|

ශ්‍රද්ධා බලය
වැඩෙන අවස්ථා
සද්ධර්මාරක්ෂක ධර්මාචාර්ය,
මනෝවිද්‍යා උපදේශක,
විද්‍යාවේදී (ගෞරව)
බුද්ධික ඉන්දීර ගුරුල්ලගොඩ
නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිපත්ති ලෙස පිරිය යුතු බෝධිපාක්ෂික ධර්ම 37ක් ඇත.
එයින් ඉන්ද්‍රිය ධර්මයක් වූ ද, බලධර්මයක් වූ ද ශ්‍රද්ධාව, පිරිය යුතු ප්‍රතිපත්ති
ධර්මයන් අතරින් මූලිකත්වය ගනී.
සිත පහදවා ගැනීමට ප්‍රධාන වන ධර්මතාවයට ශ්‍රද්ධා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.
ශ්‍රද්ධාව යනු ශෝබන චෛතසික ධර්මයකි. සෑම කුසල සිතක ම ශ්‍රද්ධාව යෙදේ.
යෝනිසෝමනසිකාරය නිසා බොහෝ කුසල් රැස් කර ගත හැකි ය. යෝනිසෝමනසිකාරය කියන්නේ සෑම
අරමුණක් ම කුසල් පැත්තට හරවා ගැනීමේ ඥානවන්තකමයි.
ශ්‍රද්ධා බලය අපේ හිතේ වැඩෙන්නේ අවස්ථා හයකට ය.
සද්දහන ලක්ඛණ සද්ධා: හද පත්ලෙන් ම රත්නත්‍රය පිළිගන්නවා. සසර දුකින් මිදී නිවන්
ලබන්නට අන්‍ය සරණක් නෑ, බුද්ධරත්නය මට එකම පිහිටයි. ඒ පිළිගැනීමයි, රත්නත්‍රයේ ගුණ
විශ්වාස කිරීමයි.
සම්පසාදන ලක්ඛන සද්ධා: සිත පිරිසිදු වීමට රත්නත්‍රයේ ගුණ පිළිගන්නවා. හිතට යම්
දුකක්, කරදරයක්, දොම්නසක්, උපක්ලේශයක්, කිසියම් බියක්, තැතිගැනීමක් ඇතිවුණාම සිත
කලබලයට පත්වෙනවා. ඒ කලබල හිත සංසිඳුවන්නට තෙරුවන්ගේ ගුණ සිහිකරනවා, බුද්ධ චරිත,
බෝධි සත්ත්ව චරිත සිහිකරනවා, ශ්‍රාවක චරිත සිහි කරනවා, තෙරුවන් ගුණ සිහි කරනවා.
එවිට සිතේ කැළඹුණු ස්වභාවය යටපත් වෙලා ප්‍රසාදනීය මට්ටමකට පත්වෙනවා. උදකප්‍රසාදක
මාණික්‍ය ජලයට දැමූ විට ජලය පැහැපත් වෙනවා. ඒ වගේ කැළඹුණු සිතකට රත්නත්‍රයේ ගුණ
සිහිකිරීමෙන් සැනසිල්ල ලැබෙන්නේ ශ්‍රද්ධාව නිසයි.
සම්පක්ඛන්දන ලක්ඛණ සද්ධා: දානශීල, භාවනා ආදී කුසල් රැස් කරන විට නොයෙකුත් ලෙඩ රෝග,
සතුරු උපද්‍රව, ධන හානි ආදී නොයෙකුත් ආකාර බාධා එන්නට පුළුවන්. කුමන බාධාවක් ආවත්
අඩියක් පස්සට තබන්නේ නැතිව ඉදිරියට ම ගමන් කරමින් පින්කම් කර ගැනීමේ උද්යෝගිමත්
ශ්‍රද්ධාව මෙයයි. ඛදිරංගාර ජාතකය මීට හොඳ නිදසුනක්.
