මූලයක් වෙතට ය. එසේ බෝධි ඤාණයන් පූරණය කර ගැනීම පිණිස උපකාර වන්නා වූ වෘක්ෂයන් ඇත්තේ එකක් බවත්, දෙවියන්ගේ මෙහෙයැවීමෙන් බෝසතාණන් වහන්සේ එම වෘක්ෂ මූලය වෙත එළැඹෙන බවත්, පොතපතෙහි කරුණු සඳහන් වේ. බෝධි සත්ත්වයන් වහන්සේ වැනි වීර්ය පුුරුෂයාණ කෙනකුට සම්බුද්ධත්වය ලැබීමට අවශ්‍ය වන්නාවූ පරිසරය සකසා දීමට සමර්ථ වන්නේ නම්, එම බෝ රජහු අන් කවරකුගේ වුව ද නිර්වාණගාමී ප්‍රතිපදාව මුදුන්පත් කර ගැනීම පිණිස උපකාර වන්නේ ය.

කුසල ශක්තිය වැඩීමට

සසර ගමන නිවනින් කෙළවර කිරීම බුද්ධ ශ්‍රාවකයාගේ අභිප්‍රාය වුව ද, එක් ආත්මයකින් හෝ කිහිපයකින් හෝ අපගේ සිත, ලෝකය දෙස අවිද්‍යාවෙන් තොර ව බැලීමට පුහුණු කර විය නොහැකි ය. දීර්ඝ සංසාරය පුරාවට ම තණ්හා මූලික ව කටයුතු කිරීමට පුරුදු කර ඇති සිත, තණ්හාවෙන් තොර ව කටයුතු කිරීමට පුහුණු කිරීම ඉතා වෙහෙසකර, අසීරු කාර්යයකි. එබැවින් ම, ඒ සඳහා ආත්මභාව ගණනාවක් තිස්සේ සිත පුහුණු කිරීමට සිදු වෙයි. එනම්, තණ්හාව ක්ෂය කර නිවන් දක්නා තෙක් බොහෝ කාලයක් සසරේ සැරිසැරීමට සිදු වෙයි.

එම කාලය තුළ නිර්වාණගාමී ප්‍රතිපදාව සිදු කර ගෙන යාමට ආධාරවන්නා වූ වටපිටාවක් සැකසී තිබීම ඉතා ප්‍රයෝජනවත් ය. ඒ සඳහා අවශ්‍ය කුසල ශක්තිය ගොඩනඟා ගැනීම පිණිස කුසල ක්‍රියාවල නිරත විය යුතු ය.

බුද්ධ දේශනාවෙහි සඳහන් දස කුසල් අතරින් බෝධීන් වහන්සේ අරබයා සිදු කළ හැකි පුණ්‍යකර්මයන් ම සතරක් පවතී. එනම්, බෝධීන් වහන්සේගේ ගුණය සිහිපත් කිරීම හෙවත් අපචායන පුණ්‍යක්‍රියාව, බෝධි මළුව නිසි අයුරින් පිළියෙළ කිරීම හෙවත් වෛය්‍යාවච්ච කුසලය, රැස්කළ කුසල ශක්තිය අන් අයට අනුමෝදන් කිරීම සහ අන් අය බෝධීන් වහන්සේ වෙත සිදුකරන වතාවත් දැක සතුටුවීම හෙවත් පින් අනුමෝදන් වීමයි.

එබැවින්, බෝධීන් වහන්සේ යනු බෞද්ධ සැදැහැවතකුට නොමඳ කුසල රැස්කිරීමට ද උපකාර වන්නා වූ පූජනීය වස්තුවකි.

පිළිවෙත් ඉටුකිරීමට පෙර

පිළිවෙත් ඉටුකිරීමට පෙර සිතෙහි පවතින අකුසල සිතිවිලි යටපත් කර ගැනීම පිණිස, බෝධි මළුවෙහි ම හිඳ කෙටි වේලාවක් ආනාපානසතිය වැඩීමත්, බුද්ධානුස්සති, ධම්මානුස්සති හා සංඝානුස්සතිය වශයෙන් ත්‍රිවිධ රත්නයෙහි ගුණ සිහිපත් කර ගැනීමත් බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එසේ කිරීමට නොහැකි විටෙක දී අර්ථය මෙනෙහි කරමින් ත්‍රිවිධ රත්නයෙහි ගුණ ඇතුළත් පාඨ සජ්ඣායනය කළ හැකි ය.

