Print this Article


විනය සම්බුද්ධ ශාසනයේ ජීවයයි

විනය සම්බුද්ධ ශාසනයේ ජීවයයි

ප්‍රථම ධර්ම සංගායනාව සඳහා රැස්වූ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු පන්සිය නම ශාසනයේ ආයුෂ හා විනය යැයි සලකා සංගායනාව සඳහා පළමු ව අවධානය යොමු කොට ඇත්තේ ධර්ම විනය ප්‍රථමයෙන් සංගායනා කිරීමට යි.

විනයධරයන් අතර උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ බැවින්, උන්වහන්සේ මුල් කොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විමසමින්, විනය කරුණු එක් රැස්කොට ගොනුකර, උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ ශිෂ්‍යානුශිෂ්‍ය පිරිසට මුඛ පරම්පරාවෙන් වන පොත් කර කටපාඩමින් භාණක ක්‍රමයෙන් ආරක්ෂා කිරීමට භාර කරන ලදී.

මේ ආකාරයෙන් විනය, සූත්‍ර, අභිධර්ම යන තුන් පිටක (ත්‍රිපිටකය) සංගායනා කළ බව, ශාසන ඉතිහාසයේ වාර්තා වෙයි. (සමන්තපාසාදිකාව) මෙම කරුණු අනුව සියලු බුද්ධ දේශනා මුල් බුදු සමයේ ධර්ම විනය වශයෙන් පැවැති බව වටහා ගත හැකි ය.

සීලය නිවන් මඟෙහි පදනම ය. සීලයෙහි පිහිටා, සිත දියුණු කර ගෙන, නුවණ වඩා, නිවන් අවබෝධ කර ගත යුතු බව, සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වෙයි. නිවන් අවබෝධයට සීලය අත්‍යවශ්‍ය පදනම යි.

එක් අවස්ථාවක බුදුරදුන් වෙත පැමිණි අවුරුදු එකසිය විස්සක් සම්පූර්ණ වූ වයසක දෙදෙනෙක්, තමන් ගැන කෙටි හැඳින්වීමක් කළහ. තමන් මේ කාලය තුළ කර ගත් යහපතක්, කුසලයක් නොමැති බවත්, එබඳු වූ තමන්ට දීර්ඝ කාලයක් හිතසුව පිණිස හේතුවන අවවාදයක්, උපදේශයක්, දහමක් දේශනා කරන ලෙස ඉල්ලීමක් කළහ. “එසේ නම් බ්‍රාහ්මණයෙනි, නුඹලා කය, වචනය, සිත සංවර කරගෙන ජීවත් වන්න. එය නුඹලාට බොහෝ කාලයක්, හිතසුව පිණිස හේතු වනු ඇතැයි” බුදුරජාණන් වහන්සේ වදාළහ.

තවත් අවස්ථාවක ඒ වයස ඇති වෙනත් දෙදෙනකු බුදුරදුන් වෙත පැමිණ පෙර පරිදි සුව දුක් ප්‍රකාශ කර තමන්ට දීර්ඝ කාලයක් හිතසුවය පිණිස හේතු වන අවවාදයක්, උපදේශාත්මක දහමක් දෙසන ලෙස ඇයැද සිටියහ. බුදුරජාණන් වහන්සේ පෙර පරිදි ම කයින්, වචනයෙන්, සිතින් සංවර ව වාසය කරන ලෙස දේශනා කළහ. මෙම දේශනාවලින් පැහැදිලි වන්නේ සිල්වත්, යහපත් ජීවිත ගත කරන ලෙස ය. (අං.නි.තික නිපාතය, බ්‍රාහ්මණ වග්ගය) එම දේශනා විනය ගැන දෙසූ (ආණා) අණ කිරීම, විධානය ඇති විනය දේශනා ය. හෙවත් ආණා දේශනා ය.

වෙනත් අවස්ථාවක වයස අවුරුදු එකසිය විස්සක් සම්පූර්ණ වූ නකුල පිතා නම් වූ මාර්ගඵල ලාබී වී සිටි, ගුණවන්ත, උපාසකතුමා බුදුරදුන් වෙත පැමිණ තමන්ට බොහෝ හිත සුව පිණිස හේතු වන දහමක් දේශනා කරන ලෙස ඇයැද සිටියේ ය. ගෘහපතිය, ඔබ ආතුර කයක් ඇතිව සිටියත් අනාතුර (නිරෝගි) මනසකින් වාසය කරන ලෙස, ඉතා කෙටි වූත්, ගැඹුරුවූත් දෙසුමක් කර ඉවත්ව ගිය පසු, ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට, සාරිපුත්‍ර මහරහතන් වහන්සේ හමුවට ගොස් කරුණු විමසුවේ ය.

