Print this Article


මාලියද්ද වැවතැන්න ශ්‍රී සුමංගලාරාමය මහා දාගැබ් වහන්සේ බොදුජන වන්දනාවට

මාලියද්ද වැවතැන්න ශ්‍රී සුමංගලාරාමය මහා දාගැබ් වහන්සේ බොදුජන වන්දනාවට

මාලියද්ද, වැවතැන්න, ශ්‍රී සුමංගලාරාම විහාරය කඳු පන්තිවලින් වට වී ඇති රමණීය භූමියක පිහිටා තිබේ.

ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටි මේ විහාරය වැවතැන්න, මාලියද්ද, බදුල්ල ලිපිනය සහිත තැපෑලෙන් පමණක් ලියුම් ගනුදෙනු කළ හැකි ස්ථානයකි.

නාගරික විහාරස්ථාන හා සසඳන විට අතිදුෂ්කර විහාරස්ථානයකි. විහාරය ඉදිකර ඇත්තේ දඹාන, මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ, අපවත් වී වදාළ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රධානත්වයෙනි.

ක්‍රි.ව. 1983 වර්ෂයේ සිට ශ්‍රී පඤ්ඤාප්‍රදීප නමින් දහම් පාසලක් පවත්වාගෙන එන අතර, දැනට එහි ශිෂ්‍යයෝ එකසිය පනහකට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබති. කන්දකැටිය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ දහම් පාසල් අනුකාරක සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධුරය සහ විහාරස්ථානය මූලික කර ගනිමින් පවත්වාගෙන යන සමිති සමාගම් රැසක අනුශාසකත්වය දරමින් විහාරාධිකාරීන් වහන්සේ ලෙස මාලියද්දේ ජිනවංශ හිමි හා මාලියද්ද මහ විද්‍යාලයේ ධර්මාචාර්ය මීගොල්ලේ සරණවංස හිමි විසින් ජාතික, ආගමික සේවා රැසක් ද ක්‍රියාවට නඟනු ලැබේ. විහාරස්ථානය තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින අතර, මේ වන විට අටවිසිබෝධි ප්‍රාකාරයක් සහිත බෝධීන් වහන්සේ නමක්, කුඩා ප්‍රමාණයේ විහාර මන්දිරයක් සහ කුඩා සංඝාවාසයක් පමණක් විහාර භූමියේ දක්නට ලැබේ.

ධර්ම ශාලාවක් විහාර භූමියේ දක්නට නොමැති අතර, දහම් පාසල පැවැත්වීමත්, පුර පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් සමාදන්වීමත් සිදු වන්නේ සංඝාවාසයට යාබද කුඩා දාන ශාලාවේ ය. පිරිස අධික නිසා වැසි සහිත ඉරිදා දිනවල දහම් පාසල් දරුවන්ටත්, පෙහෙවස් සමාදන්වන උපාසක උපාසිකාවන්ටත් මේ විහාරයට පැමිණිය නොහැකි ය. පොහෝ දිනවලට පෙහෙවස් සමාදන්වන අයට දහවල් දානය, ගිලන්පස ආදිය පිරිනමන්නේත්, ඉරිදා දිනවලට දහම් පාසල පවත්වන්නේත් බෝධීන් වහන්සේගේ සෙවණේය. දහම් පාසල් ළමයින්ගේ අධ්‍යාපනයටත්, පෙහෙවස් සමාදන්වන පින්වතුන්ගේ පහසුවටත් ධර්ම ශාලාවක් නොමැතිවීම බලවත් අඩුපාඩුවකි. මෙම ප්‍රදේශය දිය ඇළිවලින් පිරී පවතින අතර, සුන්දර වන ගහණවලින් සහ කඳු පන්තිවලින් හැඩවු කෘෂිකාර්මික පෙදෙසකි. ශ්‍රී සුමංගලාරාමයට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමකගේ අවශ්‍යතාව දැනුණ ද එයට සුදුසු භූමියක් මෙහි නොමැති වීම නිසා එම කාර්යය අතපසු වී තිබේ. මේ බව දැන ගත් ඩී. එම්. සමරකෝන් මහතා සහ ඩී. එම්. කරුණාවතී මහත්මිය මෙන් ම ඔවුන් දෙපළගේ පුතණුවන් වන ධර්මසිරි සමරකෝන් මහතා අවශ්‍ය භූමි ප්‍රමාණය පූජා කිරීමට කටයුතු කර ඇත. නුගගොල්ල, කරකොළේ, වැවතැන්න, කොන්ගස්මඬලන්ද, කිවුලේයාය, මාලියද්ද ගම්වාසීන්ගේ හා ප්‍රදේශවාසීන්ගේ ධන පරිත්‍යාගවලින්, ද්‍රව්‍ය පරිත්‍යාගවලින් හා ශ්‍රම දායකත්වයෙන් රියන් විසි එකක් උස මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කටයුතු අලංකාරවත්ව නිමවා වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ඌව අමරපුර පාර්ශ්වයේ මහානායක බෝපිටියේ සුමනවංශාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේගේ වැඩම වීමෙන් ගම්වාසී හා ලෝකවාසී බෞද්ධ මහජනතාවගේ වන්දනාවට විවෘත කෙරුණි.