Print this Article


දැහැමි ජීවිතයටත් කරදර වැඩි ඇයි?

දැහැමි ජීවිතයටත් කරදර වැඩි ඇයි?

සමාජයෙහි එදිනෙදා කතාබහ තුළ නිතර අසන්නට ලැබෙන මැසිවිල්ලක් වනුයේ, “පිනක් දහමක් කරගෙන ඉන්න අපට ම තමයි කරදර වැඩි. නරකයි කියන වැඩ කරන මිනිස්සු හොඳින් ඉන්නවා. යන්නයි. පින්කම් සිදුකරමින්, අකුසලයෙන් ද වැළකී යහපත් දිවි පෙවෙතක් ගතකරන ඇතැමකුට බොහෝ කරදර පීඩා විඳින්නට සිදුවන බව අපට අසන්නට ලැබේ.

එසේ නම්, කුසල් කිරීම නවත්වා කා බී සිතු සේ ජීවත් වෙමුද? නැත. කුසල චිත්තයකින් සැමවිට ම, යහපත් විපාකයක් ද, අකුසල චිත්තයකින් සැමවිට ම, අයහපත් විපාකයක් ද ලැබෙන නමුත්, “පින්කමක් සිදු කළා” යන්නෙන් මෙතැන් පටන් ජීවිතයේ කරදර පීඩා අවසන් වේ යන්නක් ප්‍රකාශ නොවේ. එලෙස, කළ පින්කමකින් අප බලාපොරොත්තු වන ආකාරයේ කුසල ශක්තියක් ගොඩනැඟීම වළක්වන, අප එදිනෙදා සුලභ ව සිදුකරන වැරදි ක්‍රියාකලාප කිහිපයක් පහත විස්තර කරමු.

ප්‍රබල සිතිවිල්ලකින් තොරව කුසල් කිරීම

අප එදිනෙදා ජීවිතයේ දී සිදුකරනු ලබන ක්‍රියා රැසකට කුසල් හෝ අකුසල හෝ සිතිවිලි මූලික වේ. යම් ක්‍රියාවක් සිදුකිරීමේ දී බොහෝවිට එකම ආකාරයේ සිතිවිල්ලක් නොව කුසල හෝ අකුසල හෝ දෙවර්ගයට ම අයත් සිතිවිලි විවිධ ප්‍රබලතාවන්ගෙන් හටගනී. එහෙයින්, යම් ක්‍රියාවක සමස්ත ප්‍රතිවිපාකය තීරණය වනුයේ වඩාත් ප්‍රබල ව පැවති සිතිවිල්ලෙහි ස්වභාවය මත ය.

වර්තමානයේ බොහෝ දෙනා නොයෙක් ආකාරයේ පින්කම්හි නිරත වුව ද, ඒවා බොහෝමයක් හුදු ක්‍රියා බවට පත්කරගෙන තිබේ. මෙම පින්කම් බොහෝමයක් සිදුකරනුයේ විවිධ ලෞකික අභිමතාර්ථ ඉටු කර ගැනීම පිණිස මිස, ශ්‍රද්ධාව සහ ධර්මය පිළිබඳ නිවැරැදි වැටහීමකින් හෝ, සිදුකරන පින්කම හෝ කුසල ක්‍රියාව පිළිබඳ සිහිකල්පනාවකින් හෝ නොවේ. සමාජයේ ඇතැමෙක් තම උගත්කම්, පිරිස් බලය, ධනවත් බව, සංවිධාන ශක්තිය ආදි දෑ ලොවට මවාපෑම පිණිසත්, තවත් පිරිසක් කාලය ගෙවා දැමීම පිණිසත්, විනෝදාස්වාදය පිණිසත්, අනෙක් අය කරන නිසා තමාට ද ඒවාට හවුල් නොවී සිටීමට ඇති නොහැකියාව නිසාත්, පින්කම් යැයි නම් තබාගත් ක්‍රියාකාරකම් කරති. ඔවුනට ඒවා, තම ජීවිතයේ තවත් එක් ක්‍රියාවක් ම පමණි.

ගිහි ජීවිතයෙහි අනවශ්‍ය වැඩකටයුතු පටලවාගෙන පුහු කලබලකාරි දිවි පෙවෙතකට කැමැති ඇතැමෙක්, පින්කමක් කළ ද, ඉක්මනින් කටයුතු අවසන් කිරීමේ සිහියෙන් ක්‍රියා කරනු විනා, ශ්‍රද්ධාව පෙරදැරි ව කටයුතු නො කරති.