මඳ වේලාවක් භාවනා කිරීමට හෝ ගාථා පාඨ සජ්ඣායනා කිරීමට හෝ නොහැකි අවස්ථාවක දී “තමන් දැන් සූදානම් වන්නේ අප ගෞතම බුදුරදුන්ට සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීමට උපකාර වූ බෝධීන් වහන්සේ වෙත පූජා සිදුකිරීමට ය” යනාදිය මෙනෙහි කර තම සිත ඒකාත්මික කර ගත යුතු ය. එසේ ම, වෘක්ෂයේ කඳ, අතු ආදියෙහි මනා පිහිටීම දෙස බලා “බෝධි වෘක්ෂයෙහි මෙම සියලු ලක්ෂණ බෝධි සත්ත්වයන් වහන්සේගේ බුද්ධත්වය පිණිස උපකාරි වූයේ නොවේදැයි සිතමින් සිතෙහි ශ්‍රද්ධාවක් උපදවා ගත යුතු ය.

එසේ සිත පිරිසිදු කර ගැනීම, සිදු කිරීමට බලාපොරොත්තු වන පිළිවෙත් කෙරෙහි ම සිත යොමු ව පවත්වා ගැනීමටත් පිළිවෙත් මඟින් ජනනය වන කුසල ශක්තිය ප්‍රබල කර ගැනීමටත් උපකාරි වේ.

ගුණ සිහිපත් කිරීම

බෝධි පූජාවෙහි ම අංගයක් ලෙස ගාථා, පිරිත් ආදිය සජ්ඣායනය කිරීමට පෙර හෝ සිරිත් ලෙස මල්, පහන් ආදිය තැන්පත් කිරීමට පෙර හෝ තමාගේ පූජෝපහාරයට ලක්වන බෝධීන් වහන්සේගේ ගුණය සිහිපත් කිරීම තුළින්, තමා කරන පුණ්‍යකර්මය මනා අවබෝධයකින් සිදු කළ හැකි ය. “සැබැවින් ම පූජෝපහාර ලැබිය යුතු වස්තුවක් පුදන්නෙමි” යන හැඟීම ඇතිවන්නේ ය. එසේ ම එය කුසලයක් ද වන්නේ ය. ගාථා සජ්ඣායනයෙන් හෝ පහත පරිදි සිතීමෙන් හෝ බෝධියෙහි ගුණ සිහිපත් කළ හැකි ය.

“බෝසතාණන් වහන්සේ නමකට සම්බුද්ධත්වය පිණිස භාවනානුයෝගී ව වැඩසිටීම සඳහා වන සුදුසු පරිසරය සැපයීමට බෝධි වෘක්ෂය සමත් විය. බෝධි වෘක්ෂයෙහි ම කඳ ගොඩනැඟී ඇති ආකාරය, අතු විහිදී ඇති ආකාරය, සුළඟට සහ වැසිවලට ඔරොත්තු දෙන ස්වභාවය ආදියෙන් බෝධි මූලයෙහි වැඩසිටි බෝසතාණන් වහන්සේ අවු, වැසි ආදි පීඩා කෙරෙන් ආරක්ෂා විය. උන්වහන්සේට චිත්ත ඒකාග්‍රතාව ඇති කර ගැනීමට අවැසි වටපිටාව සකසාහ.”

බෝධින් වහන්සේට මල් පහන් පිදීම

පූජනීයභාවය සලකා බෝධීන් වහන්සේ වෙත වස්තු පිදීමෙන්, පුදන්නා හට මහත් වූ කුසලයක් සිදුවේ. එම වස්තු අතර බෝධීන් වහන්සේගේ පැවැත්මට උපකාර වන පැන් මෙන් ම, බෝධියෙහි අසිරිමත් බව නිසා පුදන්නා වූ මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස, ධජ ආදිය ද වේ.