ආතුර කයක් ඇති ව, අනාතුර මනසකින් ජීවත් වන්නැයි බුදුරදුන් ඉතා කෙටියෙන් දෙසුව ද ඒ ගැන සවිස්තරාත්මක ව දැන ගැනීම නකුල පිතාගේ අරමුණ විය. සැරියුත් මහ රහතන් වහන්සේ ඔබ කුමක් නිසා බුදුරදුන්ගෙන් ආතුර කයක් ඇති ව, අනාතුරව ජීවත් වන්නැයි යන්න ගැන විස්තර බුදුරදුන්ගෙන් විමසුවේ නැත්තේ මන්දැයි’ ප්‍රශ්න කළහ. ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට තමන් සැරියුත් මහරහතන් වහන්සේ බැහැ දැකීමට පැමිණි බව ප්‍රකාශ කළේ ය. එසේ නම් ගෘහහපතිය, එම දහම ගැන වැඩි විස්තර දැන ගන්නයි, පවසමින් එම බුද්ධ දේශනාවේ පුළුල් සහ ගැඹුරු අර්ථ ප්‍රකට කරමින්, නිවන් පසක් (ප්‍රත්‍යක්ෂ) කර ගැනීමට හේතු භූතවන ධර්මයක් උන්වහන්සේ විසින් පහදා දුන්හ.

මෙම දේශනාවලින් පැහැදිලි වන්නේ බුදුරදුන් ඇතැම් කෙනකුට මේ ජීවිතය හා සුගතිය පිණිස හේතු වන කාරණා පමණක් දේශනා කරන බවත්, ඇතැමකුට නිවන් මඟ පහදා දෙන බවත් ය. එයට හේතුව ඒ ඒ අයගේ බුද්ධි මට්ටම හා චරිතාපදාන සලකා විය හැකි ය.

මෙකල ධර්ම දේශනා සිදු කරන බොහෝ දේශකයන් දහම යැයි සිතා, දැන හෝ නොදැන හෝ දේශනා කරන්නේ විනය කරුණු ය. ආණා දේශනා ය. කය, වචන, සංවර කර ගෙන, යහපත් ජීවිතයක් ගත කරන ආකාරය ආණා දේශනාවලින් සිදුවෙයි.

විනය හෙවත් ආණා දේශනා (අණ) නිවන් අවබෝධයට උපකාරි වේ. අනිවාර්යයෙන් අවශ්‍ය ය. තවද එය තමන්ගේත්, අනුන්ගේත් ආත්මීය හා සමාජ යහපත උදෙසා හේතු විය හැකි ය. සීලය, කයවචන සංවර කරන ආණා දේශනා, මෙලොව පරලොව සුගතිය සඳහා උපකාර වෙනු ඇත.

සංගීතිකාරක මහරහතන් වහන්සේගේ වචනය පරිදි තථාගතයන් වහන්සේගේ ආඥා දේශනාව වූ විනය පිටකය, සංවර්ඥ ශාසනයේ ජීවය වන බැවින් ද, විනය පවත්නා තෙක් ම බුදු සසුන පවත්නා බැවින් ද සකල ශාසනමාමක භික්ෂූන් විසින් ම අත්‍යාදරයෙන් විනය පිටකය පරිශීලනය කළ යුතු ය”.

“විනය” යන වචනයෙන් බොහෝ අර්ථ ගෙන දෙයි. ඒවා අතර හික්මීම, හැදියාව, ආචාරශීලි බව, සංවර බව ආදිය යි. මෙකී ගුණාංග ගිහි පැවිදි හැම දෙනාට ම අතිශයින් ම වැදගත් වනු ඇත. මෙකී විනය පිරිහීම තුළ සමාජය කොතරම් දුරට විනාශය කරා යොමුවී තිබෙන්නේ ද යන්න, නූතනයෙහි සිදුවන බොහෝ සිදුවීම් තුළින් මනාව සනාථ වේ. ඒ නිසාම වත්මන් සමාජයට විනය හෙවත් හික්මීම බෙහෙවින් වැදගත් කාල පරිච්ඡේදයක් බව වටහා ගත යුතු ය. නොමැති කල සිදුවන්නේ තවදුරටත් සමාජය පිරිහීම පමණි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු ව පළමු ධර්ම සංගීතියේ දී සියල්ලට ම පෙර සංගායනාවට පාත්‍ර වූයේ විනය යි. ඒ තුළින් විනයේ ඇති වැදගත් බව ඉතා කදිමට පැහැදිලි වනු ඇත.

