Print this Article


යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසයි උපදින්නේ

යළිත් වරක් තුන් ලෝකෙට දහම් ඇසයි උපදින්නේ

තමන් වහන්සේ අවබෝධ කළ පටිසෝතගාමී වූ, සියුම් වූ, ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ ලෝකෝත්තර දහම තෘෂ්ණා වසඟ වූ ලෝ සතුන්ට දේශනා කිරීමට උන්වහන්සේගේ සිත මන්දෝත්සාහී විය. එකල්හි සහම්පතී බ්‍රහ්මරාජ තෙමේ සිය සිතින් අප භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දුටුවේ ය.

බුද්ධ, ධම්ම, සංඝ යන උතුම් තෙරුවන මේ ලෝ තලයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එබඳු කාලයක දෙව් මිනිසුන් අතර උපදින වාසනාවන්ත සුළු පිරිසකට ඒ තෙරුවන් සරණ යෑමේ භාග්‍ය උදාවේ. ඒ උතුම් තිසරණයේ පිහිට සලසා ගත හැකි දුර්ලභ අවස්ථාවක් යළිත් ලෝකයට උදා වූයේ මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි වරට අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වීමෙනි.

පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම් පුරන අවසන් ආත්ම භාවය වූ වෙස්සන්තර ආත්ම භාවයේ දී මිහිකත හඬවමින්, මහ දන් දී සන්තුසිත නම් දිව්‍ය රාජ ව තුසිත දෙව්ලොව උපන්හ. සම්බුදු උපතට සුදුසු කාලය දකින මහා බ්‍රහ්මයා ප්‍රධාන සකල දෙවි බඹහු කෘතපුණ්‍ය ලක්ෂණයෙන් හෙබි බුද්ධාංකුර වූ සන්තුසිත දෙව්රජාණන් බැහැදක්නට තුසිත භවනයට වැඩියහ. ඔවුහු සාදර ගෞරවයෙන් සන්තුසිත දෙව්රජුහු හට ඇරයුම් කළහ.

“මහා වීරයාණෙනි, සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලයයි. මිනිස් ලොව මව්කුසෙහි පිළිසිඳ ගත මැනැව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා!

ඇරයුම පිළිගත් අප මහ බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය සහ මව් යන පස් මහා බැලුම් බැලූ සේක. පිළිසිඳ ගැනීම පිණිස සුදුසු බෝසත් මාතාව සොයන කල්හි පූරිත පාරමිතාවන්ගෙන් හෙබි පාරිශුද්ධ සිල් ඇති උතුම් ගුණයන්ගෙන් අනූන වූ සුදොවුන් මහරජුන්ගේ අග්‍ර මහේෂිකාව වූ මහාමායා නම් දේවිය දුටු සේක. අනේක ප්‍රකාර අද්භූත අසිරිය සිදුවෙමින් අපගේ මහ බෝසතාණෝ ඒ මව්කුස පිළිසිඳ ගත් සේක. ඒ ඇසළ පුන් පොහොය දවසකයි.

පාරමී ගුණයෙන් ශෝභමාන වූ අප මහ බෝසතාණන් වහන්සේ ධර්මාසනයකින් බස්නා ධර්මකථිකයකු සෙයින් මවට දුක් නූපදවා මනුලොවට වැඩියේ වෙසක් පොහෝ දවසකයි. සුදොවුන් නිරිඳු තම පුත් කුමරු ගිහි ගෙය අත්නොහරිනු පිණිස සියලු සැප සම්පත් සලසා දුන්නේ ය. එනමුත් දිනක් සරසන ලද අස් රියෙන් සිදුහත් කුමරු ඡන්න ඇමති සමඟ උයන් කෙළියට යමින් සිටියදී සතර පෙරනිමිති දැක ගිහිදිවිය කළකිරුණේ ය. යළි මැඳුර වෙත පැමිණි කුමාරයාට තමාට දාව යශෝධරාවගේ කුසින් සිඟිත්තෙන් උපන්නා යන කරුණ අසන්නට ලැබුණි. ඒ රාහුල කුමරු උපන් රාත්‍රියේ සිද්ධාර්ථ කුමරු නිවන් සුව සොයා මහාභිනිෂ්ක්‍රමණය කොට වදාළ සේක. ඒ පින්බර ඇසළ පොහෝ දිනයකයි.

සය වසරක් ගෙවී ගියේ ය. වෙසක් සඳ පෑයූ දිනෙක නේරංජාවේ ඇසතු රුක් සෙවණේ ගෞතම නමින් උන්වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වූ සේක. සාක්ෂාත් කළ ඒ අමා නිවනේ සැපය විඳිමින් කිරිපළු නුග රුක් සෙවණේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි තපස්සු - භල්ලුක නම් වෙළෙඳ දෙබෑයන් විළඳත්, මී පැණිත් පූජා කොට මෙසේ පැවසීය.

“ස්වාමීනි අපි භාග්‍යවතුන් වහන්සේ, ද ශ්‍රී සද්ධර්මය ද සරණ යන්නෙමු. ඔබ වහන්සේ අද පටන් අප ද උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා!

ඒ ගෞතම සම්බුදු සසුනේ ද්වේවාචික උපාසකයෝ ය. ඒ අනුව මේ වන විට තෙරුවන ම පහළ වී නො තිබිණි.