බෝධියට වත්කිරීම පිණිස පැන් සූදානම් කර ගැනීමේ දී පැන් පෙරහන්කඩකින් පෙරා පවිත්‍ර කර ගැනීමත්, තුන් සූත්‍රය ආදියෙන් පිරිත් කිරීමත් සුදුසු යැයි සිතමු. ඔබ විසින් ජල කරාමයට පෙරහන්කඩ යොදනවිටත්, පෙරහන්කඩක් යෙදූ කරාමයකින් පූජාව පිණිස පැන් ගන්නා විටත් “පෙරහන්කඩකින් පෙරා ගැනීමෙන් මෙම පැන් තවදුරටත් පිරිසිදු වන්නේ ය.

බෝධීන් වහන්සේ වැනි පූජනීය වස්තුවක් එසේ වූ පිරිසිදු පැන් ලැබීමට සුදුසු වන්නේ ය” යනුවෙන් සිතන්න. පැන් වත්කිරීමේ දී “බොහෝ දෙනාගේ හිතසුව පිණිස තව බොහෝ කල් වැඩසිටීම පිණිස, මා විසින් පිරිත් කළ මෙම පැන් උපකාරයක් ම වේවා” යනුවෙන් සිතන්න. “පිරිත් කළ පැන්හි ආනුභාවයෙන් බෝධීන් වහන්සේට කිසිදු උපද්‍රවයක් සිදු නොවේවා” යි සිතන්න.

අනෙකුත් ද්‍රව්‍ය පූජා කිරීමේ දී ද බොහෝ අවබෝධයෙන් යුතු ව, “බෝධියෙහි ගුණයට ගෞරව දක්වන්නෙමි” යන සිතිවිල්ලෙන් යුතු ව පූජා කළ යුතු ය.

බෝධි මළුව පිළියෙල කිරීම

බෝධි මළුව වූ කලි බොහෝ සැදැහැවතුන් විසින් වන්දනාමාන කිරීම පිණිස රැඳී සිටින ස්ථානයකි. සිත එකඟ වන ස්ථානයකි. සිතෙහි ඇති ක්‍රෝධය, නො ඉවසිලිභාවය ආදී වූ නොයෙක් අකුසල ගිනි නිවාදමන ස්ථානයකි. සිතෙහි හටගත් පීඩා, දුක් දොම්නස් සමනය කරලන ස්ථානයකි. මෙවැනි පුද්ගලානුබද්ධ හේතූන්ට අමතර ව බෝධි මළුව යනු උතුම් වූ බෝධි වෘක්ෂයෙහි පැවැත්මට ආධාර වන මූලස්ථානයකි.

එබැවින් බෝ මළුව පිරිසිදු කර පිළිවෙළකට සැකසීම සියලු සැදැහැවතුන්ගේ සිත නිවීමට හේතු වන්නා සේ ම මහත් කුසලයක් ද වන්නේ ය. මූලික ව ම, බෝධි වෘක්ෂයෙහි මූල මණ්ඩලය අසලත්, බෝධි මළුවෙහිත් ඇති කොළ, අතු කැබැලි, කුඩා පැළෑටි ඉවත්කර ඉන්පසු ගොඩැලි නො සිටින සේ වැලි සකසා, වැලි එක් දිශාවකට යොමුවන සේ ඇමදිය හැකි ය. එමෙන් ම ඇමදීම් ආදි ක්‍රියා නිසා වන්දනාමාන කරන සැදැහැවතුන්ට පීඩාවක් නො කිරීමට ද කාරුණික විය යුතු ය.

බෝ මළුව පිළියෙළ කළ පසු, තමාගේ මහන්සියෙහි ප්‍රතිඵල ලෙස බෝ මළුව පිරිසිදු වී තිබෙන අයුරු, පිළිවෙළකට සැකසී තිබෙන අයුරු ආදිය දෙස මඳක් බලා සිට සිත පහදවා ගන්න. බෝ මළුව පිළිවෙළක් වී තිබෙන ආකාරය සිතෙහි සනිටුහන් කර ගන්න. නැවත නැවතත් එම මතකයන් සිහි නඟමින් තමා කළ කුසල පිළිබඳ ව ධාර්මික පී‍්‍රතියක් උපදවා ගැනීමට මෙය ඉවහල් වනු ඇත.

