පඤ්චසතික පඨම
මහා සංගීතිය
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
බුත්තල
ඤාණාධාර හිමි
එකල රජගහ නුවර හැම ලෙසින් ම සමෘද්ධ ය. අජාසත් රජු ද ඉමහත් සැදැහැයෙන් ශාසනය කෙරෙහි
වියදම් කරයි. හොඳීන් සසුන ද රකියි. සෙනසුන් පහසුව ද තිබේ. එබැවින් රජගහ නුවර දී
සංගායනාව කළ මනා යැයි තීරණය කැර “සංගායනාවට පෙනී සිටින පන්සිය දෙනා වහන්සේ හැර සෙසු
වහන්දෑ රජගහ නුවර වස් නො විසුව මනා යැයි කර්ම වාක්‍යයෙන් සම්මත කළහ.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් දින හතක් ගත වූ තැන මහලු කල පැවිදි වැ ඒ පිරිස්හි ම වුසූ
“සුභද්‍ර” නම් මහණ තෙමේ අඩන වහන්දැ වෙත ගොස් මෙසේ වදාළහ.
“අලං ආවුසෝ මා සෝචිත්ථ මා පරිදේවිත්ථ සුමුත්තා මයං තේන මහා සමණේන, උපද්දුතා ව හෝම
ඉදං වෝ කප්පති ඉදං වෝ න කප්පතීති ඉදානි පන මයං යං ඉචිඡාස්සාම තං කරිස්සාම’ ඇවැත්නි
සිදු වූ දේ යහපති. ශෝක නොකරවු. විලාප නොකියවු. අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මිදුණෝ වෙමු.
මෙය තොපට කැප ය, ‘මෙය තොපට අකැප ය යි’ කියමින් හිරිහැර කරනු ලැබුවෝ වෙමු. මෙවක්
පටන් අපි යමක් කැමැත්තෝ වෙමු නම්, එය කරමු. යමක් නො කැමැත්තෝ වෙමු නම්, එය නො කරමු
යැයි කී ය. ඒ මහලු මහණා ගේ සැහැසි වදන් “මහකසුප්” මහ තෙරුන්ට ද ඇසිණ. එය සිතේ
තබාගෙන මහකසුප් මාහිමියෝ සපිරිවරින් ආදාහන ස්ථානයට වැඩම කොට තථාගත ශ්‍රී පාද යුග්මය
මස්තකයෙහි තබා වැන්දහ. ඉන්පසු සෑය ඉබේ ම ගිනි ඇවිල ගති. සුභද්ද ගේ සැහැසි වදන් ඇසූ
මොහොතේ සිට තථාගතයන් වහන්සේගේ ආදාහනයෙන් පසු ධර්ම සංගායනාවක් කිරීමට මහකසුප් මහ
රහතන් වහන්සේගේ සිත්හි තදින් බල පැවැතුණි. අනාගතයෙහි පාප භික්ෂූහු ශාස්තෘ කෙනකුන්
නැති ධර්මය යැයි, සිතා පක්ෂ භේදයට පැමිණ සද්ධර්මය විනාශ කරන්නාහ. ධර්ම විනය
රැකුණොත් තථාගතයන් වහන්සේ ජීවමාන වැ වැඩ සිටින්නාක් මෙන් බව ‘යෝ වො ආනන්ද මයා ධම්මො
ච විනයෝ ච දේසිතො පඤ්ඤත්තො සෝ වෝ මමච්චයේන තුම්හාකං සත්ථා’යි බුදු මුවින් ම ප්‍රකාශ
කොට ඇති හෙයින් පන්දහසක් කල් බුදු සසුන රැකෙන්නට නම් ධර්ම විනය රැක්ක මනා ය. එයට කළ
යුත්ත නම් ධර්ම සංගායනාවක් කිරීම යි සිතූහ. එසේ සිතා භික්ෂුන්ට සුභද්දගේ වචන දන්වා
“ඇවැත්නි මත්තෙහි අධර්මය බබළයි, ධර්මය පසු බසියි, අවිනය බබළයි, විනය පසු බසියි,
අධර්මවාදීහු බලවත් වෙති, ධර්මවාදීහු දුර්වල වෙති, අවිනයවාදීහු බලවත් වෙති,
විනයවාදීහු දුර්වල වෙති, ඊට පෙර ධර්ම සංගායනාවක් කළ මනාය යැයි මහකසුප් තෙරහු
ප්‍රකාශ කළහ.