වර්තමාන සමාජයෙහි මෙවැනි කටයුතු ඉතා සුලභ වී ඇති අතර, බොහෝ දෙනා ද, මෙවැනි තත්ත්වයන් සාමාන්‍ය සම්මතයන් ලෙස සැලකීමට පුරුදු වී ඇති හෙයින්, ධර්ම දේශනාවක දී වුව ද ඉහත ක්‍රියා විවේචනය වුවහොත් එම ධර්මාවවාද කිසිලෙසකින්වත් සැලකිල්ලට නොගනිති.

ඉහත විස්තර කළ පරිදි කුසල ක්‍රියා පිළිබඳ පැහැදීමක් හා සැලකිල්ලක් නොමැතිව පින්කම්වල නිරත වන තැනැත්තන්ගේ සිතෙහි ප්‍රබල කුසල සිතිවිලි ජනිත නොවනවා සේ ම, බොහෝ අකුසල් සිතිවිලි ද ඒකරාශි වේ. පින්කම අවසානයේ ඔබ වැඩිපුර ම එක්රැස් කරගෙන තිබෙනුයේ අකුසල සිතිවිලි නම් හෝ ජනිත වූ කුසල සිතිවිලි මද නම්, බලාපොරොත්තු වන අන්දමේ යහපතක් කෙසේ ලැබේ ද? එවැනි විටෙක “මදැයි පින්කම් කළා” යනුවෙන් ධර්මයට නිග්‍රහ නොකොට “මම පින්කම් කරපු හැටි තමයි” කියා තමාගේ ක්‍රියාකලාපයට ම නිග්‍රහ කළ යුතු ය.

එහෙයින්, කුදු මහත් ඕනෑ ම පින්කමක් කිරීමේ දී, අතීත ගිහි පුණ්‍යවන්තයන් කළ පරිදි, තම සිත සන්සුන් කර, කරන ක්‍රියාවට ම සිත යොමු කරමින්, ඉතා ගෞරවයෙන් හා ශ්‍රද්ධාවෙන් යුක්ත ව ම සිදුකිරීමෙන් බොහෝ කුසල ශක්තියක් ඔබ වටා ගොඩනැඟේ.

නිසි අවබෝධයකින් තොරව කුසල් කිරීම

අප ගෞතම බුදුරදුන් ජීවමාන ව වැඩසිටි අවධියේ ජීවත් වූ ගිහි බොදු පිරිස්, ත්‍රිවිධ රත්නය මෙන් ම, පූජනීය වස්තූන් උදෙසා විවිධාකාරයේ පුද පූජාවන් සිදු කළේ, සිදුකරන ක්‍රියාවෙහි පරමාර්ථය පිළිබඳ මනා අවබෝධයකිනි. බුදුරජාණන් වහන්සේට තමා සතු කුදු මහත් දෑ පූජා කළ බොහෝ දෙනකු එසේ කළේ උන්වහන්සේගේ අප්‍රමාණ ගුණස්කන්ධය කෙරෙහි හටගත් පැහැදීම නිසා මිසක, බුද්ධ පූජාවකින් බොහෝ වස්තු සම්පත් කිසි වෙහෙසකින් තොර ව ලබා ගැනීමේ තණ්හාවකින් නොවේ.

බුදුරජාණන් වහන්සේ නමකට යමක් පූජා කිරීමෙන් මහත්ඵල මහානිසංස වූ ප්‍රතිඵල ලැබෙන බව වුව ද ඔවුන් වටහා ගත්තේ පූජාවෙන් පසු ය. එසේ දැනගත් පසු වුව ද, බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ මහත්වය පිළිබඳ අප්‍රමාණ ගෞරවයක් ඇති කර ගත්තා විනා, “වස්තු සම්පත් ලබා ගැනීමේ හොඳ මඟකැ”යි සිතා තමාට වැඩියෙන් ලැබිය යුතු වස්තුවක් දෙකක් ගෙනැවිත් පූජාකර ඒවා දෙගුණ තෙගුණ කර ලබා ගැනීමේ ළාමක අදහසක් ඔවුනට නො තිබිණි. පූජාව සිදුකර ඉතාම කෙටි කලෙකින් ම මහා වස්තු සම්භාරයක් ලැබීම, ඔවුන්ගේ සිතෙහි බුදුරජාණන් වහන්සේගේ මහා ගුණය තහවුරු කිරීමට පෙනීසිටි සාක්ෂ්‍යයක් ම පමණක් වූ අතර, ඔවුහු අවසානයේ බුදු හඬින් ම ධර්මය ශ්‍රවණය කර ධර්මාවබෝධය ලබා සසර බන්ධනයෙන් ගැලවීමේ මඟට පිළිපන්හ.