ධර්මය මඟින් නිවැරැදි මාවත පෙන්වා දෙන අතර, විනය මඟින් එම මාවතේ ගමන් කිරීමට අවශ්‍ය ශික්ෂණය සහ ආරක්ෂාව සපයයි. ධර්මය සහ විනය එකිනෙකට වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. මෙය කුරුල්ලකුගේ පියාපත් දෙකකට සමාන කළ හැකි ය. දෙකම අවශ්‍ය ය. කෙටියෙන් කිවහොත් ධර්මය යනු නිවැරැදි මාවත පෙන්වන ආලෝකය වන අතර, විනය යනු එම මාවතේ ගමන් කිරීමට අවශ්‍ය කරන වැටකඩොලු හා ආරක්ෂාව යි. දෙකම සාපේක්ෂක ව එකිනෙකට අවශ්‍ය ය.

ආණා දේශනා හෙවත් විනය දේශනා මෙලොව යහපතත්, පරලොව සුගතිගාමි වීමටත් හේතු වෙයි. එහෙත් එයින් (විනය) පමණක් නිවන් දැකීමක්, අවබෝධයක්, සංසාර විමුක්තියක් අපේක්ෂා කළ නොහැකි ය.

සීලය පමණක් රැක යා හැකි ඉහළම තත්ත්වය, මනුෂ්‍ය හෝ සදෙව් ලොවක හෝ සුගතියක හෝ උපතක් ලැබීම ය. භාවනා කර චතුර්ථ ධ්‍යාන (රූපාවචර ධ්‍යාන) හා අරූපාවචර ධ්‍යාන උපදවා ගතහොත්, උපතක් ලැබිය හැකි ඉහළම තලය බ්‍රහ්ම ලෝක වේ. එයින් ද සසර විමුක්තියක් නොලැබේ. සිල් රැක මිනිස්, දෙව්, බඹ ලෝකයන්හි උපතක් ලැබූවත්, ධර්මය අවබෝධ නොකර, සෝවාන් ආදී මාර්ග ඵලයක් නොලබා සිටියොත්, ඔවුන්ට නරක, තිරිසන්, පේ‍්‍රත, විනිපාත (දුක් සහිත) ලෝකවල උපත ලැබීමේ ස්වභාවයෙන් මිදීමක් නැත.

සිල් රැකීම හා දානාදි පින්කම්වලින් පමණක් ලැබිය හැකි ඉහළම තත්ත්වය මෙලොව සක්විති පදවියත්, දෙව් ලොව ශක්‍ර පදවියත් වේ. එහෙත් එම පදවිවලින් සසර දුකෙන් නිදහස් වීමක් පමණක් නොව, සතර අපාගත වීමෙන් මිදීමක් ද නැත. මිනිස්, දෙව්. ලොව ඉහළම පදවි තනතුරු (සක්විති, ශක්‍ර) ලැබූවන් සෝවාන් ඵලය ලැබූ තැනැත්තා හා සංසන්දනය කළ කල්හි සඳුගේ සොළොස් (16 /1 එකක්) කලාවෙන් එකක් තරම්වත් සක්විති, ශක්‍ර පදවි නොවටී.

මෙම කරුණු ඉතා මැදහත් හා අවබෝධයකින් යුතුව විමසා, බණ හා අණ හෙවත් ධර්ම සහ විනය නිවැරැදිව වටහා ගෙන පරිස්සමින් යුතු ව, ශ්‍රාවකයන්ට සුගතිගාමී වීමට හා නිවන් අවබෝධයට උපකාරි වන ආකාරයට, දහම් හා විනය පහදා දෙන ලෙස ධර්ම දේශනා හා විනය (සීලය) දේශනා කරන ලෙස මෙත් සිත් පෙරටුව සඳහන් කරනුයේ ලෝක සත්ත්වයා ඇතුළු සැමගේ යහපත සඳහා ය.