කුසල ශක්තිය අනුමෝදන් කිරීම

බෝධියෙහි ගුණ සිහිපත් කිරීමෙනුත්, වස්තු පුදා බෝධියෙහි ගුණයට උපහාර දැක්වීම තුළිනුත් ජනිත කර ගත් කුසල ශක්තිය පින් කැමැත්තෙන් සිටින ඇතිතාක් සත්ත්වයන් වෙත අනුමෝදන් කළ හැකි ය. මෙහිදී වාක්‍ය කීමට වඩා, තමා වඩාත් උත්සාහවත් විය යුත්තේ පින් අනුමෝදන් වන්නා වූ සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස තම කුසල ශක්තිය වඩාත් ප්‍රබල කර ගැනීම සඳහා ය. ඉන් තමාට ද මහත් වූ කුසලයක් අත් වන්නේ ය. මියගිය තම ඥාතීන් සිහි කර ඔවුන්ට මගෙන් විය යුතු යුතුකම ඉටුකරමි යැයි සිතා මහත් ආදර ගෞරව සහිතව ම පූජා සිදු කළ යුතු ය.

අන් අය බෝධීන් වහන්සේ වෙත සිදුකරන වතාවත් දැක සතුටුවීම

තමා පමණක් නොව අන් අය බෝධීන් වහන්සේ උදෙසා සිදුකරන විවිධ වූ පූජෝපහාර දැකබලා ඊර්ෂ්‍යාවක් හෝ නො කැමැත්තක හෝ පහළ කර නො ගෙන, “බෝධීන් වහන්සේ වෙත උපහාරයක් වන්නේ ය” සිතා සතුටට පත්විය යුතු ය. වෙනත් අයකු බෝ මළුව ඇමද පිරිසිදු කරන විටෙක දී “තමාට කුසලයක් කර ගැනීමට තිබූ අවස්ථාව නැති ව ගියේ ය” යි සිතමින් කනගාටු නොවී, මළුව පිළිවෙළක් වී ඇති ආකාරය දෙස බලා සතුටු විය යුතු ය. අනෙක් අයගේ බෝධි පූජා පින්කම් සඳහා තමා විසින් ද මල්, තෙල්, පහන්තිර ආදී පූජා වස්තු ලබා දීමෙන් ඔවුන්ගේ එම පූජාව වඩාත් සාර්ථක කර ගැනීමට උපකාර විය යුතු ය.

මෙකල ඇතැම්හු බෝධි පූජා පින්කම් හාස්‍යයට ලක් කරති. පින්කම් නාමයෙන් අකුසලයක් හෝ අන් අයට පීඩාවක් හෝ සිදුනොවන්නේ නම්, අනෙකා කරන පින්කම් නිකරුණේ විවේචනය කිරීමත්, හාස්‍යයට ලක්කිරීමත් බෙහෙවින් ළාමක ක්‍රියා වේ. එසේ පින්කම් විවේචනය කරන්නවුන් තේරුම් ගත යුත්තේ, අනෙකා පින්කම්වල නිරත වෙමින් නිවන් මඟට යොමුවීමට උත්සාහවත් වෙත්දී, තමා ඒ කිසිත් නැති ව අනෙකා කරන දෙය විවේචනය කරමින් සිටීම ප්‍රමාදයට කාරණයක් බව යි.

හැකියාවක් ඇත්නම් පින්කම නිවැරැදි ව සිදු කිරීමට අවශ්‍ය උපදෙසක් දී නිශ්ශබ්ද වනු විනා ප්‍රසිද්ධියෙහි අනෙකාගේ පින්කම් විවේචනය කරන්නට යාමෙන් කිලුටක් වන්නේ අනෙකාට නොව තමාට ම ය. නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණවීම් මාත්‍රය ද හරිහැටි නැති තමා එවැනි ළාමක විනෝදයට වහල්වීම පිළිබඳ තමාට ම නිග්‍රහ කළ යුතු ය.

