 මිහිඳු සංස්කෘතියෙන් හැඩවුණු
අපේ ජනදිවිය
ශාස්ත්‍රපති
පලල්ලේ සරණජෝති හිමි
දීපප්ප්‍රසාදක අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ සිරිලකට වැඩම වීම ලක්වැසි ජන
ජීවිතයේ දී ශ්‍රී සමෘද්ධියේ මූලාරම්භය යි. ආගමික චින්තනය, දෛනික සිරිති විරිත්,
පාලන තන්ත්‍රය, ආර්ථිකය, අධ්‍යාපනය, භාෂා සාහිත්‍ය, අක්ෂර මාලාව, කලා ශිල්ප ආදී සෑම
ක්ෂේත්‍රයක ම නවෝදයක්, පුනරුදයක් මහින්දාගමනය නිසා ම සිදු විය.
අනුබුදු මහා මහින්ද මහරහතන් වහන්සේ ලක්දිවට වඩින මොහොත වන විට අගය කළ හැකි කිසිදු
ආගමික චින්තන රටාවක් මෙහි සකස් වී තිබූ බවක් නොපෙනේ. තත්කාලීන ජනයා මළවුන්, යක්ෂ
යෝනිවල ජනිත ව තමන්ට උපකාර වන්නේ යැයි සිතා යක්ෂ වන්දනාවේ යෙදුණහ. දේව වන්දනාව,
වෘක්ෂ වන්දනාව, ගස් ගල්, ඉර හඳ, අව්ව වැස්ස සුළඟ පවා ඒ අතර විය. මෙබදු විශ්වාස තුළ
කිසිදු ආගමික මූල ධර්මයක් නොමැත. මේ සියල්ල තාවකාලික ව ජනතාවගේ හදවත් තුළ වූ
විශ්වාස වූහ. මහින්දාගමනය ලක්වැසි ජනතාවගේ ජන ජීවිතයෙහි පුනරුදයක්, ආලෝකයක් ඇති
කිරීමට සමත් විය.
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ චුල්ලහත්ථිපදෝපම, දේවදූත, බාල පණ්ඩිත, සච්ච
සංයුත්ත ආදි අනර්ඝ දේශනා තුළින් ජන ජීවිතය උත්තරීතර පරමාර්ථ කෙරෙහි යොමුකරලීමට ද
සමත් විය.
මෙතෙක් කල් හිංසාකාරී පීඩාකාරී ජීවන පිළිවෙත්වලට හුරු පුරුදුව සිටි ලාංකිකයන් බුදු
දහමේ ආභාෂය නිසා අවිහිංසකත්වය, කාරුණිකත්වය ගරු කරන පිරිසක් බවට පත් විය.
මහින්දාගමනයට පෙර පැවති සමාජ සංස්ථාව තුළ අවිහිංසාව අගය කොට නොසැලකූ බව අතිශය
වැදගත් උත්සව දිනවල පවා ලක් රජු අවශේෂ පිරිස් පිරිවරාගෙන දඩයම් සඳහා වන පෙත් කරා
ගමන් ගැනීමෙන් එය සනාථ වේ.
එනමුත් පසුකාලීනව බලයට පත් වූ සිංහල රජදරුවන් උත්සව සැණකෙළි නිමිති කර මාඝාත ආඥාව
පවා පනවා තිබීමෙන් සම්බුදු දහම නිසා ලක්වැසියන් අවිහිංසාවාදී වූ අයුරු සිතාගත හැකි
විය. සමානාත්මතාව, දයාව, කරුණාව, පරිත්‍යාගය, පරාර්ථචර්යාව වැනි උතුම් ගුණාංග ජන
ජීවිතයේ අංග බවට පත් වූයේ ද මහින්දාගමනයේ උදාර ප්‍රතිඵල වශයෙනි.
පැරැණි ලාංකික ජනතාව බෞද්ධ සාරධර්ම තමන්ගේ ජීවිතවලට එක්කරගෙන ඒ අනුව තම ජීවිතය
හැඩගස්වා ගැනීම නිසා නිවැරැදි ජන සමාජයක් නිරවශේෂයෙන් ම පැවති බව පැහැදිලි ය.
මේ සාරධර්මය අනුගමනය කිරීම නිසා ස්වයංපෝෂිත කාලවකවානුවක් වූවාට සැක නැත. ජනතාව
සාමකාමී, සමානාත්මතාවයෙන් යුතු ජීවිත ගත කළහ. ගුවන් ගැබ පරයන තරමට ම උස් වූ දාගැබ්
ඉදිවිය. මහා සාගරය පරයන තරමට විශාල වැව් අමුණු ඉදිවිය. ඒ තැනට ජනතාව පෙළඹුණේ බෞද්ධ
දර්ශනයෙන් ලබාගත් ගුණගරුක භාවය නිසාමයි. සාමූහික පරිභෝජනය වැනි ගුණධර්ම ජනතාව තුළ
පුරුදු පුහුණු වී තිබීම නිසා ගැටුම්, අසමඟිකම්වලින් තොර වූ සාමකාමී ජීවිකාව ඉදිරියට
ගෙන යන්නට හුරු පුරුදු විය.
පංචශීල ප්‍රතිපත්තිය වැනි උසස් සාරධර්ම අනුගමනය කිරීම නිසා සත්ත්ව හිංසාව,
මංකොල්ලකෑම, කාම අපරාධ, බොරුව, කේළම, සුරාව සූදුවෙන් තොර සුඛිත මුදිත ජන සමාජයක්
දක්නට ලැබීම විශිෂ්ට ලක්ෂණයක් විය.
ලාංකිකයාගේ ආර්ථිකය කෙරෙහි ද බලපෑම් ඇති කිරීමට බුදු දහම සමත් වූ බව පෙනේ.
විශේෂයෙන් සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ වැනි සූත්‍ර දේශනාවල සඳහන් උපදෙස් පරිදි
ලාංකිකයාගේ මූලික ජීවිතය දැහැමින් සකස් වූ අතර, “ඒකේන භෝගේ භුඤ්ජෙය්‍ය” ආදී වශයෙන්
දැක්වෙන උපදෙස් පරිදි ධනය පරිභෝජනය කිරීමට පුරුදු වූහ.
මේ අනුව පැහැදිලි වන්නේ ලාංකික ජන ජීවිතය තුළ නිරවශේෂයෙන් ම සෑම අංශයකටම නව ජීවයක්,
නවෝදයක්, පුනරුදයක් මහින්දාගමනයෙන් සිදු වූ බවයි. එබැවින් කලාකාමී, රසකාමී,
ජනහිතකාමී, පරහිතකාමී, යුක්තිය සාධාරණය අගයන ජනතාවක් පෙළගැස්වීමේ මූලික අඩිතාලම
දැමූ මෙවන් පොසොන් පොහෝ දිනක ලාංකික බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම වනගත, වනචාරී
සතුන් ලෙස ක්‍රියා නොකොට උසස් ජීවන ප්‍රතිපදාවක් අනුගමනය කරමින් දිවි මඟ සකසා ගත
යුතු වේ. |