පිරිනිවියා වූ අප බුදු පියාණන් වහන්සේ කෙරෙහි කෘතගුණ දැක්වීමක් ලෙස නිවැරැදි ශ්‍රද්ධාවෙන් හා නිවැරැදි අවබෝධයෙන් යුක්ත ව විවිධ පූජෝපහාර කරන අය ඇතත්, ත්‍රිපිටකයෙහි සඳහන් කතාවක් දෙකක් කියවා, “කිසි මහන්සියකින් තොරව වස්තු සම්පත් ලබාගත හැකි ක්‍රමයකි” යි යන සිතිවිල්ල යටි සිතෙහි තබාගෙන, බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, බෝධි වැනි ගෞරවයෙන් පිදුම් ලැබිය යුතු පූජනීය වස්තු වෙත ගොස්, ඒවාට අගෞරවයක් වන සේ නොයෙක් දේ ගොඩගසන පිරිස් බිහිවෙමින් පවතී. එවැනි දෑ සිදුකරන බොහෝ දෙනකු යටි සිතින් බලාපොරොත්තු වනුයේ , තමා කියැවූ කතාවල සඳහන් පරිදි ඉතා කෙටි කාලයක දී බොහෝ වස්තු සම්පත් තමා වෙත ලබා ගැනීමටයි. අවබෝධයෙන් යුක්ත ව බුද්ධ පූජාවක් සිදුකරන අයකුට නම් බුදුරදුන් ජීවමාන කළ මෙන් නො වුණ ද, බොහෝ යහපත් ප්‍රතිවිපාක ලැබේ. එසේම, අප වෙනුවෙන් තම ජීවිතය ම පුදා පාරමී පිරූ සම්බුදු පියාණන් වහන්සේගේ එම ගුණ සිහිපත් කර යටහත් පහත් සිතින් යුතු ව සුළුවෙන් හෝ පූජෝපහාරයක් නොකරන්නේ නම්, එය බෙහෙවින් අකෘතඥ වීමකි.

නමුත්, අනවබෝධයෙන් යුක්ත ව විවිධ පූජා සිදුකරන අයට ලැබෙන යහපත් විපාක ප්‍රමාණය බොහෝ අඩුවන්නා සේ ම, ඔවුහු තමා ද මුළාවී, අන් අය ද මුළාවට පත්කර ධර්මයේ ද ගැටලු ඇති කරති. එවැනි ළාමක ක්‍රියා අපට නොගැළපේ.

එබැවින් යම් පින්කමක් සිදුකිරීමේ දී අන් අය කවර හේතුවක් නිසා සිදුකළ ද, ඔබ ඔබට වැටහෙන හේතුවක් පාදක කර ගනිමින් ම පින්කමෙහි නිරත වන්න. පින්කමක් සිදුකිරීමේ දී සෑමවිට ම ප්‍රතිග්‍රාහකයාට ඉන් සිදුවන යහපත පිළිබඳ සිතමින් සිදුකිරීමෙන් ඔබ නො දැනුවත්ව ම බොහෝ කුසල ශක්තියක් ඔබ වටා ඒකරාශි වනු ඇත.

පොතපතින් උපුටාගෙන පින්කම් කිරීම

ත්‍රිපිටකය හා ඒ ආශි‍්‍රත ධර්ම ග්‍රන්ථයන්හි ගිහි පුද්ගලයකුගේ ලෞකික හා ලෝකෝත්තර දියුණුවට අවශ්‍ය උපදේශ දක්වා ඇත. ධර්ම ග්‍රන්ථවල පිටපත් සුලභ ව ලද හැකි මෙකල ඇතැමෙක් එම ග්‍රන්ථවල ඇති කතා ප්‍රවෘත්ති කියවා, ඉන් ලබාදෙන පණිවිඩය තේරුම් නොගෙන, යහපත් විපාක ලද යමෙක් අතීතයේ පින්කමක් කළේ යම් සේ ද, තමා ද එම යහපත් විපාක ම බලාපොරොත්තුවෙන්, එම ක්‍රියාව එලෙසින් ම කරති.

