Print this Article


සිතේ ගැඹුර ස්පර්ශ කළ සදහම් මිණි කැට

සිතේ ගැඹුර ස්පර්ශ කළ සදහම් මිණි කැට

මානව දයාව පෙරදැරි කොටගත් ආධ්‍යාත්මික ගුණයට ම මුල්තැන දෙමින් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය වීම බුදුදහමින් ලැබුණු අතිවිශිෂ්ට දායාදයකි.

සම්භාව්‍ය සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයත්, නූතන නාට්‍ය ගීත ආදී සාහිත්‍යයත් පෝෂණය වූයේ බුදුදහමෙන් ලැබුණු ආභාසය නිසා ය. එකී සාහිත්‍යයෙන් ශ්‍රාවකයන් වෙත සම්ප්‍රදානය කරන ලද සදුපදේශයන් නිසා ම සහෘදයා ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යයි යනුවෙන් සාහිත්‍යයට අර්ථපූර්ණ නිර්වචනය ද ලැබී ඇත. පොළොන්නරු යුගයේ දී නව අරහාදී බුදු ගුණ වැලම මුල්කොට විද්‍යාචක්‍රවර්ති විසින් රචිත බුත්සරණෙහි ඇතුළත් නාලාගිරි දමනයෙහි එන එක් කියමනකින් ඉහත නිර්වචනය මැනවින් අරුත් ගන්වා ඇත.

ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ. මෑත සවණක් ගණ බුදුරැසින් සැදී ගිය බුදුරජාණෝයැ. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝයැ.......

මෙහිදී කතුවරයා ඇතා මුල්කොට ගෙන ලෝකයේ ඇති බිහිසුණු කුරිරු අදම්‍ය ස්වභාවය පියවරෙන් පියවර ශ්‍රාවක මනසෙහි තැන්පත් කොට ඇත. බුදුන් වහන්සේ මුල්කොටගෙන ලෝකයෙහි ඇති කරුණාව, දයාව, මෛත්‍රිය ආදී උදාර මානව ගුණධර්ම ශ්‍රාවක මනසෙහි තැන්පත් කරයි. ඉවසීමෙන් හා විමසීමෙන් යුතු ව මෙම අවස්ථාව නිරූපණය කිරීම අතිශයින් ම ප්‍රඥාගෝචර ය.

ඉහත නිර්මාණයේ ප්‍රඥාව කරා රැගෙන යාම යනුවෙන් අදහස් කළේ කුමක්ද? ලෝකයේ ගින්දර බිහිසුණු ය. එහෙත් සීතල වතුරට එය පරාද වෙයි. ගින්දරත්, ජලයත් සටන් කොට ජය ගන්නේ ජලය යි. පරාජයට පත්වනුයේ ගින්දර යි.

අඳුරත්, ආලෝකයත් එක් වූ හැම විටම ජය ගත්තේ ආලෝකය යි. අඳුර පරාජයට පත්වෙයි. කතුවරයා මෙහිදී තම සදාදරණීය ශ්‍රාවකයාට ලබාදෙන සදුපදේශය වන්නේ කරුණාවෙන්, මෛත්‍රියෙන් තෙත් වූ සිතකට වෛරයෙන්, ක්‍රෝධයෙන් ගිනිගෙන දැවෙන මනසක ගින්දර නිවා දැමිය හැකි බවයි. එසේම විද්‍යාචක්‍රවර්ති සමස්ත මානව වර්ගයාගෙන් කරන ඉල්ලීම වන්නේ සිත්වල පවතින වෛරයේ ගිනිදැල් නිවා දැමීමට කරුණාවේ, මෛත්‍රියේ සීතල ජලයට ඉඩදෙන්න යන ආරාධනය යි. සියලු ලෝ වැසියන් ම මෙය පිළිපදින්නේ නම්, අප ජීවත් වන ලෝකය කොපමණ නම් සුන්දරත්වයට පත් වේ ද?

සම්බුදු දහමින් පෝෂණය වූ සිංහල සාහිත්‍යයේ අසිරිය එයයි.

අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේ විසින් බුදුදහම ලක්වැසියන්ට හඳුන්වා දීමෙන් අනතුරුව හෙළයන්ගේ සිත් සතන් තුළ ඇති වූ මානුෂීය බෞද්ධ ප්‍රබෝධය මොහිදින් බෙග් නම් කලාකරුවාගේ මුවින් පිටවූ ගීතමය වදන්වැල් මඟින් මැනවින් ප්‍රකට වෙයි.

මල් සුගන්දේ දම් සුගන්දේ
සිල් සුළං රැල් පාවෙලා
සම්බුදුන් සම්භාවනීයයි
සාධු සාධු වන්දනා...

මල්වල සුවඳ තැවරුණ ධර්මයෙහි සුගන්ධය සිසිල් සුළං මඟින් ලක්දෙරණ තුළ සම්භාවනීය ව රැගෙන යන අයුරු දැනෙන සිත්වලට නිතැතින් ම නැඟෙන්නේ සාධු සාධු යන පුණ්‍යවන්ත වූ ස්වරය යි.

