අපවත් වී වදාළ අත්තිඩියේ යසස්සි හාමුදුරුවෝ
ශාස්ත්‍රපති
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
සුදුසු ගුණයේ පිහිටා සිය ප්‍රතිරූපයට හානි නොකරගෙන සුපේශල ශික්ෂාකාමී පැවිදි
ජීවිතයක් ගතකළ නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම පිරිවෙන් විද්‍යායතනයේ විශ්‍රාමික
ජ්‍යෙෂ්ඨ ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය අත්තිඩියේ යසස්සි ලොකු හාමුදුරුවන්
වහන්සේ සිය පුණ්‍යවන්ත දිවි සැරිය නිම කළහ. කරන්නාගොඩ අරියවංශ නාහිමිපාණන් වහන්සේ
සහ උඩුගලකන්දේ ජිනාලංකාර ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වූහ.
නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන පිරිවෙනට ඇතුළත්ව එහි දීප්තිමත් ශිෂ්‍යයාණන්
වහන්සේ නමක් වූ උන් වහන්සේ එවකට ඉගෙනුම ලබමින් සිටි මහාචාර්ය සුනිල් ආරියරත්න,
මහාචාර්ය රෝලන්ඩ් අබේපාල වැනි වියතුන් සමඟ සඟරා සංස්කරණ ආදී භාෂා ශාස්ත්‍රීය
ශික්ෂණය ප්‍රගුණ කර ගත්හ.
පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1972 සිංහල ගෞරව ශාස්ත්‍රවේදී
උපාධිය විශිෂ්ට ලෙස සමත් වූහ. පසුව ශාස්ත්‍රපති උපාධිය, පශ්චාත් උපාධි අධ්‍යාපන
ඩිප්ලෝමා ඉතා ඉහළින් සමත් වූ උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1964 ස්‍යාමෝපාලි මහා
නිකායේ මහනුවර මල්වතු උපෝසථාගාරයේ දී ය. නුගේගොඩ ශ්‍රී සුභද්‍රාරාම විද්‍යායතන
පිරිවෙනේ කීර්තිමත් ආචාර්ය වහන්සේ කෙනෙක් ලෙස වසර තිහකට වැඩි කාලයක් සේවය කළහ.
සිංහල භාෂාවේ ගද්‍ය පද්‍ය නාට්‍යාදී සාහිත්‍යාංගවල විචිත්‍රතාව, විවිධත්වය,
සංකීර්ණභාවය සිසුන්ට අවබෝධ කර දීමට සුවිශේෂි දක්ෂතාවයක් උන්වහන්සේ සතු ව පැවතුණි.
යසස්සි හාමුදුරුවන් වහන්සේ උත්තම ගුරු පරපුරට අයත් වන පරමාදර්ශී ගුරු දේවයාණන්
වහන්සේ නමකි. මාදුලුවාවේ සෝභිත හිමි, තිඹිරිවැව සුමනසාර හිමි, ආචාර්ය හිරිපිටියේ
පඤ්ඤාකිත්ති හිමි, පන්නල සුමේධ හිමි, ඉත්ත දෙමලියේ වනරතන හිමි, මහාචාර්ය විලේගොඩ
අරියදේව හිමි, සේදවත්තේ පඤ්ඤාවංශ හිමි, දර්ශනශූරී සිරිතිලකසිරි කේ.සී පෙරේරා වැනි
සුප්‍රසිද්ධ විද්වතුන් එකල උන්වහන්සේ සමඟ එකම ගුරු මණ්ඩලයේ සේවය කරනු ලැබීය.
අනතිමානි ගුණයෙන්, අල්පේච්ඡ ජීවිතයක් ගත කළ අපගේ ගුරු දේව පණ්ඩිත හාමුදුරුවන්
වහන්සේ විශ්‍රාම යාමෙන් පසුව කරන්නාගොඩ ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයට වැඩම කොට එහි
විහාරාධිපතිත්වය උසුලමින් එම විහාරස්ථානය සලකවිධ විහාරාංගවලින් සමලංකෘත
විහාරස්ථානයක් බවට පත් කළහ. |