අතීතයේ දෙව් මිනිසුන් සිදුකළ කුසලයනුත්, ලද යහපත් විපාකත් ධර්ම ග්‍රන්ථයන්හි දක්වා ඇත්තේ, ශ්‍රද්ධාවෙන් යුක්ත ව කුසලයන්හි නිරත වීමෙන් යහපත් විපාක ඒකාන්තයෙන් ම ලැබෙන බව දැක්වීමට සාක්ෂ්‍යයන් වශයෙනුත්, යහපත් විපාක ලැබීමට නිවැරැදි ශ්‍රද්ධාවෙහි අවශ්‍යතාව පෙන්වා දීමටත් මිස, එම කතා ප්‍රවෘත්තියෙහි සඳහන් තැනැත්තා ලද විපාක ලැබීමට ඔහු දුන් දෑ පූජා කළ යුතුයැ යි ප්‍රකාශ කිරීමට නොවේ.

අතීතයේ යම් තැනැත්තෙක් යම් මල් වර්ගයක් පූජා කර සුගතිගාමී වූයේ නම්, ඔබ ද එම මල් වර්ගය ම සොයාගෙන පූජා කළ පසු සුගතිගාමී වීමට සුදුසුකම් ලද්දේයැ’යි නොසිතිය යුතු ය. එම කතාවන්ගෙන් ගත යුතු පණිවිඩය නම්, ඕනෑ ම පින්කමක් සිදුකිරීමේ දී ශ්‍රද්ධාව ම මූලික කර ගත යුතු බවයි. පූජා කරන දෙය ඔබට පහසුවෙන් සපයාගත හැකි පරිද්දෙනි.

පොතපතෙහි සඳහන් දෙව් මිනිසුන්ගේ උතුම් ක්‍රියා පිළිබඳ විස්තර කියවා, තමා ද “මෙවැනි පින්කම් සිදුකර මෙලොව සහ පරලොව ජීවිතය යහපත් කර ගත යුතු යැයි උනන්දුවීම නම් යහපත් ය. නමුත්, එසේ පින්කමක් කිරීමේ දී, ඔබත් අන් අයත් වෙහෙසට පත් නොවන ආකාරයෙන් පූජා කිරීමට බලාපොරොත්තු වන දෑ සපයා ගත යුතු අතර, ප්‍රතිග්‍රාහකයන් ද ඔබගේ ක්‍රියා කලාපය නිසා වෙහෙසට පත් නොවිය යුතු ය.

කුසල ශක්තිය ගොඩනැඟෙනුයේ පූජා කරන වස්තුවේ යම් ගුණයක් නිසා නොව, එම වස්තුව ලැබීමෙන් ප්‍රතිග්‍රාහකයාට සිදුවන යහපත පිළිබඳ සිතීමෙනි. එබැවින්, පින්කමක් සිදුකිරීමේ දී අන්ධානුකරණයෙන් තොර ව, බොහෝ අවබෝධයකින් සිදුකිරීම වැදගත් ය.

ප්‍රතිවිපාක බලාපොරොත්තු වන ආකාරයෙහි ඇති දෝෂ

සුළු පින්කමකින් වුව ද බොහෝ යහපත් විපාක ලැබේයැ’යි මෙන්ම , අනෙකාගේ සුළු වූ ද, වැරැදි ක්‍රියාවක දී බරපතළ අයහපත් විපාක ලැබේයැ’යි ද බලාපොරොත්තුවක් ඇතිකර ගැනීම මිනිසාගේ සාමාන්‍ය ස්වභාවයකි. අප කැමැති ආකාරය එසේ වුව ද කර්මයෙහි සත්‍ය ක්‍රියාකාරිත්වයත්, කරන ලද කර්මවල විපාකත් නිවැරැදි ව දක්වන්නට හැකි වනුයේ ‘කර්ම විපාක ඤාණය’ දියුණු කරගත් උතුමන් වහන්සේ නමකට පමණි.