මිහින්තලාවයි දහම් අමාවයි
ශාන්ත අනුබුදු නාමයයි
කාට කාටත් මේ කියන්නේ
ශාසනේ ඉතිහාසයයි
රත්නමාලි සෑ රදුන් මේ
දෙව් බඹුන් පූජා ලබයි
මේ මහා ගල් මුල් කියන්නේ
ඒ උතුම් අභිමානයයි

ශාන්ත වූ අනුබුදු මිහිඳු මහරහතුන් වහන්සේගේ ශ්‍රී නාමයත් සමඟ ලක්දිව තුළ සමාරම්භ වූ ශාසනය පිළිබඳ මනස අවදි කිරීම ද කවියාගේ ප්‍රධාන පරමාර්ථයක් වී ඇත. එකී ශාසනය වටා එක්රොක් වූ හෙළ ජනයා ගොඩනඟාගත් ලෝකයේ අසිරිමත් ම සංස්කෘතිය, සභ්‍යත්වය මෙම පුංචි දිවයිනට ලැබෙන්නේ ලක්වැසියන්ගේ පූර්වකෘත පුණ්‍ය බල මහිමයෙනි.

අහස් කුස සිපගෙන සිටින බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කොට ඇති දිව්‍ය බ්‍රහ්මයන්ගේ අතිශය ප්‍රණාමයට බඳුන් වූ මහානුභාව සම්පන්න රුවන්මැලි සෑ රදුන් මිහින්තලා පුදබිම ආසන්න ව විරාජමාන ව වැඩසිටමින් අපට කියාපාන්නේ අපේ ඉතිහාසයේ අසිරිමත් වූ අභිමානය යි. ගස් ගල්වල පවා ලිය වී ඇත්තේ ඒ උතුම් වූ ආශ්චර්ය යි.

රැල් නඟා හෝ ගා ගලන්නේ
ජාතියේ ජය පානයයි
සිංහලේ විකුමන් කියන්නේ මේ
පොළොන්නරු දේශයයි
දැගැබයි මහ මේඝයයි නිල්වන්
ගුවන් ගැබ යා වූණේ
ගල් කුළින් සිත්තම් වුණා දෝ
මෙත් සිහිල් කරුණා ගුණේ

දිය ඇළි, ගංගා ආදියෙන් ගලන ජලය පවා කවියාට පෙනෙන්නේ ජාතියේ ජය පානය ලෙසයි. දාගැබ්වල වර්ණවත් කොත්කැරලි සමඟ යාවුණු මහ මේඝයන් නිසා දෙරණ තුළ ඇති වූ මහා කෘෂි ආර්ථිකය කවියා කෙළින් ම නොපවසා ධ්වනිතාර්ථවත් ව ගයන්නේ කාගේත් සිත් තුළ ධර්මානුකූල සොම්නස ජනිත කරවමිනි.

ලොව මවිත කරවන අවුකන පිළිම වහන්සේ වැනි මහා කලා නිර්මාණ බිහිවීමට හෙළ කලාකරුවන්ට අවශ්‍ය උත්තේජනය ලැබුණේ බුදුදහමේ ආගමනයත් සමඟ ය. අවුකන බුදුපිළිම වහන්සේ ළඟට ගිය එවකට ලංකාවේ සිටි සුදු ජාතික පුරාවිද්‍යාඥයන් අන්දමන්ද වී දෙපා පණ නැති ව ගියේ මෙම දර්ශනය මිනිස් සිතකින් අදහා ගත නොහැකි නිසා ය.

අනුරාධපුරයේ වැඩ සිටින සමාධි පිළිම වහන්සේ ද හෙළයන්ගේ ඉමහත් ආශ්චර්යයකි. බුදු මනසෙහි පැවති කරුණාව, මෛත්‍රිය කළු ගලක් තුළට කාවැද්දීමට හෙළ කලාකරුවා සමත් වී ඇත.

එදා තුන් සිංහලේ මහරජදරුවන් මේ විස්කම් පෑවේ බුදුබණ පදයකින් තමා ලැබූ අස්වැසිල්ල නිසා ය. හෙළයන්ගේ ලේ, මස්, නහර, ඇට, ඇට මිදුළු දක්වා ගමන් කොට සිතේ ගැඹුරු ම තැන ස්පර්ශ කළ මෙම දහම් මිණි කැට නිසා ඔවුහු පූජනීයත්වයට පත්වූහ.

මහරජුන් තුන් සිංහලේ
මෙහෙමයි එදා දස්කම් කළේ
මේ උතුම් දහමින් තමා ලේ
මස් පවා විස්කම් කළේ
ධීර වීරයි පූජනීයයි
නෑ නිමක් ගුණ ගායනේ
සිව් මහා දෙවිදුන් රකියි
මේ අපේ බුදු ශාසනේ

සූර වීර ධීර වික්‍රම ප්‍රකට කළ හෙළයන්ගේ මානව හිතවාදී සුන්දරම ජන්ම දිනය මහින්දාගමනය බව කවියා ව්‍යංගයෙන් පවසා ඇත. ගුණ ගායනා කොට නිමක් කළ නොහැකි අවාච්‍ය වූ, අචින්ත්‍ය වූ, ගුණයන්ගෙන් සමලංකෘත වූ ජාතියත්, සංස්කෘතියත්, සම්බුදු සසුනත් සතරවරම් මහරජදරුවන් ආරක්‍ෂා කරන බව කවියා පවසන්නේ අසීමිත වූ භක්තියකිනි. අප රටේ සෑම ජාතියකට ම, සැම ආගමකට ම ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් ළඟ සහජීවනයෙන්, සමානාත්මතාවයෙන්, ඉවසීමෙන්, විමසීමෙන් ජීවත් වීමට ඇති තරම් සෙවණ ඇති බව කවියා මෙහිදී ධ්වනියෙන් ආධාරණය කරයි.