බෝධි පූජාව බෙහෙවින් අනුසස් ඇති පින්කමකි. අප ගෞතම බුදුරදහු ධරමාණ කාලයේදී ද ආනන්ද බෝධීන් වහන්සේ උදෙසා නොයෙක් පුද පූජා පවත්වා ඇත. මෙකල, බෝධි පූජා පින්කම් හාස්‍යයට ලක්වී ඇත්තේ එහි නිරත වන්නන්ගේ ඇතැම් ක්‍රියා කලාප හේතුවෙනි. සිරිත් විරිත් නොතකමින් මහත් ශබ්දයෙන් ගාථා කීම, අනෙක් සැදැහැවතුන්ට පිළිවෙත් කිරීම අවහිර වන ලෙස බෝමළුවල හිඳීම සහ පහන් දල්වා තබා තිබීම ආදිය නිසා අවසානයේ සමස්ත බෝධි පූජා පුණ්‍යකර්මය ම හාස්‍යයට ලක්ව ඇත. එබැවින්, බෝධි පූජා යනු අනවශ්‍ය වැඩක් යැයි පවසමින් ඇතැමෙක් මෙම උතුම් පුණ්‍යකර්මයෙන් ඈත් ව සිටීමට වුව ද පෙළඹෙති.

සක්විති රාජ්‍ය සම්පත්තිය ලැබීමට පවා උපනිශ්‍රය වන්නා වූ මෙම බෝධි පූජා පුණ්‍යකර්මය, දැන් ග්‍රාම්‍ය ක්‍රියාවක් ලෙස හැඳින්වීමට පටන්ගෙන ඇත.

ඇතැම්හු, බුද්ධ වචනය වරදවා තේරුම් ගෙන, ධර්මය ඇත්තේ පිළිපැදීමට මිස පූජා පවත්වමින් සිටීමට නොවේ යැයි කියති. ඔවුහු විද්‍යාත්මක කරුණු උගෙන “බෝධිය යනු ගසකි. ගසකට මල්, සුවඳ දුම් පුදන්නෝ විද්‍යාවක් නූගත් මෝඩයෝ යැයි කියමින් බෝධි පූජාමය පින්කම් ප්‍රතික්ෂේප කරති. මේ ආදි වූ නොයෙක් හේතු පදනම් කර ගෙන බෝධි පූජා පින්කම් නො වටිනා සේ සලකන්නවුන් එසේ කිරීමෙන් වැළකී, තම මෙලොව මෙන් ම පරලොව ජීවිතයෙහි සුවපත්භාවය පිණිස මෙම උතුම් කුසල කර්මයෙහි නිරත විය යුතු ය.

බෝධීන් වහන්සේ පූජාවට සුදුසු වන සේක

බෝධිය වෘක්ෂයක් බැවින් එය පූජා පැවැත්විය යුතු දැයි කුකුසක් ඇති අයකුට ලබා දිය හැකි හොඳ ම සාක්ෂිය නම්, බුදුරජාණන් වහන්සේ සිදුකළ බෝධි පූජාව යි.

බුද්ධත්වයට පත්වූ පසු තථාගතයන් වහන්සේ, “මේ ගසක් ය. ගසකට පූජාවලින් ප්‍රයෝජනයක් නැත” යි බෝධි මණ්ඩලයෙන් නික්ම ගිය සේක්ද?” බුද්ධත්වය පිණිස උපකාර වූ හෙයින් පැන් ටිකක්වත් ඉස යා යුතු යැයි සිතූ සේක ද? නැත. බුදුරජාණන් වහන්සේ එක් දිනක් මතු නොව දින සතක් මුළුල්ලෙහි ම තමන් වහන්සේට බුද්ධත්වය පිණිස උපකාර කළා වූ එම මහත් ශ්‍රීයක් ඇති ඇසතු වෘක්ෂය දෙස නොපියූ ඇසින් යුතු ව බලමින් ගෞරව දැක්වූ සේක. බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද්දේ නම්, බෝරජහු, මෙකල අප විසින් ද පිදීමට අත්‍යවශ්‍යයෙන් ම සුදුසු වන්නේ ය.

බෝධි සත්ත්වයන් වහන්සේ නමක බුද්ධත්වය පිණිස පිළිවෙත් පිරීමේ දී ඒ සඳහා අත්‍යවශ්‍යයෙන් ම උපකාර වන්නා වූ වස්තුවක් වනුයේ බෝධීන් වහන්සේ ය. එසේ වූ මහත් ගුණයක් ඇති හෙයින් ද බෝධීන් වහන්සේ පූජාවට සුදුසු වන්නේ ය. මෙම මහානුභාව සම්පන්න බෝධි වෘක්ෂයත්, බෝධි මණ්ඩලයෙහිත් ගුණය කාලිංග බෝධි ජාතකයෙහි මනා ව විස්තර කරනු ලැබේ. එහි උපුටා ගැනීමක් මෙසේ ය.