භික්ෂූන් තේරීම
එඇසූ භික්ෂූහු සංගායනාවට සුදුසු භික්ෂූන් තෝරන ලෙස මහකසුප් තෙරුන්ට ම පැවරූහ. එදා
කුසිනාරාවට රැස් වූ සත් ලක්ෂයකට අධික භික්ෂූන් වහන්සේ අතරෙන් වැඩි මහලු වූ ඒ
මහකසුප් මාහිමියෝ ධර්මධර සිවුපිළිසැඹියාපත් රහතන් වහන්සේ 499 නමක් තෝරා ගත්හ. ආනන්ද
මාහිමියන් වහන්සේ උදෙසා එක් නමකට ඉඩ තබා ගත්හ. ඒ පන්සිය දෙනා වහන්සේ ම තථාගතයන්
වහන්සේ වෙතින් ධර්මය අසා ඉගෙනගත් උතුමෝ ය. ඒ බව
“සබ්බෙ පඤ්චසතා
ථෙරා නවඩ්ගං ජිනසාසනං
උග්ගහෙත්වාන ධාරෙසු
බුද්ධ සෙට්ඨස්ස සන්තිකෙ”
(දීපවංශ 4 පරි 15 ගාථාව)
ආනන්ද මාහිමියන් එතෙක් කල් රහත් නො වූ හෙයින් ‘නොරහතන් තේරුවේ ය යි පුහුදුන්
භික්ෂූන් දොස් පැවරිය හැකි ව තිබුණු නිසාත්, බුදුන් වහන්සේ සමඟ ගැවැසුණු ආනන්ද
මාහිමියන් සංගායනාවට පෙනී සිටිය යුතු ම නිසාත් භික්ෂූන් විසින් ම උන්වහන්සේ තෝරාගනු
පිණිස ඒ ඉඩ තැබූහ.
තැන තෝරා ගැනීම
එකල රජගහ නුවර හැම ලෙසින් ම සමෘද්ධ ය. අජාසත් රජු ද ඉමහත් සැදැහැයෙන් ශාසනය කෙරෙහි
වියදම් කරයි. හොඳීන් සසුන ද රකියි. සෙනසුන් පහසුව ද තිබේ. එබැවින් රජගහ නුවර දී
සංගායනාව කළ මනා යැයි තීරණය කැර “සංගායනාවට පෙනී සිටින පන්සිය දෙනා වහන්සේ හැර සෙසු
වහන්දෑ රජගහ නුවර වස් නො විසුව මනා යැයි කර්ම වාක්‍යයෙන් සම්මත කළහ.
ඉන්පසු වෙසක් පසු වී අඩ මසක් ගියවිට මහකසුප් මාහිමියෝ භික්ෂූන් අඩක් ගෙන රජගහ නුවර
බලා ඒක මඟකින් නික්මුණහ. අනුරුද්ධ මාහිමියෝ ද අඩක් ගෙන රජගහ නුවර බලා අන් මඟකින්
නික්මුණහ. අනඳ මාහිමියෝ වූ කලි තථාගතයන් වහන්සේගේ පා සිවුරු ගෙන භික්ෂූන් පිරිවරන
ලදුව සැවැත් නුවරට ගොස් රජගහ නුවරට යනු කැමැත්තෙන් පිටත් වූහ. උන්වහන්සේ දුටු දුටු
තැනේ දී සැදැහැවත්හු ‘භන්තෙ ආනන්ද කුහිං සත්ථාරං ඨපෙත්වා ආගතොසි’
‘ස්වාමීනි ආනන්ද මාහිමියන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කොහි තබා සඟවා ආවාහු දැ යි
විලාප බස් දොඩමින් ඇසූහ. අනඳ මාහිමියෝ ඒ හැමට ම අනිත්‍යතාව පවසා ඒ හැම සනසමින්
සැවැත් නුවර ජේතවනාරාමයට පිවිස ගදකිළියත්, බඩුත් ශුද්ධකොට බුදුන් දිවමන් කල්හි කළ
හැම වතාවතක් ම කොට වස් විසීම ළං වූ විට රජගහ නුවරට වැඩි සේක.
