Print this Article


දුක සේ විඳින කර්ම විපාක

දුක සේ විඳින කර්ම විපාක

“ඉධ පන මානව, ඒකච්චෝ ඉත්ථිවා පුරිසෝවා ඉස්සා මනකෝ හෝති, පරලාභ සත්කාර ගරුකාර මානන වන්දන පූජනාසු ඉස්සති උපදුස්සති ඉස්සං ඛන්දති, සෝ තේන කම්මේන කායස්ස භේදා පරම්මරණා ආපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති”

“මානවකය, මෙලොව ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ඊර්ෂ්‍යාවෙන් අන් අයගේ ලැබීම්, සැලකිලි, ගරු බුහුමන් හා වැඳුම් පිදුම් දැක ඒවාට ඊර්ෂ්‍යා කරයි නම්, ඔහු මරණයෙන් පසු නිරයෙහි උපදින්නේ ය.” යනු මෙහි කෙටි තේරුමයි. මේ දුර්ගුණය නිසා ප්‍රේතියක වූ කතක් පිළිබඳ පුවතක් සද්ධර්ම සාගරය නම් ග්‍රන්ථයෙහි දැක්වේ.

තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධා සිත් ඇති එක් කෙළෙඹි පුත්‍රයෙක් සැවැත්නුවර වාසය කළේ ය. ඔහුගේ බිරිඳ සැදැහැ සිත් නැත්තී ය. ක්‍රෝධ සිතෙන් දැවෙන්නී ය. තුනුරුවන් කෙරෙහි කිසිදු පැහැදීමක් නැති තැනැත්තියකි. වඳ ස්ත්‍රියක් වූ ඇය නමින් මිත්තා ය. තම පරම්පරාව හා වස්තුව ගැන සිතූ තරුණයා වෙනත් විවාහයක් කර ගත්තේ ය. ඇගේ නම තිස්සා ය. දස මසකට පසුව දරුවකු ලැබූ ඇය ගෙදර කටයුතු භාර තැනැත්තිය බවට පත් වූවා ය. මේ නිසා මිත්තා තිස්සාට ඊර්ෂ්‍යා කරන්නට විය.

දිනක් මේ බිරින්දෑවරු දෙදෙනා නා පිරිසුදු වී සිටි අතර, ඔවුන්ගේ ස්වාමියා දරුවන් ඇති බිරිඳ සමඟ ආදරයෙන් සිනාසෙමින්, කතා කරමින් සිටිනු දුටු ස්ත්‍රිය ඊර්ෂ්‍යාවෙන් දැවෙමින් අධික කෝපයෙන් අතුගා එකතු කර තිබු කසළ ගොඩක් නිස්සාගේ හිස මත හැලීය. කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් කල් ගෙවූ එම කාන්තාව මිය ගොස් ප්‍රේතියක් වූවා ය. දිනක් මේ ප්‍රේතිය තිස්සාවට හමුවිය. එහිදී ඇය ප්‍රේතියගෙන් මෙසේ ඇසුවා ය.

නිර්වස්ත්‍ර ව, මස් ලේ වියළී කෘශ වූ, මතු වී ඇති නහර හා ඉලඇට ඇති, සම් නහර පමණක් තිබෙන අප්‍රසන්න ශරීරයක් ඇති ඔබ කවුද?

මා මේ ස්වාමියාගේ මුල් බිරිඳ වූ මිත්තා ය. මම පව්කොට ප්‍රේත ලෝකයෙහි ඉපදී දුක් විඳිමි’යි ප්‍රේතිය කීවා ය. ඔබ ප්‍රේතියක් වූයේ කවර අකුසලයක් නිසා ද? ප්‍රේතිය මෙසේ පිළිතුරු දුන්නා ය.

මම මිනිස් ලොව ඊර්ෂ්‍යා ඇති, ලෝභී කපටි ගැහැනියක් වීමි. සැර පරුෂ කතා කොට මෙලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි’යි කී ය. ඔබගේ ශරීරය පුරා කුණු කසළ පිරී ඇත්තේ කුමන පාප කර්මයක් නිසා ද? තිස්සා ඇසීය.

