Print this Article


අනන්ත ගුණ ඇති සඟරුවන සරණ යමි

අනන්ත ගුණ ඇති සඟරුවන සරණ යමි

ලොව විවිධ ආගමික දර්ශන අනුගමනය කරන පැවිදි පිරිස් අතරින් තථාගත ආඥාව පිළිගෙන ඒ අනුව කටයුතු පවත්වන්නා වූ මහා සංඝරත්නය, උන්වහන්සේගේ ප්‍රතිපත්තියෙහි ඍජු බව හේතුවෙන් ලොව උත්තරීතර වූ අනුගාමික පිරිසකි.

පෙරදිග ආගමික දර්ශන බොහෝමයක් පදනම් වී ඇත්තේ කාමයන්ගෙන් වියුක්ත වූ සිතීම් රටාවක් නිර්මාණය කිරීම සම්බන්ධව ය. මූලික පරමාර්ථය කාමයන්ගෙන් නිදහස්වීම වුව ද, ඒ සඳහා සිත මෙහෙයවිය යුතු ක්‍රමවේදය මුල සිට අග දක්වා නිවැරැදි ව අනාවරණය කර ගැනීමට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක හැර අන් ශාස්තෘවරු සමත් නොවෙති. එබැවින් කාමයන්ගෙන් වෙන්වීම පිණිස තථාගතයන් වහන්සේ විසින් පෙන්වා දෙන එම මාර්ගය අනුගමනය කරන්නා වූ සංඝයා වහන්සේගේ එම වීර්යය නිශ්ඵල නොවේ.

භික්ෂු වෙස් ගත් ප්‍රතිරූපකයන්ගේ විනය විරෝධි ක්‍රියාකලාප නිසාත්, පවිටු පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් මඩනා ලද සිත් ඇති ඇතැම් භික්ෂූන් වහන්සේගේ නොමනා ක්‍රියාකලාප නිසාත් “සංඝරත්නය” නම් වූ පූජනීය පිරිස වත්මන් සමාජයෙහි බුහුමන් නොලබන තත්ත්වයට පත්වෙමින් සිටිති. ඇතැම්හු “සංඝ රත්නය යනු මෙවන් වූ පිරිසක් දැයි සංඝයා වහන්සේ අවමානයට ලක් කරති.

අන් සියලු සාවද්‍ය වැටහීම් සේ ම, සංඝයා වහන්සේ පිළිබඳ වූ මෙවැනි නොමනා සිතැඟි ජනිත වීමට මූලකරණය නම් උන්වහන්සේගේ නිර්වාණගාමි ප්‍රතිපදාවෙහි උත්තරීතර ස්වභාවය නොහොත් ‘සඟ ගුණ’ පිළිබඳ කරුණු නොදැනීම ය.

සංඝයා වහන්සේගේ ප්‍රතිපදා පිළිබඳ කරුණු අවබෝධ කර ගැනීම සඳහා “සඟසරණ” නම් ලද රචනය පරිශීලනය ඉතා උචිත ය. ලක්දිව මහා පඬිවර විද්‍යා වක්‍රවර්තීන් විසින් මෙම ගද්‍ය කාව්‍ය සම්පාදනය කරනු ලැබ ඇත. සංඝ රත්නයෙහි ගුණ පොදුවේ වර්ණනා කරනු ලබන “ප්‍රාරම්භ කතා” පරිච්ඡේදයකින් ආරම්භය සපයන මෙම රචනයෙහි අතිරේක පරිච්ඡේදවලින් විස්තර කරනු ලබනුයේ සංඝයා වහන්සේ තම ජීවිත පැවැත්මට පැමිණි බාධක හමුවේ වුව ද නිර්වාණගාමි ප්‍රතිපදාව කඩ නොකොට පවත්වා ගැනීමට උත්සාහවත් වූ ආකාරය යි.

“ප්‍රාරම්භ කතා” පරිච්ඡේදයෙහි සංඝයා වහන්සේගේ ප්‍රතිපත්ති පිළිබඳ සංක්ෂේපයෙන් දක්වා ඇත්තේ මෙසේ ය.

“සිංහ තෙල් මත් කතක පාත්‍ර සෙයින්, ඒ සර්වඥ සිංහරාජයාගේ ‘සද්ධර්ම’ නැමැති සිංහ තෛලය නො නසා ධරණ සඟරුවන් සරණ යෙමි’යි සඟ සරණ යා යුතු.

නිධාන රක්නා ධන සර්පයන් සෙයින්, ඒ සර්වඥයන් වහන්සේ වදාළ සද්ධර්මය රක්නට ම නියැළී වසන්නා වූ සඟරුවන් සරණ යෙමි’යි සඟ සරණ යා යුතු.