එකල රජගහ නුවර අටළොස් මහා විහාරයෙක් විය. බුද්ධ පරිනිර්වාණය අසා එහි විසූ භික්ෂූහු
කුසිනාරාවට ගියහ. එහෙයින් ඒ තැන් කසළින් පිරිණ. ස්ථවිර භික්ෂූහු ඛණ්ඩ ථුල්ල පටි
සංඛරණය ගැන වදාළ වචනයට ගරු කිරීමක් වශයෙන් ද තථාගතයන් වහන්සේ පිරිනිවී විගස ම
පන්සල් හිස්වී යැයි තීර්‍ථකයන් නඟන චෝදනාවෙන් මිදෙනු පිණිස ද වස් කාලයෙන් මුල් මස
විහාර ප්‍රතිසංස්කරණය කොට නිකිණි මාසයෙහි ධර්ම සංගායනාව කිරීමටත් ඉටා පළමු කොට
අජාසත් රජුගෙන් ඛණ්ඩථුල්ල පටිස‘ඛරණය පිණිස උදව් ඉල්ලූහ. රජු ඊට පිරිසත්, උපකරණත්
දුන්නේ ය. පළමු මාසයෙහි එය නිමි කල්හි “මහ රජ විහාර ප්‍රතිසංස්කරණය අවසාන ය. දැන්
ධර්ම විනය සංගායනාවට සුදුසු කළැයි දැනවූහ.
එවිට රජ තෙමේ, “ස්වාමීනි, ඒ සඳහා මා කළ යුත්තේ කුමක් ද? වදාළ මැනැවැයි කී ය.
සංගායනාව පිණිස වේහාර පර්වතයාගේ සප්තපර්ණි ගුහා ද්වාරයෙහි මණ්ඩපයක් කරවා දිය යුතු
බව රජුට මහා සංඝයා වහන්සේ දැන්වූහ. රජු සප්තපර්ණි ගුහාද්වාරයෙහි නන් විසිතුරු
ලෙසින් සැරසූ දෙව් විමනක් වැනි මණ්ඩපයක් කරවා අනගි බුමුතුරුණු අතුරුවා උතුරු දිගට
මුහුණ ලා ථෙරාසනයක් ද, පෙර දිගට මුහුණලා ධර්මාසනයක් ද පණවා ධර්මාසනයෙහි දළමුවා
විජිනි පතක් තබා අවුත් මහාසංඝයාට දැන්නුවේ ය. භික්ෂූහු හෙට රැස්වෙමු යි කතිකා කරැ
ගත්හ. නො රහත්ව සංගායනාවට පැමිණීම නුසුදුසු බව අනඳ මාහිමියන්ට කීහ. එයැසූ අනඳ
මාහිමියෝ නො පමාවැ කමටහන් වඩා සිවු ඉරියව්වෙන් එක ද ඉරියව්වකටවත් අයත් නොවී රහත්
වූහ.
සංගායනාව
දෙවැනි දා භික්ෂූහු පා සිවුරු සකසා තබා ධර්ම සභායෙහි රැස් වූහ. අනඳ මාහිමියෝ
භික්ෂූන් සමඟ නො පැමිණියහ. භික්ෂූහු අනඳ තෙරුන්ට ඉඩ තබා තම තමන් අයත් අසුන්හි
හිඳගත්හ. අනඳ තෙරහු සෘද්ධියෙන් පැමිණ තමන්ට ඉඩ තබා තිබුණු අස්නෙහි පහළ වූහ. ඉන්පසු
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ “ආයුෂ්මත්වරුනි, පළමුකොට කවරක් සංගායනා කරමු දැයි
පිළිවසි සේක. “භන්තෙ මහා කස්සප, විනයෝ නාම බුද්ධ සාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං
ඨිතං හෝති, තස්මා පඨමං විනයං සංගායාම”.
