Print this Article


මල්වතු පාර්ශ්වයේ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමා වෙයි

මල්වතු පාර්ශ්වයේ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව සාර්ථකව නිමා වෙයි

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ මේ වර්ෂයේ උපසම්පදාව ලැබූ නවක උපසම්පදාලාභී භික්ෂු පුහුණු වැඩමුළුව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සානුනායකාදී ගරුතර කාරක මහා සංඝ සභාවේ අනුමැතිය හා ආශිර්වාදය පරිදි මල්වතු පාර්ශ්වීය බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ සංවිධායකත්වයෙන්, මල්වතු පාර්ශ්වීය සබරගමු පළාත් හා මාතර දිස්ත්‍රික් මහා සංඝ සභාවන්හි සම්බන්ධීකාරකත්වයෙන් පසුගිය ජූලි මස 14 වැනි අඟහරුවාදා දවස පුරා ද්වීශතාධික අභිනව උපසම්පදාලාභී ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් හොරණ ගෝනපොල ඓතිහාසික ඔලබොඩුව රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.

විහාරස්ථ සර්වඥ ධාතු මාලිගාවේ සම්බුද්ධ පූජා පවත්වා වතපිරිත් දේශනා කොට ආරම්භ වූ මෙම වැඩමුළුවෙහි දී භික්ෂු විනය, ආචාර ධර්ම, ආරාම කළමණාකරණය, ගිහිපැවිදි සබඳතා, උපෝසථ කර්ම ආදී තේමා රාශියක් යටතේ පවත්වන ලදි.

අමාවක පොහොය යෙදුණු මෙදින සන්ධ්‍යාවේ භික්ෂුන් වහන්සේ වෙත උපෝසථ කර්ම සිදු කිරීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දීම පිණිස ඔලබොඩුව රාජමහා විහාරස්ථ සීමාවේ දී උපෝසථ විනය කර්ම සිදු කරන ලදී. පොහොය සීමාව පිරී ඉතිරී යන තරම් මහ සඟරුවන සහභාගී වෙමින් සිදු කළ උපෝසථ විනය කර්මය නෙතට රසඳුනක් ම විය.

සන්ධ්‍යාවේ සමාප්ති සැසිය බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ සභාපති, අග්ගමහාපණ්ඩිත, ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ, ශ්‍රීපාදස්ථානාධිපති බෙංගමුවේ නාහිමි, බද්දේගම දුටුගැමුණු රාජමහා විහාරාධිපති වැලිවිටියේ සුමන නාහිමි යන මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර, දකුණු, සබරගමු තෙපළාතේ මල්වතු පාර්ශ්වීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 160 නමකගේ වැඩමවීමෙන් සිදු කරන ලදී බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි ඔලබොඩුවේ ධම්මික නාහිමිපාණන් වහන්සේ විසින් සම්පාදනය කරන ලදුව, මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාව මඟින් අනුමත කරන ලද විනය කර්ම අත්පොත බස්නාහිර පළාත් මහා සංඝ සභාවේ සංවිධායක අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ විසින් සභාවට හඳුන්වා දීමෙන් පසු එම කෘතිය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ අභිනව උපසම්පදාලාභී හිමිවරුන් වෙත පිරිනැමීම සිදු කෙරිණි.