තමන් වහන්සේ අවබෝධ කළ පටිසෝතගාමී වූ, සියුම් වූ, ගම්භීර වූ, දැකීමට දුෂ්කර වූ ලෝකෝත්තර දහම තෘෂ්ණා වසඟ වූ ලෝ සතුන්ට දේශනා කිරීමට උන්වහන්සේගේ සිත මන්දෝත්සාහී විය. එකල්හි සහම්පතී බ්‍රහ්මරාජ තෙමේ සිය සිතින් අප භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දුටුවේ ය. ‘අහෝ! භවත්නි ඒකාන්තයෙන් ලෝවැස්සා නැසෙන්නාහු ය. යම් තැනක තථාගත වූ අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිත අල්ප උත්සාහයට නැමී පවතී ද, ධර්ම දේශනාවට නො නැමී පවතී ද එහෙයිනි’ සිතු සහම්පතී බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වී උතුරු සළුව ඒකාංශ කොට පොරවා බිම දණ නමා වන්දනා කරමින් මෙසේ ආයාචනා කළේ ය.

“භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා! සුගතයාණන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා! කෙලෙස් අඩු සත්ත්වයෝ ලොවෙහි සිටිත් ම ය. ඔවුහු ධර්මය නො ඇසීම හේතුවෙන් පිරිහී යති. ධර්මය ඇසීම හේතුවෙන් අවබෝධය කරා යති”.

මෙසේ සහම්පතී බඹහුගෙන් ලද ඇරයුමින් පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවට සුදුසු කවරහු දැයි විමසද්දී පළමුව ආලාරකාලාමත්, උද්දක රාමපුත්‍රත් සිහි විය. අවාසනාවෙකි! ඔවුන් මිය ගොස් ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේට පස්වග ශ්‍රමණවරුන් සිහිපත් විය. අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙළින් චාරිකාවෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයක ය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දී ම පස්වග ශ්‍රමණවරු උන්වහන්සේ ගැන නො සැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ්‍රවණයට සූදානම් වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැඟී ආ ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහි දී අමා බෙරය වැයූ සේක.

අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන් සේක. චතුරාර්ය සත්‍ය ධර්මය මැනැවින් හෙළි කළ සේක. සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් යුතු ව ආකාර දොළසකින් යුතු ව අවබෝධ කළ යුතු අයුරු පෙන්වා වදාළ සේක. ධර්ම චක්‍රය ඉතා සොඳුරු ලෙස කරකවා වදාළ සේක. එම දෙසුම අවසන් වන කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට දහම් ඇස පහළ විය. පොළොවවාසී දෙවියන්ගේ පටන් අකණිටා බඹලොව දක්වා දෙවියෝ මේ අයුරින් පී‍්‍රතිඝෝෂා කළහ.

මෙසේ දෙව් මිනිස් ලෝකයට සැපය පිණිස බුද්ධ රත්නයේත්, ධම්ම රත්නයේත්, සංඝ රත්නයේත් පහළ වීම සිදුවිය.

ඒ තෙරුවන හඳුනා ගත් ගිහිපැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන් ලක්ෂ ගණනින් බිහිවෙමින් ගෞතම බුදු සසුන ලොව පැතිරෙන්නට විය. සම්බුද්ධත්වයෙන් සත් වැනි වර්ෂයේ පුහුදුන් තීර්ථකයන්ගේ මානය බිඳහෙලනු පිණිස ගණ්ඩබ්බ රුක මුල දී අපගේ බුදුරජාණන් වහන්සේ තෙවැනි වරට ‘යමක මහා ප්‍රාතිහාර්යය’ සිදුකළ සේක. එය ද ඇසළ පුන් පොහෝ දිනක දී ම සිදුවූවකි. අනතුරුව අප බුදුරජාණෝ තුසිත දෙව්ලොවට වැඩම කොට එහි වස් එළැඹ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන තව්තිසා වැසි දෙවියන්ට “විජම්බණ’ වදාළේත් ඇසළ පොහොය දිනයේ ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අග්‍ර ධූතංගධාරී මහා කස්සප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප්‍රථම ධර්ම සංගායනාව සඳහා අජාසත් රජු ඇතුළු පිරිස කටයුතු සංවිධාන ආරම්භ කළේ ද ඇසළ පොහෝ දිනයකයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වසරක් ගත වෙද්දී ශ්‍රී ලංකා ද්වීපයට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම සිදුවිය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රධාන සංඝයා විසින් සම්මත කළ සීමාව තුළ “ප්‍රථම ඛණ්ඩ සීමාව“ සම්මත කිරීම ද ඇසළ පොහොයක සිදු විය. එසේම තුම්බුරු සීමා මාලකයේ දී අරිට්ඨ කුමරු ප්‍රධාන සිංහල කුමාරවරුන්ගේ පැවිදි උපසම්පදාව ද ඇසළ පොහොයක සිදුවිය. එමෙන් ම මිහින්තලාවේ කණ්ඨක චේතිය වටා දෙවනපෑතිස් රජු විසින් ඉදිකළ සැට අටක් වූ ලෙන් සංඝයා උදෙසා පූජා කිරීමත්, සංඝයා වහන්සේ ප්‍රථම වරට ලංකාවේ වස් එළැඹීමත් ඇසළ පොහොයකම සිදුවිය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 382 වසරකට පසු ලක්දිව රජ කළ දුටුගැමුණුූ මහා නරේන්ද්‍රයා විසින් රුවන්වැලි මහා සෑ රදුන් තැනීමේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය (මඟුල් ගඩොල් තැබීම) උත්සවශ්‍රීයෙන් සිදුකෙරුණේ ඇසළ පුන් පොහෝ දිනයකයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 847 ක් ගිය තැන කිත්සිරිමෙවන් රජ දවස කළිගු රටින් හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් වඩමවා ගෙන පැමිණි ශ්‍රී දළදා වහන්සේට උපහාර පිණිස කෙරෙන දළදා පෙරහර ආරම්භ වූයේත් ඇසළ පුන් පොහෝ දිනයකයි.