“මහා කාශ්‍යප මාහිමියන් වහන්ස, බුදු සස්නෙහි ආයුෂ නම් විනය යි. විනය පැවති කල්හි
සසුන පැවැත්තේ නම් වෙයි. එහෙයින්, පළමු කොට විනය සංගායනා කරමු යි අනෙක් මහ රහතන්
වහන්සේ පිළිතුරු දුන්හ. කවරකු මුල් කර ගෙන විනය සංගායනා කරමු දැයි මහාකසුප් මහා
තෙරුන් ඇසූයෙන් තථාගතයන් වහන්සේ ජීවමාන කල්හි විනය පිළිබඳ අග තනතුරු ලත් ‘උපාලි’ මහ
තෙරුන් මුල්කර ගනිමු යැයි භික්ෂූහු කීහ. මෙසේ විනය සංගායනාව සඳහා උපාලි තෙරුන්
තෝරාගත් පසු වැඩිමහලු තෙරුන් වැඳ අවසර ගෙන උපාලි තෙරහු ධර්මාසනයෙහි වැඩ හිඳ
විජිනිපත අතට ගත්හ. මහකසුප් තෙරහු ථෙරාසනයෙහි වැඩහුන්හ. ඉන්පසු මහා කාශ්‍යප මහ
රහතන් වහන්සේ ප්‍රශ්න ඇසූ සේක. උපාලි මහ රහතන් වහන්සේ විසඳූ සේක.
මහකසුප් තෙර:-
‘ඇවැත් උපාලිය, පළමු පරිජි
ඇවැත කොතැන්හි දී
පණවන ලද ද?’
උපාලි තෙර:- ‘ස්වාමීනි
වෛශාලියෙහි දී ය.’
මහකසුප් තෙර:-
‘කවරකු අරබයා ද?’
උපාලි තෙර:- ‘සුදින්න නම්
කලන්දක භික්ෂුව අරබයා ය.’
මහකසුප් තෙර:-
‘කවර වස්තුවෙක්හි ද?’
උපාලි තෙර:- ‘මෙවුන්දම්හි ය.’
මේ ආදී වශයෙන් මහකසුප් මහ රහතන් වහන්සේ ප්‍රථම පාරාජීකාව පිළිබඳ නිදාන, පුද්ගල,
වස්තු, ප්‍රඥප්ති, අනුප්‍රඥප්ති, ආපත්ති, අනාපත්ති ආදිය උපාලි මහ රහතන් වහන්සේගෙන්
ඇසූහ. උපාලි තෙරහු ඒ සියල්ල විසඳූහ. මෙසේ දෙවැනි පාරාජීකාව පිළිබඳවත්, සෙසු අන් හැම
සික පද පිළිබඳවත් පෙරැ සේ ම ප්‍රශ්න කළ සේක. උපාලි මහ රහතන් වහන්සේ ඒ හැම විසැඳූහ.
මුළු විනය පිටකයට අයත් සික පද ගැන පැන - විසඳුම් විසින් සාකච්ඡා කොට නිමි කල්හි
පරිජි ඇවැත් සතර පාරාජික ඛණ්ඩය යි ද, තෙළෙස් සඟ වෙසෙස් සංඝාදිසේස ඛණ්ඩය යි ද යනාදී
විසින් සකස් කොට, භික්ෂු භික්ෂුණී උභය විභංගය ද, ඛන්ධක පරිවාරයන් ද, විසැඳූ සේක.