රක්නට බැරි ඇතු පිරිමසා රැකෙන ඇත් ගොව්වන් සෙයින්, පුරන්නට නො පිළිවන් වූ පිළිවෙත් පුරා ම වැටෙන්නා වූ සඟරුවන් සරණ යෙමි යැයි සඟ සරණ යා යුතු.

ගුරුළු බියෙන් ගල් ගලැ පියා හොත් නාග රාජයන් සෙයින්, සසර බියෙන් ඒ මහත් දහම් පිළිවෙත් හි ගිලූ සඟරුවන් සරණ යෙමි’යි සඟ සරණ යා යුතු”

නවාකාර වූ සඟ ගුණ පිළිබඳ ප්‍රාරම්භ කතාවෙහි ඇතුළත් විස්තරයක් මෙසේ ය.

“මනා පිළිවෙත්හි පිළිපන්නා වූ, මුහුදට වන් මහ ගඟ පැන් පෙරළා ගඟට නොවදනා සේ, නිවන් වත් සැඳැ නිවන් පෙරළා සසරට නොවදනා පිළිවෙත්හි පිළිපන්නා වූ, සෙලින් හෙණ දිය සෙල අනුව යන බව මුත් පිළිලොමි ව නොයන්නා සේ, නිවනට අනුපිළිවෙත් පුරණ බව මුත් නිර්වාණයට ප්‍රතිපක්ෂ වූ ප්‍රතිපත්තියක් නුපුරන්නා වූ, උදයෙහි සිට අස්තයට අවක්‍ර වූ මඟින් යන හිරු සඳු දෙදෙනා සේ අවක්‍ර වූ පිළිවෙතින් නිවනට වදනා වූ, බුදු, පසේබුදු, මහරහතන්ගේ උත්තම වූ ප්‍රතිපත්තියෙහි පිළිපන්නා වූ, තිලෝගුරු බුදුරදුන් දරුවන් යන බසට සුදුසු වූ පිළිවෙත්හි පිළිපන්නා වූ, ස්වාක්ඛාත ධර්ම - විනය දෙක්හි වදාළ පරිද්දෙන් පිළිපන්නා වූ, කාමසුඛානුයෝගය, ආත්මක්ලමථුය යන දෙක හැර මධ්‍යම වූ ප්‍රතිපත්තියෙන් හුදු නිවන් සාධනය පිණිස පිළිපන්නා වූ, කයින්වත්, සිතින්වත්, බසින්වත් කිසි වක්‍රකමක් නැති පිළිවෙත්හි පිළිපන්නා වූ, සියක් යොදුනෙනුදු, දහසක් යොදුනෙනුදු තමා හුන් තැනට විඩාව අවුත් සත්කාර කටයුතු වූ, දෙව්ලෝ හැරපියා ද, බඹ ලෝ හැරපියා ද, තමන් හුන් තැනට අවුත් පූජා කටයුතු වූ, දුරින් ආවවුන්ට කළ මනා සත්කාර තමන්ට ම කටයුතුව සිටියා වූ.

තමන්ට දුන් දෙය මහත්ඵල, මහානිසංස කරන හෙයින් ඉහලොව, පරලොව සඳහා දෙන දන් පිළිගන්නට සුදුසු වූ, මිනිසුන් කෙරෙහි පටන්ගෙන සහම්පතී මහා බ්‍රහ්මයා දක්වා, හාරිත මහා බ්‍රහ්මයා දක්වා එකහෙළා මුදුනෙහි දොහොත් තබාගෙන වඳනට සුදුසු වූ, හැල් වපුරන හැල් කෙතක් සෙයින් සියලු සත්ත්වයා වපුරන්නා වූ ‘කුසල්’ නැමැති බිජුවට මහාඵල - මහානිසංස කරන්නා වූ, සාර වූ මහා කෙත් බඳු වූ, සෝවාන් මාර්ගයෙහි පිහිටි, සෝවාන් ඵලයෙහි පිහිටි, සකෘදාගාමි මාර්ගයෙහි පිහිටි, ‘සකෘදාගාමි ඵලයෙහි’ පිහිටි, අනාගාමී මාර්ගයෙහි පිහිටි, අනාගාමී ඵලයෙහි පිහිටි ‘රහත්මඟ පිහිටි’ රහත් ඵලයෙහි පිහිටි යන මේ අට දෙනා වහන්සේ මුත් මට අනෙක් සරණක් නැත. මට අනෙක් පිහිටෙක් නැත. මට අනෙක් සමයායයෙක් නැත. මට අනෙක් දිව්‍ය ඖෂධයෙක් නැත. මට අනෙක් මවු කෙනෙක් නැත. මට අනෙක් පිය කෙනෙක් නැත.