ඕකප්පන සද්ධා: දහයියා ගොඩේ, මඩේ ඉන්නක් හිටෙව්වා නම් එය වහා ඇද වැටෙනවා. ශක්තිමත්
අරටුව සහිත දැව කනුවක් අඩි හයක් පොළොවෙන් යට හිටවා, අඩි හයක් පොළොවෙන් උඩ තැබූ විට
කිසිවකුට එය සෙලවිය නොහැකි යි. ශක්තිමත් ය. ඒ වගේ රත්නත්‍රයේ ගුණ හද පත්ලට ම
පිහිටවා ගැනීම ඕකප්පන ශ්‍රද්ධාවයි.
ආගම සද්ධා: නියත විවරණ ලබා ගත් බෝධි සත්ත්වයන් වහන්සේට භවයෙන් භවය තව කෙනකුගේ
උපදේශයක් නැතුව දාන, සීල, නෙක්ඛම්ම ආදී පාරමිතා පිරීමට සිත නැමෙනවා. සිතේ භක්තියක්,
විශ්වාසයක් ඇති වෙනවා. පුරුද්දක් ලෙස භවයෙන් භවයට යන ඒ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාවයි.
අධිගම ශ්‍රද්ධාව: මාර්ග ඵල ලාභීන්ට පිහිටා ඇති ශ්‍රද්ධාව අධිගම සද්ධාවයි. මාරයාටවත්
සෙලවිය නොහැකි යි. අවෙච්චප්‍රසාද ශ්‍රද්ධා කියා ද කියනවා. සුරම්බට්ට මානවකතුමාගේ
කතාව මීට හොඳම නිදසුනක්.
සද්ධා ඉන්ද්‍රිය ඇතිවීමට හේතු වන ධර්මතා තුනක් තිබෙනවා.
ලූඛපුග්ගල පරිවජ්ජනතා: ශ්‍රද්ධාවක් නැති පුද්ගලයන්ගේ ඇසුරින් වැළකී සිටීම, ඔවුන්
අනුගමනය කිරීමෙන් වැළකී සිටීම, පන්සිල් ගන්නේ නැති, බුදුන් වඳීන්නැති, දොහොත් නඟා
වඳීන්නට පුරුද්දක් නැති, දාන ශීල භාවනා ආදී ගුණධර්ම පුරන්නට අකැමැති පුද්ගලයන්
ඇසුරෙන් වැළකී සිටීමයි.
සිනිද්ධපුග්ගල සේවනතා: ශ්‍රද්ධා සම්පන්න උතුමන්ගේ ඇසුර. ඔවුන් නිත්‍ය සීලය, උපෝසථ
සීලය රකිනවා, බුද්ධ වන්දනා කරනවා, බණ දහම් අහනවා, බණ දහම් පාඩම් කරනවා, භාවනා
කරනවා, අප්‍රමාදී ව කුසල් රැස්කරනවා. එවැනි උතුමන්ගේ ඇසුරෙන්, ඔවුන් අනුගමනය
කිරීමෙන් ශ්‍රද්ධාව දියුණු වෙනවා.
පසාදනීය සුත්තන්ත පච්චවෙක්ඛනතා: බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සිත පහදනා මහා
සතිපට්ඨාන සූත්‍ර, සම්ප්‍රසාදනීය සූත්‍ර දේශනා ද, උම්මග්ග ජාතකය වෙස්සන්තර ජාතකය
වැනි ජාතක දේශනා ද, දහම් පද ද ශ්‍රවණය කිරීම, කියවීම, සාකච්ඡා කිරීම, පාඩම් කිරීම,
දහම් පොත්පත් බැලීම, ධර්මය නිතර නිතර මනසිකාර කිරීමෙන් ශ්‍රද්ධාව පහළ වෙනවා, බලවත්
වෙනවා.
මෙලෙස ශ්‍රද්ධාව ස්ව සන්තානයෙහි බෝධිපාක්ෂික ධර්මයක් ලෙස වැඩිලා යම් දවසක සතර මඟ,
සතර ඵල ශාන්න සීතල නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට තරම් ප්‍රබල වෙනවා. අප ද
බෝධිපාක්ෂික ධර්ම සිතේ වඩා වර්ධනය කර ගැනීමට මේ ලබාගත් මනුසත් භවයේ දී අප්‍රමාදී ව
කටයුතු කරමු. |