මෙසේ විභංග - ඛන්ධක- පරිවාර යන තෙකොටසට නගා, එය ම පාරාජික පාලි - පාචිත්තිය පාලි -
මහාවග්ග පාලි - චුල්ලවග්ග පාලි - පරිවාර පාලි යී පොත් පසට බෙදා ඒ පන්සියයක් රහතන්
වහන්සේ මුළු විනය පිටකය ම නැඟු ලෙසින් ම ගණ සංජ්ඣායනා කළ සේක. ඉන්පසු උපාලි
මාහිමියෝ විජිනිපත තබා ධර්මාසනයෙන් බැස වැඩිමහලු වහන්දෑ වැඳ තමන්ට අයත් අසුන්හි
හිඳගත් සේක.
විනය සංගායනාව අවසන් කොට ධර්මය සංගායනා කිරීමට කාලය පැමිණියෙන් පෙරැ සේ ම සංඝ
සම්මතයෙන් ආනන්ද මාහිමියෝ ධර්‍මාසනාරූඪ වූහ.
මහකසුප් මහතෙර:- ‘ඇවැත්නි,
බ්‍රහ්මජාල සූත්‍රය කොතැන්හි දී
දේශනා කළ සේක් ද?’
ආනන්ද මහතෙර:- ‘හිමියෙනි,
රජගහ නුවරටත්, නාලන්දා
නුවරටත් අතරෙහි වූ අම්බලට්ඨික
නම් උයන්හි රාජාගාරයේ දී ය.’
මහකසුප් තෙර:- ‘කවරකු අරබයා ද?’
ආනන්ද මාහිමි:- ‘සුප්පිය
පරිබ්‍රාජකයා හා බ්‍රහ්මදත්ත
මානවකයා අරබයා.’
මේ අයුරින් බ්‍රහ්මජාල සූත්‍රය මුල්කොට ඇති හැම සූත්‍රයක් ම පිළිබඳ නිදාන පුද්ගලයන්
මහකසුප් මාහිමියෝ ඇසූහ. අනඳ මාහිමියෝ ඒ සියල්ල විසැඳූහ. මෙසේ බ්‍රහ්මජාල සූත්‍රය
මුල් කොට ඇති නිකාය පසට ඇතුළත් වන සියලු සූත්‍ර ධර්මයන් ම විචාරීම්, පිළිවිසීම්
අවසන්හි ඒ ඒ නිකායන්ට බෙදූ සේක. දීර්‍ඝ ප්‍රමාණ සූත්‍ර ධර්මයන් සූතිසක් සංග්‍රහ කළ
නිකාය ‘දීඝ නිකාය නමැ’යි ද, මධ්‍යම ප්‍රමාණ සූත්‍ර ධර්ම එකසිය දෙ පසක් පමණ සංග්‍රහ
කරන ලදුයේ “මජ්¼ක්‍ධිම නිකාය නමැ”යි ද දෙවතා සංයුත්තාදී වශයෙන් එකිනෙකට යෙදී පවත්නා
සූත්‍ර ධර්ම සත්දහස් සත්සිය සූසැටක් සංග්‍රහ කළ නිකාය “සංයුත්ත නිකාය නමැ”යි ද, එකේ
කොටස් ඒකක නිපාතය යි ද, දෙකේ කොටස් දුක නිපාතය යි ද, මෙසේ එක එක අංගයකින් වැඩි වැඩි
වූ නව දහස් පන්සිය සත් පසක් සත් ධර්මයන් සංග්‍රහ කළ නිකාය ‘අංගුත්තර නිකාය නමැයි‘ද
මේ සිවු නිකායට අයත් නො වෙන ඛුද්දකපාඨ - ධම්මපද - උදාන - ඉතිඋත්තික - සුත්තනිපාත -
විමානවත්ථු - පේතවත්ථු - ථේරගාථා - ථේරිගාථා - ජාතක - නිද්දේස - පටිසම්භිදා - අපදාන
- බුද්ධ - වංස - චරියාපිටක යන පසළොස ඛුද්දක නිකාය නමැ’යි ද සංග්‍රහ කොට හැම දෙනා
වහන්සේ ම ඒ සංග්‍රහ කළ ලෙසින් එක් ව සජ්ඣායනා කළ සේක.