වඩාත් වැදගත් කරුණ වනුයේ, කුසලයක් සඳහා වන යහපත් විපාක මෙන් ම, අකුසලයක් සඳහා වන අයහපත් විපාක ද, අප බලාපොරොත්තු වන ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකින් අප වෙත ලැබිය හැකි බවයි. එසේම, ඇතැම් කුසලයන් මඟින් වන යහපත ඉටුකරවා දීම පිණිස සුළු අවාසිදායක සිදුවීමක් සිදුවිය හැකි ය. එහෙයින්, තමාට විඳීමට සිදුවන අයහපත් සිදුවීම් දෙස බලා “පින්කම් කිරීමෙන් ඵලක් නැත” යන නිගමනයට එළඹීමට ඉක්මන් නොවිය යුතු ය. ඔබ කළ කුසලයෙහි යහපත් විපාක ඔබ නොදැනුවත්ව ම ඔබට අවශ්‍ය වන මොහොතේ දී ම පිහිට වී තිබෙනු ඇත.

එසේම, ඕනෑ ම යහපත් ක්‍රියාවක් අවසානයේ දී සරල ප්‍රාර්ථනාවක් පමණක් සිදු කිරීමත්, කළ ප්‍රාර්ථනාව ඉටුවන තෙක් එය පිළිබඳ ම කල්පනා කරමින් නො සිට කර්ම ශක්තියෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ තේරුම් ගෙන, කාලයට ඉඩ දී කටයුතු කිරීමත් තුළින් ඔබගේ මනසෙහි ඇති අසහනකාරි ස්වභාවය ද අවම වී යනු ඇත.

කුසල් කරන්නාත්, අකුසල් කරන්නාත්, සිටින මානසිකත්වයෙහි වෙනස

පුරුද්දක් ලෙස කුසලයෙහි නිරත වන හා අකුසලයෙන් හැකි සෑම විටෙක ම වැළකී සිටින තැනැත්තා, ජීවන රටාව මඟින් ලද හැකි යහපත් විපාක පිළිබඳ නිතර ම බලාපොරොත්තු තබා ගෙන සිටී. නමුත්, බොහෝ කුසල කර්මවල යහපත් විපාක ලැබීමට යම් කාලයක් ගතවන අතර, අප බලාපොරොත්තු වූ ස්වරූපයට වඩා වෙනස් වූ ස්වරූපයකින් ද විපාක දීමට ඉඩ ඇත. මතුපිටින් තම ජීවිතය දෙස බලන ඔහුට සිතෙන්නේ තමා කළ කුසල ක්‍රියාවල ප්‍රමාණයට ම විපාක නො ලැබී ඇති බවයි. මෙසේ, යහපත් විපාක පිළිබඳ බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටින ගුණවත් තැනැත්තා, කළ කුසල ක්‍රියාවන්ගෙන් ඵලක් නොවූයේයැ’යි සිතමින් කලකිරෙයි.

‘කුසල් කිරීම බියසුල්ලන්ගේ ක්‍රියාවකි’ යි සිතන, පුරුද්දක් ලෙස අකුසල ක්‍රියාවල නිරත වන තැනැත්තා, තම ජීවන රටාව මඟින් විඳීමට සිදුවන අයහපත් විපාක පිළිබඳ ව බොහෝ සේ කල්පනා කරමින් සිටී. නමුත්, අකුසල කර්මවල ද අයහපත් විපාක ලැබීමට යම් කාලය ගතවන අතර එම කාලය තුළ දී තම සිතෙහි ඇති බිය නිසා ම බොහෝ ධනය වියදම් කර ආරක්ෂා වී සිටිමින්, නොයෙක් දෙවියන්ට කන්නලව් කරමින් සිටින ඔහු, අයහපතක් සිදුනොවන බව පෙනී ගියවිට සමාජයට පැමිණ “ඔය පවක් කළා කියලා නරකක් වෙන්නේ නෑ” යි උජාරුවෙන් මෙන් කියයි. මෙසේ, අකුසලයට ම යොමු වූ තැනැත්තා, තමා බොහෝ අකුසල් කළ ද, තමාගේ යම් සුවිශේෂත්වයක් නිසා නරක විපාකයන්ගෙන් බේරී සිටීමට හැකි වී තිබේයැ’යි මුළා වෙයි.

