Print this Article


මෙත් සිතක අසිරිය

මෙත් සිතක අසිරිය

මෛත්‍රිය නම් තමාටත්, අන් අයටත් හදවතින් ම පවත්වන මිත්‍රත්වයයි. තමා තමාට මිත්‍ර නම්, තමා විසින් තමන්ගේ ජීවිතයට හානියක්, කරදරයක් කරන්නේ නෑ. තමා අනුන්ට මිත්‍ර නම්, අනුන්ගේ ජීවිතයට කරදරයක් කරන්නේ නෑ. මේ නිසා තමාටත්, අනුන්ටත් යහපත සලසන මිත්‍රත්වයට මෛත්‍රිය කියා කියනවා.

මේ මෛත්‍රී සහගත බව අපට සිව් ඉරියව්වේ දී ම පුරුදු කරන්න පුළුවන්. ඒ වගේ ම ක්‍රියාවෙනුත්, වචනයෙනුත්, සිතිනුත් මෛත්‍රිය දියුණු කර ගන්න පුළුවන්. මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ තිදොරින් ම මෛත්‍රිය පුරුදු කර ගත යුතු අයුරු පෙන්වා දී තිබෙනවා. එදිනෙදා ජීවිතයේ දී එලෙසින් මෛත්‍රිය තුළ ජීවිතය පවත්වන ශ්‍රාවකයාට භාවනාවක් වශයෙන් දියුණුූ කරමින් මෛත්‍රී චිත්ත සමාධිය ඇති කර ගැනීමට අවස්ථාව උදා වෙනවා.

මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් මජ්ක්‍ධිම නිකායේ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් වෙනවා. එහි දී අනුරුද්ධ මහ රහතන් වහහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයට මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙක පිළිබඳ පැහැදිලි කර දී තිබෙනවා. ඒ තමයි, අප්පමාණ චේතෝ විමුක්තිය සහ මහග්ගත චේතෝ විමුක්තිය. අප්පමාණ චේතෝ විමුක්තිය කියන්නේ ප්‍රමාණ රහිත කොට දිශා වශයෙන් මෙත් සිත පැතිරවීමට යි. ඒ කියන්නේ දිශා වශයෙන් වෙන් කර ගෙන දස දිශාවට ම මෛත්‍රිය වැඩීමයි.

මහග්ගත චේතෝ විමුක්තිය කියන්නේ ටිකෙන් ටික මෛත්‍රිය වඩන ප්‍රදේශය පුළුල් කරමින් මෛත්‍රිය වැඩීමයි. ඒ කියන්නේ පළමුවෙන් ම තමන්ට මෛත්‍රිය වඩනවා. ඊළඟට ගමේ අයට, පළාතේ අයට, රටට, ලෝකයට වශයෙන් මෛත්‍රිය පතුරුවනවා.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක්‍රමයට මෛත්‍රී භාවනාව වඩන විට, පංච නීවරණ යටපත් වෙලා මෛත්‍රී අරමුණ තුළ ම සිත එකඟ වෙනවා. ඒ එකඟ වූ සිතින් යුතු ව තවදුරටත් මෛත්‍රි භාවනාව වඩන විට විතක්ක, විචාර සහිත නිරාමිස පී‍්‍රතිය, සැපය හා ඒකාග්‍රතාව ඇති පළමු වැනි ධ්‍යානය උපදිනවා. ඒ ශ්‍රාවකයාට පුළුවන් තවදුරටත් මෛත්‍රී භාවනාව දියුණු කර ඉතිරි ධ්‍යාන ලබන්න.

ඒ විදිහට ඇති කර ගන්න මෛත්‍රි ධ්‍යානය තුළ පිහිටා විදර්ශනා වැඩුවොත් අනාගාමී, අරහත් යන ඉහළ මාර්ග ඵල කරා ම ධර්ම මාර්ගය දියුණුූ කළ හැකි බව අට්ඨකනගර සූත්‍රයේ දී පෙන්වා දී තිබෙනවා. ඒ වගේ ම මෙත්තානිශංස සූත්‍රයේ දී මෛත්‍රි භාවනාව නිතර වඩන කෙනකුට ලැබෙන ආනිශංස ඉතාම පැහැදිලි ව පෙන්වා දී තිබෙනවා. මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා සැප සේ නිදා ගන්නවා. සැප සේ අවදි වෙනවා. නිදා සිටින විට නපුරු සිහින දකින්නේ නෑ. මිනිසුන්ට පි‍්‍රය වෙනවා. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙනවා. දෙවිවරුන් ඔහු ආරක්ෂා කරනවා. වස විස අවි ආයුධවලින් විපත් සිදුවන්නේ නෑ. සමාධිය ඉක්මනින් ම ඇති කර ගන්න පූළුවන්. ශරීර වර්ණය පැහැපත් වෙනවා. සිහි මුළා නොවී මරණයට පත් වෙනවා. මේ ජීවිතයේ දී ඉහළ මාර්ග ඵල අවබෝධයකට පත් වූයේ නැතිනම් බ්‍රහ්ම ලෝකයේ උපදිනවා.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මත්තේ සැප විපාක සලසන පින් අතර අග්‍ර වන්නේ මෛත්‍රී භාවනාවෙන් රැස් වන පින බවයි. එම නිසා මහත් වූ පින් රැස් වන, මහත්ඵල මහානිශංස ලබා දෙන මෛත්‍රි භාවනාව අපි කවුරුත් මෙලෙසින් පුරුදු කර ගනිමු.

මහග්ගත චේතෝ විමුක්තිය
මම වෛර නැත්තෙක් වෙම්වා,
තරහ නැත්තෙක් වෙම්වා
ඉරිසියා නැත්තෙක් වෙම්වා,
දුක් පීඩා නැත්තෙක් වෙම්වා
සුව සේ ජීවත් වෙම්වා
ශාන්ත සුවයට පත් වෙම්වා
මා මෙන් ම, මේ ගමේ සිටින
සියලු සත්ත්වයෝ.......
මා මෙන් ම මේ නගරයේ සිටින
සියලු සත්ත්වයෝ....,
මා මෙන් ම, මේ පළාතේ සිටින
සියලු සත්ත්වයෝ .....,
මා මෙන් ම මේ රටේ සිටින
සියලු සත්ත්වයෝ.....,
මා මෙන්ම මේ
සියලු සත්ත්වයෝ ම
වෛර නැත්තෝ වෙත්වා
තරහා නැත්තෝ වෙත්වා
ඉරිසියා නැත්තෝ වෙත්වා
දුක් පීඩා නැත්තෝ වෙත්වා
සුව සේ ජීවත් වෙත්වා
ශාන්ත සුවයට පත්වෙත්වා

අප්පමාණ චේතෝ විමුක්තිය

උතුරු දිශාවේ සිටින සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!

උතුරු අනු දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ
නැඟෙනහිර දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ....
නැඟෙනහිර අනු දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ......
දකුණු දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ.....
දකුණූ අනු දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ.......
බටහිර දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ.......
බටහිර අනු දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ........
උඩ දිශාවේ සිටින
සියලු සත්ත්වයෝ........

යට දිශාවේ සිටින සියලු සත්ත්වයෝ

වෛර නැත්තෝ වෙත්වා! තරහා නැත්තෝ වෙත්වා! ඉරිසියා නැත්තෝ වෙත්වා! දුක් පීඩා නැත්තෝ වෙත්වා! සුව සේ ජීවත් වෙත්වා! ශාන්ත සුවයට පත් වෙත්වා!