මුළු බුද්ධ වචනය ම ධර්මය කියා හෝ පස්මහ සහිය කියා හෝ ගන්නා විට දීඝාදි සිව් නිකායට
ඇතුළත් නොවන ඛුද්දක පාඨාදි පසළොසක් විනය පිටකයත්, අභිධර්ම පිටකයත් යන සියල්ල ම
ඛුද්දක නිකායට ඇතුළත් කොට සලකා තිබේ.
ඨපෙත්වා චතුරොපතෙ නිකායෙ දීඝ ආදිකෙ ’තදඤ්ඤං බුද්ධ වවනං නිකායො ඛුද්දකො මතො’
දීඝ - මජ්ක්‍ධිම - සංයුත්ත - අංගුත්තර යන සිවු නිකාය හැර අන් සියලු බුදු වදන ම
ඛුද්දක නිකාය නමි. මේ අනුව මුළු බුද්ධ වචනය ම නිකාය පසකට ඇතුළත් කොට සැලැකූ බව
පෙනේ. එබැවින් අභිධර්මය ද මෙහිදී සංගායනා වූ බව සැලකිය හැකි ය.
අභිධර්ම සංගායනාව පිළිබඳ නොයෙක් මතභේද තිබේ. මෙහිදී අභිධර්ම සංගායනා නො කළ සේකැ යි
ඇතැම් කෙනෙක් කියත්. එය ප්‍රතිෂ්ඨා නැති කතාව කි. තව ද මෙහිලා නැඟිය යුතු තවත්
ප්‍රශ්නයෙකි. එනම් තථාගතයන් වහන්සේ අභිධර්මය දේශනා කළ සේක් දෙව්ලොව දී ය. එහි කිසි
භික්ෂු කෙනෙක් නො විසූහ. එබැවින් සංගායනා කිරීමට අභිධර්මය කෙසේ දැන සිටියෝ ද? යනු
යි.
‘යං දෙව දෙවො දෙවානං - දෙසෙත්‍වාන යතො පුන
ථෙරස්ස සාරිපුත්තස්ස -
සමාවික්‍ඛි විනායකො
අනොතත්‍ත දහෙ කත්‍වා -
උපට්ඨානං මහෙසිනො
භික්ඛුනං පයිරුදාහාසි -
ඉති භික්ඛුහි ධාරිතො’
(අත්ථසාලිනි.)
දෙවාති දෙව වූ බුදුරජාණන් වහන්සේ දෙවියන්ට දේශනා කොට පසුව අනවතප්ත විල්හි දී තමන්
වහන්සේට උපස්ථානයට, පවන් සැලීමට වැඩම කළ ශාරීපුත්‍ර මාහිමියන්ට සංක්ෂේපයෙන් (මාතෘකා
පමණක්) දේශනා කළ සේක. සැරියුත් මාහිමියන් වහන්සේ බුදුන් වහන්සේගෙන් අසාගත් පරිදි
භික්ෂූන් හට දෙසූහ. මේ ක්‍රමයෙන් භික්ෂූන් විසින් සිත්හි ලා දරා ගන්නා ලදී. ඉන්පසු
තෙවැනි ධර්ම සංගායනාව තෙක් ම ශාරිපුත්‍ර මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව
අභිධර්ම පිටකය දරාගෙන ආ බව සඳහන් වේ.
‘අයං අභිධම්මො නාම කස්ස වචන්ති? භගවතො වචනං අරහතො සම්මා සම්බුද්ධස්ස,
කෙනාහතොති? ආචරිය පරම්පරාය, අයං සාරිපුත්‍තත්‍ථරො භද්දජි සොභතො පියජාලි පියපාලො
පියදස්සි කොසියපුටත්‍තා සිග්ගවො සන්දෙහො මොග්ගලී පුත්‍තා සුදන්තො ධම්මියො දාසකො
සොනකො රෙවතොති’
(අත්ථසාලිනි 26.)
මේ අභිධර්මය කවරකු ගේ දේශනාවක් ද? බුදුන් වහන්සේගේ ය. කා විසින් ගෙනෙන ලද්දේ ද?