එහෙයින්, නිතර ම හොඳ බලාපොරොත්තුවෙන් සිටින කුසලයට යොමු වූවකු, තම ජීවිතයට පැමිණෙන සුළු අයහපතක් වුව ද, මහා කරදරයක් ලෙස දැකීමෙන් ‘කුසල කළත් කරදරවල අඩුවක් නැතැ’යි කියති. එසේම, නිතර ම විපතක් බලාපොරොත්තුවෙන් බියෙන් සිටින අකුසලයට යොමු වූවකු, අකුසල් විපාක විඳීමට පෙර කාලයෙහි අයහපතක් නො දකින නිසා ‘අකුසලයක් කළා ය කියා නරකක් වුණේ නැතැ”යි කියති. ඒ සියලු කියමන් ඉක්මන් තීරණ ගැනීම නිසා පවසන දෑ පමණි.

පින්කම්යැ’යි පින්කම් නො වන දෑ කිරීම

සත්‍ය පිළිගැනීමට මැලිවන මිනිසුන් බහුල මෙකල සත්‍ය පසෙකලා, එකිනෙකාට වුවමනා පරිදි පින් පව් සම්මත කර ගැනීමට යොමුව තිබේ. ඇතැම් බෞද්ධ පිරිස්, තම ජීවිතය ක්‍රමයෙන් නිවැරැදි ධර්ම මාර්ගයට යොමුකර ගැනීමට උත්සාහවත් නොවී, මනස කිසිදු ආකාරයකින් වෙහෙසීමකින් තොරව, කාලය ද ගෙවා දැමිය හැකි, “පින්කම්” යැයි නම් තැබූ ක්‍රියාවල නිරත වීමට බොහෝ සේ පි‍්‍රය වෙති. එවැනි දෑ සිදුකිරීම අයහපතකට හේතු නොවන නමුත්, බුද්ධෝත්පාද කාලය ක්‍රමයෙන් ඉක්ම යන මේ මොහොතේ අප ක්‍රියා කළ යුත්තේ එසේද?

බුදුරජාණන් වහන්සේ බෝධිසත්ත්ව කල, අසීමිත මෛත්‍රියෙන් ම, තම ජීවිතය ද රුදුරු සතුන්ට ඉරා කන්නට වුව ද දී පාරමී ධර්ම ප්‍රගුණ කර සත්‍ය ධර්මයක් ලොවට හෙළි කරනු ලැබුවේ මෙවැනි ළාමක ක්‍රියාවලට තවත් වහල් වෙමින් සිටීමට නොව, එවැනි ළාමක තත්ත්වයක සිට වුව ද ධර්මාවබෝධය ලබා, ළාමක ක්‍රියා ක්‍රමයෙන් අත්හරිමින් ගොස්, අවසානයේ නිවනින් සැනසීමට ය.

එහෙයින්, කල්ගත වුව ද, දැනට තමා සිදුකරන කුසල ක්‍රියා ක්‍රම ක්‍රමයෙන් උසස් ආධ්‍යාත්මික ක්‍රියාවන් දක්වා ගෙන එමින්, ලබා ගත් මෙම මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම පිණිස කළ යුතු දෑ අසා දැනගෙන, ඒවා ක්‍රියාත්මක කළ යුතු ය. එසේත් නැති ව, පින්කම් යැයි නම් තබාගත් කුමන හෝ නිෂ්ප්‍රයෝජන ක්‍රියා කිහිපයක් කර ‘කෝ අපි කරපු පින් විපාක’ යනුවෙන් ධර්මයට දොස් පැවරීම සිදු නොකළ යුතු ය.

ගැටලුව ඇත්තේ ඔබගේ ක්‍රියාකලාපයෙහි මිස ධර්මයෙහි නොවේ.

එබැවින්, අවබෝධයෙන් ම කුසල් කරන්න. අන් අයගේ කුසලයන්ට ද දායක වන්න. ඔබේ පින්කම්වලට අන් අයත් සහභාගි කරවා ගන්න. අකුසලයන්ගෙන් ද ඈත් වන්න. කුසල ක්‍රියාවල ධර්මයට අනුකූල බව වර්ධනය කර ගන්න. ඔබ වටා ඒකරාශි වූ යහපත් විපාක ඇත. ඔබට වුවමනා අවස්ථාවක දී ඒවා ඔබේ පිහිටට පැමිණ ඔබ ව ආරක්ෂා කර ගනු ඇත.