ඔබට මතකද අපි දෙදෙනා ස්නානය කර පිරිසුදු වී ආභරණ පැලඳ ගසක් යට හිටිය. දවස ඔබ ස්වාමියා අසලට ගොස් විනෝදයෙන් කතා කරමින් සිටියා. එය දුටු මට ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය අතිවී කුණු ගොඩක් ඔබගේ හිස මත හැලුවා. ඒ පාපයෙන් දැන් මගේ ශරීරය පස් තැවරුණු කුණු කසළින් පිරී තිබෙනවා.

ඔබ මා දුටු අවස්ථාවේ සිට නිතරම සිරුර කසමින් ඉන්නේ ඇයි දැයි තිස්සා ප්‍රේතියගෙන් ඇසීය. දිනක් මම කැලෑවෙන් කහඹිලියා කොළ හා ගෙඩි ගෙනවිත් ඔබ නොසිටි වේලාවක ඔබගේ ඇඳමත දැමීමි. ඒ පාපයෙන් අද මාගේ ශරීරය පුරා කුෂ්ඨ රෝගයක් සෑදී නිතර කසමින් දුක් විඳිමියි ප්‍රේතිය කීවා ය.

ඔබගේ ශරීරයේ කිසිම වස්ත්‍රයක් නැත. ඒ කුමන පාපයක් නිසා ද? දිනක් නෑයන්ගේ හා මිතුරන්ගේ සාදයක් තිබුණා ඔබට මතකද? මා තනි කර ඔබ ස්වාමියා සමඟ පිට වී ගියා. මා කෝපයෙන් ඔබගේ වස්ත්‍රයක් සොරකම් කළා. ඒ පාපයෙන් අද මම මෙසේ සිටිමි’යි ප්‍රේතිය කීවා ය.

එසේ තිබියදී ඔබගේ ශරීරයෙන් මහා දුර්ගන්ධයක්, අසූචි ගඳක් හමන්නේ ඇයි තිස්සා ප්‍රේතියගෙන් ඇසුවා ය. මම දවසක් ඔබ කෙරෙහි කෝපයෙන් හා ඊර්ෂ්‍යාවෙන් ඔබගේ ඇඟ ගල්වන සුවඳ විලවුන් හා සුවඳ සබන් වර්ග අසූචි වළකට දැම්මා. ඒ පාපයෙන් හැම මොහොතේ ම, මාගේ ශරීරයෙන් දුර්ගන්ධය පිටවෙනවා යැයි ප්‍රේතිය පිළිතුරු දුන්නා ය.

මා මනුෂ්‍ය ලෝකයෙහි සිටිය කාලයේ තිබූ වස්තුව, මිල මුදල් අප දෙදෙනාට ම සම සේ බෙදාදී තිබුණා. ඔබ ඒවා දනට පිනට යොදා පින් කළා. මම ලෝභී නිසා මගේ වස්තුවෙන් කිසිම දානයක් හෝ පිනක් හෝ කර ගැනීමට නොහැකි වූ නිසා අද ප්‍රේතියක් වී කෑමට යමක් නැතිව දුක් විඳිමි’යි ප්‍රේතිය කීවා ය.

ප්‍රේතියගේ කතාව අසා සිටි, කරුණාවන්ත ත්‍යාගශීලි උණුවන හදවතක් ඇති තිස්සා නම් වූ සත් පුරුෂ ස්ත්‍රිය, ඔබ ව දුකෙන් ගැලවීමට මා කුමක් කළ යුතුදැයි ප්‍රේතියගෙන් ඇසුවා ය. භික්ෂූන් වහන්සේට දානයක් පූජා කර මට පින් දෙන්නැ’ යි බැගෑපත් ව ඉල්ලා සිටියා ය. ඉල්ලීම ඉටුකළ තිස්සා, ප්‍රේතිය එම ආත්මයෙන් නිදහස් කරනු ලැබුවා ය.

යමෙක් ඊර්ෂ්‍යාවෙන් හා ක්‍රෝධයෙන් කටයුතු කරයි ද ඔහුට හෝ ඇයට හෝ අත්වන දරුණු ඉරණම මේ කතාවෙන් අපට සිතා ගත හැකි ය.