දෙව් මිනිස් ලෝ සුව පතන්නමුදු මොවුන් ම සරණ යෙමි. බඹලොව නිරාමිස සුව පතන්නමුදු මොවුන් ම සරණ යෙමි. රාග, ද්වේෂ, මෝහ නැමැති පාප ධර්මය නොවන්නා වූ අමාමහ නිවන්සුව පතන්නා නමුත් මොවුන් සරණ යෙමි.”

ත්‍රිවිධ රත්නය ලොව සැමදා පවතින්නක් නොවන අතර, නිර්වාණගාමි ප්‍රතිපත්ති පූරණය කරන සංඝ රත්නය පමණක් නොව, අනාගතයෙහි කවර දා හෝ ශ්‍රමණ වේශය ද ලොවෙන් තුරන් වේ. එබැවින්, ත්‍රිවිධ රත්නය ම ජීවමානව වැඩ සිටින මෙවැනි උතුම් කාලවකවානුවක මිනිසත් බව ලද අප නිරන්තරව සිහිපත් කළ යුතු කරුණක් සඟ සරණෙහි මෙසේ දැක්වේ.

“මාගේ අකුසලින් බුදුරුව දැකපිය නොහීන් නමුදු ඔවුන් වෙස ගත්තා වූ මේ සඟරුවන් මා ඇස පැනෙන්නේ මාගේ භාග්‍යයෙන. බුදුන් උපදනට පළමු උපදනාට නො ලැබෙන්නාහ. පස්වාදහසින් ඔබ්බෙහි නො ලැබෙන්නාහ. තුමු දුශ්ශීල ව නරකයට යෙත් නමුදු “මොහු බුදුන් දරුවෝ ය” යි යන සිතින් වැන්දවූවන්ට වූ කලි අමා මහ නිවන් නො වරදවා දෙන්නාහ.”

යම් භික්ෂුවකගේ දුසිල්වත්භාවය යනු එම භික්ෂුවගේ පෞද්ගලික ක්‍රියා කලාපයෙහි වරදක් මිස භික්ෂු ප්‍රතිපදාවෙහි දෝෂයක් නොවේ. පාපමිත්‍ර සේවනය, ප්‍රතිපත්ති පිරීමෙහි අපහසුතාව, ප්‍රත්‍ය පහසුකම් ප්‍රමාණවත් ලෙස නො ලැබීම, පෙර අකුසල කර්ම බලවත් වීම ආදී නොයෙක් හේතු ඉදිරිපත් වීමෙන් සිල්වත් භික්ෂුවකගේ වුව ද පැවිදි ප්‍රතිපදාව කෙරෙහි අනතුරු ඇතිවිය හැකි ය. එබැවින්, යම් භික්ෂුන් වහන්සේ නමක වෙතින් ශාසනික ප්‍රතිපත්ති කඩකිරීමක් සිදු වූ විටෙක එය ඉස්මතු කර දක්වමින් උතුම් වූ භික්ෂු ප්‍රතිපදාව නිග්‍රහයට ලක්කිරීම වූ කලි මහත් වූ පාපයකි.

එසේම, භික්ෂු ප්‍රතිපදාව නිග්‍රහයට ලක්කරමින්, ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කරමින් සමාජයෙහි අනෙක් පුද්ගලයන් ද කෝප ගැන්වීම සහ මුළා කිරීම බලවත් අකුසල කර්ම වේ. සංඝයා වහන්සේට ආක්‍රෝශ පරිභව කළ තැනැත්තන් මෛත්‍රී බුදුන් දකින්නට අභව්‍ය වන බව ද, අනාගත වංශ දේශනාවෙහි දී බුදුරජාණන් වහන්සේ අවධාරණය කරති.

භික්ෂුන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් පවා සිත පහදවා ගැනීමත්, උන්වහන්සේගේ ගුණ පිළිබඳ අවබෝධයෙන් යුතු ව සැදැහැ සිතින් නමස්කාර කිරීමත්, ගෞරවනීය පැවතුම් දැක්වීමත් බලවත් ඉපදවීමට සමත් වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ. එසේම, භික්ෂු සංඝයා කෙරෙහි සිත පහදවා වැඳීමෙන් දෙව්ලොව උපන් සැදැහැතියන් පිළිබඳ කතා ප්‍රවෘත්ති විමානවත්ථුවෙහි ද සඳහන් වේ.

සියලු දෙව් මිනිස් ප්‍රජාවට කුසල් දහම් රැස්කර ගැනීමට සුදුසු මෛත්‍රී සහගත පැවතුම් අනුගමනය කරමින්, තථාගත ශ්‍රී සද්ධර්මය සත්ජනයා වෙත දේශනා කරමින් ලොව සෙත සාදන්නා වූ මහා සංඝ රත්නයෙහි නිර්වාණගාමී ප්‍රතිපදාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇති කර ගැනීම ගිහි පැවිදි දෙපක්ෂයෙහි ම යහපත පිණිස මහෝපකාරී වේ.