ආචාරිය පරපුරෙනි. මේ වනාහි ශාරිපුත්‍ර භද්‍රජි - සොභිත - පියජාලි - පියපාල -
පියදස්සි - කෝසියපුත්ත - සිග්ගව - සන්දේහ - මොග්ගලීපුත්ත - සුදත්ත - ධම්මිය - දාසක
- සෝනක - රේවත යන මේ ආදී උතුමන් විසින් තෙවැනි සංගීති කාලය තෙක් මුඛ පරම්පරාවෙන්
ගෙනෙන ලදී. ඉන්පසු මහින්දාදී මහ රහතන් වහන්සේ විසින් පරපුරෙන් පරපුරට ගෙනැවිත්
ග්‍රන්ථාරූඪ කරන ලදී.
කෙසේ හෝ වේවා ප්‍රථම සංගායනාවේ දී අභිධර්මය පිටක නාමයෙන් සංග්‍රහ නො කළ බව පෙනේ.
අභිධර්ම පිටකයෙහි ඇතුළත් වන ධම්මසංගණී - විභංග - ධාතුකථා - පුග්ගල - පඤ්ඤත්ති -
කතාවත්ථු - යමක - පට්ඨාන යන සප්ත ප්‍රකරණය මොග්ගලිපුත්තතිස්ස මාහිමියන් විසින්
තෙවැනි සංගායනාවේ දී තනන ලද බව ප්‍රසිද්ධ කරුණකි. ඒ අනුව සප්ත ප්‍රකරණය සම්පූර්ණ
වූයේ තෙවැනි සංගායනාවෙන් පසුව බව ස්ඵුට වේ. පොත් වශයෙන් අභිධර්ම පිටකය සම්පූර්ණ වීම
මෙසේ සිදු වීය යි සිතිය හැකි වෙතත් එය ප්‍රථම සංගායනාවේ දී සංගායනා නො කළ බවට කරුණු
නැත. මුළු බුද්ධ වචනය සඟිපසට බෙදීමේ දී අභිධර්මය ඛුද්දක නිකායට ඇතුළත් වීමත්,
සුත්තගෙයා දී නවාංගයෙහි දී ව්‍යාකරණ නම් අංගයට ඇතුළත් වීමත් යන මේ කරුණු ගැන වාද
නැත.
ප්‍රථම සංගායනාවේ දී පැන නැඟුණු ප්‍රශ්න කීපය අතරෙන් එකක් නම් කුදන් කුදසික ලද
අවලංගු කිරීම පිළිබඳ ප්‍රශ්නය යි. එය තථාගතයන් වහන්සේ විසින් ම “මගෙන් පසුව සංඝයා
කැමති නම් කුදන් කුදුසික ඉවත් කළ යුතු යැයි ප්‍රකාශ කරන ලදී. ඒ ගැන මේ සංගායනාවේ දී
බැසගත් තීරණය කුදන් කුදුසික වෙනස් නො කිරීමට යි.
බුදුරජාණන් වහන්සේ පිරිනිවි විගස ම ශ්‍රාවකයන් ශික්ෂා පද ඉවත් කරතැ යි අපවාද
පැමිණිය හැකි බැවින් “නො පැන වූ සික පදයක් පනවන්නටත්, පැන වූවක් වෙනස් කිරීමටත් නො
හැකි ය. පැන වූ සිකපදයන්හි හික්මිය යුතු ය.” යනු එහි දී ස්ථිර විය.
මෙසේ අජාසත් රජුගේ අනුග්‍රහයෙන් පන්සියයක් මහ රහතන් විසින් කළ ධර්ම සංගීතිය සත්
මසකින් නිම විය. මෙය පළමුව කළ හෙයින් “පඨම මහා සංගීති” යි ද පන්සිය නමක් කළ හෙයින්
“පඤ්චසතික” යි ද මහ තෙරවරුන් විසින් කළ හෙයින් “ථෙරිකා” යි ද ව්‍යවහාර කරනු ලබයි.
|