Print this Article


ඓතිහාසික ලංකාරාම වෙහෙර වහන්සේ

ඓතිහාසික ලංකාරාම වෙහෙර වහන්සේ

ඓතිහාසික ලංකාරාම ස්ථූපය පිහිටා ඇත්තේ උතුරු මැද පළාතේ අනුරාධපුර පූජා නගරයේය. එය අටමස්ථානයට අයත් පූජනීය ස්ථානයක් වන අතර, වළගම්බා රජු විසින් කරවන ලද්දකි.

අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටර 1.5ක පමණ දුරකින් පිහිටා ඇති මෙම ලංකාරාම ස්ථූපයට අනුරාධපුර නගරයේ සිට විනාඩි 10කින් පමණ ළඟා විය හැකි ය.

යුද වැදී පරාජය වූ වළගම්බා රජු පසුපස සොලීන් පන්නාගෙන පැමිණි බවත්, එම මොහොතේ රජු පැමිණි රථයට වේගයෙන් ගමන් කිරීමට හැකි වන සේ ඔහුගේ අග මෙහෙසිය වූ සෝමා දේවිය රථයෙන් බිමට පැන එම අවස්ථාව සලසා දුන් බවත්, එයින් වළගම්බා රජුගේ ජීවිතය බේරුණු බවත් ඉතිහාසයේ සඳහන් වේ. සෝමා දේවියගේ මේ ආත්ම පරිත්‍යාගයට ගෞරවයක් ලෙස වළගම්බා රජු සෑදූ සිහිවටනය මණිසෝමාරාමය හෙවත් ලංකාරාමය ලෙස හැඳීන්වේ.

අඩි 10ක් පමණ උස් පීඨිකාවක් මත ඉදිකර ඇති මෙම දාගැබ අඩි 44.2ක පමණ පාදමකින් යුතු ඝණ්ඨාකාර ස්ථූපයකි. සර්වඥ ධාතු සමඟ සෝමා දේවියට හිමි විශාල මාණික්‍යයක් ද නිධන් කර සෑදූ මේ ස්ථූපය මණිසෝමාරාමය යන නමින් හැඳීන්වූ බව මහාවංසය හා බෝධිවංස ගැටපදයේ සඳහන් වේ. ස්ථූපය මැදි කොට තනා තිබූ ථුපඝරයේ කුලුනු තවමත් මෙහි පවතී. ස්ථූපය වටා බුදු පිළිම තැන්පත් කර තිබූ බවට ද සාධක ඇත. ස්ථූප මළුවේ විෂ්කම්භය අඩි 132.2කි. එයට ඇතුළුවීමට දොරටු හතරකි. මුලදී පහත මළුවක් ද තිබී ඇති අතර, දැන් එය විනාශ වී ගොසිනි. මිට ශත වර්ෂයකට පෙර මෙම ථුපඝරය සහ ස්ථූපය පරීක්ෂා කර විස්තර කළ ස්මිතර් පවසා ඇත්තේ ථූපඝරයේ කුලුනු 88ක් තිබිය යුතු බවත්, එයින් 02ක් දක්නට නොලැබුණු බවත්, 51ක් ම කැඩී ගොස් තිබු බවත් ය.

අභයගිරියේ භික්ෂුණී ආරාමය වූ ලංකාරාමය ආරාම සංකීර්ණයක් ව පැවති බවත්, ගෝඨාභය රජු එහි පොහොය ගෙයක් ඉදිකර ප්‍රතිසංස්කරණය කළ බවත් ඉතිහාසයේ දැක්වේ. වර්තමානයේ පවතින්නේ පසු කාලයේ දී ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථූපය යි.

එස්. පරණවිතානයන්ගේ ‘ලංකාවේ ස්ථූපය’ සහ ටී. ජී. කුලතුංගයන්ගේ ‘අනුරාධපුර අටමස්ථාන’ යන කෘති ලංකාරාමය පිළිබඳ අධ්‍යයනය කිරීමේ දී ඉතා වැදගත් වේ.

පසු කාලීන ප්‍රතිසංස්කරණවල දී මූලික හැඩය අවලක්ෂණ ආකාරයෙන් ලංකාරාම දාගැබ අඩි 38ක විෂ්කම්භයකින් නිමවා ඇත. ශේෂ වී ඇති වටදාගෙය දරා සිටි ශෛලමය කුලුනු 34 මෙරටට ආවේණික විශේෂ නිර්මාණ කලාවක් විදහා දක්වයි.

අභයගිරි විහාරයේ සෑම සංඝාරාමයක ම ප්‍රාකාරයකින් වට කරන භූමියක මැද විශාල ප්‍රාසාදයක් සහ එය වටා හතර පැත්තේ කුඩා ප්‍රාසාද හතරක් දක්නට ලැබේ. පුරාවිද්‍යාඥයන් මෙය හැඳීන්වුයේ පංචායතන නමිනි. මැද ඇති විශාල ප්‍රාසාදයේ එම සංඝාරාමයේ උපාධ්‍යායන් වහන්සේ වාසය කළ බවටත්, බිම් මහලේ බුදු පිළිමයක් ද තැන්පත් කර තිබු බවටත් සාධක හමුව තිබේ. මෙම ගොඩනැගිල්ලේ දොරටුව සඳකඩපහණ, මුරගල්, කොරවක්ගල් යොදා තනා තිබේ.

දකුණු පැත්තේ ආගන්තුක භික්ෂුන් සඳහා තැනු ප්‍රාසාදවල නටබුන් සහ රැස්වීම් ශාලාවකි.

අභයගිරි ස්ථූපයට දකුණු පස විශාල චතුරශ්‍රාකාර ගොඩනැගිල්ලක නටබුන් ද වෙයි. එය දැනට සංරක්ෂණය කර තිබේ. එය වටා පවුරක් ද, සතර පැත්තෙන් දොරටු සතරක් ද, දකුණු පස පොකුණක් ද වෙයි. මෙහි ඊසාන පැත්තේ පවුරට යාබද ව බුදු පිළිම ගෙයක නටබුන් ය. මෙම ස්ථානයේ කැණිම්වලින් හුණුගල් බුදු පිළිමයක අත් දෙකේ කොටස් හමුව තිබේ. මේ ගොඩනැගිල්ල මුලදී ගඩොල්වලින් තනා තිබුණි. එහි අත්තිවාරම ගල් අත්තිවාරමට යට පිහිටා තිබේ.