“කාලිංග නමැති සක්විති රජ තෙම ධර්මානුකූල වැ රාජ්‍යයානුශාසනා කරන්නේ මහානුභාව සම්පන්න ඇතා පිටින් ශ්‍රී මහා බෝධිය වෙත ගියේ ය. කාලිංග භාරද්වාජ නමැති පුරෝහිත බමුණා බිම විමසා බලා සක්විති වූ තාපස පුතකු වූ කලිඟු රජුට දොහොත් මුදුන් දී ගෙන මෙය පැවසීය. රජතුමනි, මේ බිම බුදුවරයන් වහන්සේ වර්ණනා කළහ. ඇතාගේ පිටෙන් බසින්නේ මැනැවි, මෙහි අප්‍රමාණ බුදුවරු බුදු බව ලබා බබළති. මේ බිමෙහි තණ හා වැල් දකුණු දෙසට නැමී කැරැකී සිටිති. මේ බිම පොළොවට අලංකාර (දෙන) තැනකි. මහරජ, අප විසින් මෙසේ අසන ලද ය. සයුර අවසන් කොට පවතින සව් සතුන් දරා සිටින මේ පොළොවට මෙ තැන අලංකාරයකි. මහරජ, ඇතු පිටින් බැසැ නමදිනු මැනැවි.”

බුදුරජාණන් වහන්සේ සිදුකළ අනිමිසලෝචන පූජාව තුළින් බෝධි වෘක්ෂයට යම් හෝ ප්‍රයෝජනයක් නො ලැබිණි. එය උන්වහන්සේ විසින් බෝධියෙහි ගුණය උදෙසා සිදුකළ ගුණ පූජාවක් ම විය. එබැවින්, ගුණය සලකා යමකු සැදැහැයෙන් පුදනු ලබන දෑ පිළිගැනීමට බෝධීන් වහන්සේ සුදුසු වන්නේ ය. බෝධීන් වහන්සේ උදෙසා ගිලන්පස, ආහාර ආදිය පූජා කිරීම විවේචනය කරන්නවුන් තේරුම් ගත යුත්තේ බෝධි පූජාව යනු මූලිකව ම ගුණ පූජාවක් බැවින් එවැනි දෑ පූජාකිරීම ග්‍රාම්‍ය ක්‍රියාවක් නො වන බව යි. එය එකිනෙකාගේ අදහස් හා විශ්වාසය පරිද්දෙනි.

සැදැහැවතුන්ගේ සිතෙහි සන්සිඳීමක් ඇතිකරන බැවිනුත්, බොහෝ දෙනාගේ වන්දනාමානයට පාත්‍රවන බැවිනුත්, බෝධීන් වහන්සේ පිදීමට හා වතාවත් කිරීමට සුදුසු වන්නේ ය.

බෝධීන් වහන්සේ වෙත භක්තියෙන් හා අවබෝධයෙන් යුතු ව පිළිවෙත් ඉටුකිරීමත්, පූජෝපහාර දැක්වීම තුළිනුත් ජනිත කර ගත් කුසල බලය නොයෙක් සැප සම්පත් ලැබීමටත්, නිර්වාණගාමි ප්‍රතිපදාවෙහි සාර්ථකත්වයට හේතු වූ ආකාරය පිළිබඳවත් කතා ප්‍රවෘත්ති ත්‍රිපිටකයෙහි සඳහන් වන බැවින්, ඔබ ඒවා කියවා බලා බෝධිය පිදීමෙහි විපුල අනුසස් පවතින බව සැක හැර දැන ගත යුතු ය. බෝධි පූජා පුණ්‍යකර්මය කිසිවිටෙක පහත් කොට නොසිතිය යුතු ය. “නිවන් දක්නා තෙක් අපට පිහිට පිණිස පවතින්නේ ය” යන ගෞරවය පෙරදැරි ව එම උතුම් වූ බෝධීන් වහන්සේ වෙත අප සැවොම විසින් කෘතගුණ දැක්විය යුතු වන්නේ ය.