Print this Article


සුවපත් මනසක් සුවබර දිවියක් - 56 කොටස: මෛත්‍රියෙහි බලය අප්‍රමාණයි

සුවපත් මනසක් සුවබර දිවියක් - 56 කොටස:

මෛත්‍රියෙහි බලය අප්‍රමාණයි

බුදුරදුන්ගේ ජීවිත කාලයේ දී සිදු වූ තවත් කතාවක් මෙසේයි. අක්කෝසිත නම් මිනිසෙක් විය. “අක්කෝසිත” යන්නෙහි තේරුම “කෝප නොවන” යන්න. නමුත් මේ පුද්ගලයා නිතරම කෝපවන්නෙක් විය. බුදුරජාණන් වහන්සේ කිසිදාක කෝප නොවන්නේ යැයි ඇසූ ඔහු උන්වහන්සේ හමුවට යාමට තීරණය කළේ ය. ඔහු බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගොස් උන්වහන්සේට නොයෙක් අවලාද කියමින් නම් පටබඳිමින් නින්දා අපහාස කළේ ය. ඔහුට සවන් දී සිටි බුදුරජාණන් වහන්සේ, තමන්ට නෑදෑ හිතමිතුරන් ඇද්දැයි ඔහුගෙන් විචාළහ. “එසේ යැයි ඔහු පිළිතුරු දුන්නේ ය.

“ඔබ ඔවුන් දැකීමට යනවිට ඔවුන්ට තෑගි බෝග ගෙන යන්නේ ද?”

“සත්තකින් ම, හැමවිටම තෑගි බෝග ගෙන යමි.”

“ඔවුන් ඔබේ තෑගි බෝග භාර නො ගත්තොත් ඔබ කුමක් කරන්නේ ද?”

“මම ඒවා ආපසු ගෙදර ගෙන ගොස් මගේ අඹු දරුවන් සමඟ රස විඳීන්නෙමි”

“එසේ නම්, අද ඔබ මට තෑග්ගක් ගෙනවුත් තිබේ. මම එය භාර නොගතිමි. කරුණාකර එය ආපසු ගෙදර ගෙන ගොස් ඔබගේ අඹු දරුවන් සමඟ භුක්ති විඳීන්න”

ඉවසීම, හාස්‍ය හා මෙත් සිතිවිලි තුළින් ප්‍රකෝපකාරී වචන නමැති “තෑගි“ පිළිබඳ ව අප සිතන විදිය වෙනස් කර ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ අපට ආරාධනා කරති.

අපවාද හා ප්‍රකෝපකාරී වචනවලට සතිමත් බවෙන් හා මෙත් සිතින් යුතු ව මුහුණ දෙන්නේ නම්, ඇතිව තිබෙන තත්ත්වය දෙස වඩා අවධානයකින් බලන්නට අපට හැකි වේ. සමහරවිට කතා කළ තැනැත්තා හෝ තැනැත්තිය හෝ තමා කියන්නේ කුමක්දැයි නොදැන සිටියා විය හැකි ය. සමහර විට කියූ දෙය ඔබට අහිතකින් නොකීවා විය හැකි ය. එය සම්පූර්ණයෙන් ම අහිංසක හෝ නො හිතා කියූ දෙයක් විය හැකි ය. සමහර විට කියූ දේ ගැන ඔබ හිතූ හැටි විය හැකියි. සමහර විට කියූ දේ ඔබට හරි හැටි නෑසුණා හෝ වැරැදි විදියට තේරුම් ගත්තා විය හැකි යි. ඔහු / ඈ කියන දේ කුමක්දැයි සැලකිල්ලෙන් අසා සිටීම වැදගත් ය. ඔබ කෝපයෙන් ප්‍රතිචාර දැක්වුවහොත්, ඔබට ඇසෙන වචනවල නියම අදහස මඟ හැරෙන්නේ ය. සමහරවිට ඔබ ඇසිය යුතු දෙයකට ඔහු ඔබගේ අවධානය යොමු කරනවා විය හැකි ය.

ඉවසීමේ කෙළවරට ම අප තල්ලුකරන සමහර මිනිසුන් අපට මුණ ගැසේ. සිහියෙන් හෝ මෛත්‍රියෙන් හොී තොරව අපි ඔවුන්ට කෝපයෙන් හා අමනාපයෙන් ප්‍රතිචාර දක්වමු. සිහියෙන් යුතු වුවහොත් සමහර වචනවලට හා ක්‍රියාවලට අපේ සිත ප්‍රතිචාර දක්වන අන්දම අපට බලාගත හැකි ය.

මෙට්ටය මත වාඩිවී භාවනා පුහුණුවේ යෙදෙන අවස්ථාවේ දී මෙන්ම, ඇලීම හා ගැටීම සිත තුළ නැඟී එන සැටි මේ මොහොතේ දී ද දැක ගත හැකි ය.

සිහිය, අයහපත් ක්‍රියාවන්ගෙන් අප වළක්වන ආරක්ෂක දැලක් වැනි ය. සිහිය අපට කාලය ලබා දෙයි. විකල්ප ලබා දෙයි. හැඟීම්වලින් ඉලිප්පී ගසාගෙන යාමට එවිට අවශ්‍ය නැත. මුළාව වෙනුවට ප්‍රඥාව යොදා ප්‍රතිචාර දැක්වීමට ඉඩ ලැබේ.

විශ්ව මෛත්‍රිය...

මෛත්‍රිය යනු භාවනා මෙට්ටය මත වාඩිවී නොකඩවා සිතමින් කරන යම් ක්‍රියාකාරකමක් නොවේ. අනෙකුත් පුද්ගලයන් සමඟ ගනුදෙනු කරන සෑම අවස්ථාවක ම ඒ තුළින් මතු වී බැබළීමට මෛත්‍රියේ බලයට ඉඩදිය යුතු ය. සියලු යහපත් සිතිවිලි, වචන හා ක්‍රියාවන්ගේ මූල ධර්මය මෛත්‍රිය යි. එය ඇති තැන, අපට අන්‍යයන්ගේ අවශ්‍යතා වඩා හොඳීන් හඳුනාගෙන ඔවුන්ට නො පමාව උපකාර කළ හැකි ය. මෛත්‍රී සිතිවිලි ඇති විට අනුන්ගේ ජයග්‍රහණ ගැන උණුසුම් හදවතින් ම සතුටු විය හැකි ය. අනෙක් අය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් ජීවත්වීමට අපට මෛත්‍රිය අවශ්‍ය ය. කෝපය හා ඊර්ෂ්‍යාව නිසා ඇතිවිය හැකි දුක් පීඩාවලින් අප ආරක්ෂා කරන්නේ මෛත්‍රිය යි. අපගේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව හා උපේක්ෂාව වඩාත් දියුණු කර ගත් විට, අප අවට ජීවත් වන්නන්ගේ ජීවිත වඩා ප්‍රසන්නකාරී වනවා මෙන්ම අපගේ ම ජීවිතත් වඩා සාමකාමී හා තෘප්තිමත් වන්නේ ය. හිරුගේ කිරණ මෙන් මෛත්‍රියෙහි බලය ද අප්‍රමාණ ය.