Print this Article


නොපමා වූවෝ නිවන් සුව විඳීති

නොපමා වූවෝ නිවන් සුව විඳීති

අප්පමාදරතො භික්ඛු
පමාදෙ භයදස්සිවා
සංයෝජනං අණුං ථුලං
ඩහං අග්ගි’ව ගච්ඡතී’ති

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන කාලයෙක්හි දී එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් රහත්වීම දක්වා කමටහන් (භාවනා) උගෙනැ, වනගත වී මහත් උනන්දුවෙන් බවුන් වැඩූ නමුත් බලාපොරොත්තුව සඵල කැරැගත නොහැක්කාහු “නැවතත් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් උගනිමි”යි සිතා පිටත් වූහ. මෙසේ පෙරළා එත්මැ, වනයෙහි බුර බුරා නැඟ එන්නා වූ ලැව් ගින්නක් දුටුවාහු, තුරුලියෙන් තොර කඳු මුදුනකට නැඟ බලාගත්වනම සිටියාහු, ගස්කොළන් දවමින් පැතිර යන්නා වූ ලැව්ගින්න දැක “මේ ලැව්ගින්න කුඩා, මහත් ගස්කොළන්, පරඩලාදිය දවමින් පැතිර යන්නාක් මෙන් ආර්ය මාර්ග ඥාන නමැති ගින්නෙන් කුඩා වූ ද මහත් වූ ද සංයෝජනයන් දවමින් (වනසමින්) ඉදිරියට යා යුතු වන්නේයැයි සිතමින් සිටියෝ ය. මෙසේ හිතමින් හුන් ඒ භික්‍ෂූන් වහන්සේ කරුණා නිධාන වූ බුදුරජාණන් වහන්සේගේ නුවණැසට පෙනී, උන්වහන්සේ අමතා “මහණ, ඔබ සිතූ සිතිවිල්ල ඉතා මැනවැ. සත්ත්වයන්ගේ සිත තුළ තිබෙන්නා වූ කුඩා, මහත් සංයෝජන (බැමි) මේ වනයෙහි තිබෙන කුඩා, මහත් තුරුලිය බඳු ය. ඒ නිසා ඒ සංයෝජන ආර්‍ය මාර්ග නමැති ගින්නෙන් දවා නැවත නූපදනා බවට පත්කළ යුතුයැයි පවසා ගාථාව දේශනා කළ සේක.

ගාථාවේ අදහස

නො පමාවෙහි ඇළුණු, පමාවෙහි බිය දක්නා සුළු, භික්‍ෂු තෙමේ ලොකු කුඩා බන්ධන නම් වූ දස සංයෝජනය ආර්‍ය මාර්ග නමැති ගින්නෙන් දවමින් නිවනට යන්නේ ලොකු කුඩා ගස්කොළන් පරඩලාදිය දවමින් යන ලැව්ගින්නක් මෙනි.

මෙයින් ද බුදුරජාණන් වහන්සේ අප්‍රමාදයෙන් ක්‍රියා කරන්නා වූ භික්‍ෂූන් වහන්සේ ඒ අප්‍රමාදයෙන් උපදවා ගතයුතු වූ මාර්ග ඥාන නමැති ගින්නෙන් සත්ත්වයා සසර බැඳ තබන්නා වූ කෙලෙස් බැමි දවමින් නිවන් සැපත් වෙතැ යි දේශනා කළ සේක.

අප්පමාදරතො

අප්‍රමාදයෙන් ඇලුණු යනු යි. සසර දුක් දුරුකොට නිවන පසක් කරනු කැමැත්තන් විසින් අප්‍රමාදයෙහි ඇලී විසිය යුතු ය. නිවනෙන් මෙපිට සෙසුත් යම්තාක් යහපතක් ඇත්නම්, ඒ හැම යහපත සැලැසෙන්නේ ද අප්‍රමාදයෙහි ඇලී ඒ ඒ දේ පිණිස කළ මනා කාර්යයන් කිරීමෙනි. අප්‍රමාදය නම් මනා සිහියෙන් යුක්තව සැලකිලිමත් වී යහපතෙහි යෙදීම යි. මුළු බුදුදහමේ අප්පමාද පදයෙහිලා ගැනෙන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කිරීමෙන් ම අප්‍රමාදය කොතරම් අවශ්‍ය ධර්මයෙක් දැ යි තේරුම් ගැනීම අපහසු නැත.

පමාදෙ භයදස්සිවා

පමා බවෙහි බිය දක්නා ස්වභාවය ඇත්තේ යනුයි. අප්‍රමාදයට පටහැනි ධර්මය පමාවයි. ඉඳුරන් පිනවමින් පස්කම් සුවයෙහි ගැලී වෙසෙමින් ගුණ දහම් දියුණු කැරැ ගැනුම පිණිස කිසි උනන්දුවක් නොමැතිව ක්‍රියා කිරීම ප්‍රමාද නමි. එසේ ප්‍රමාදශීලී ව ක්‍රියා කරන අයට නරකා දී සතර අපාදුකෙහි ගිලෙන්නට සිදුවීම නොවැළැක්විය හැක්කේ ය. එහෙයින් ප්‍රමාදය බියකරු දහමක් බව තේරුම් ගත යුතු ය.

මෙසේ ප්‍රමාදයෙහි දොස් දැක, සසර බිය උපදවා ගනු ලබන තැනැත්තා අප්‍රමාදයෙහි ඇලී බැඳීි පිළිවෙත් පුරන කල්හි සංයෝජන ධර්මයන් සිඳී බිඳී ගොස් නිවන් පසක් කිරීම එකැතියෙන් ම සිදුවන්නේ ය.

සංයෝජනං අණු ථුලං

කුඩා මහත් සංයෝජන යනු යි. සත්ත්වයා සංසාර දුකෙහි යොදනා සසර දුකෙහි අල්ලා ගැටගහන යන අරුත සංයෝජන යන්නෙහි තිබේ. සත්ත්වයාට සංසාර දුකෙන් මිදී නිවන පසක් කිරීමට ඉඩ නොහරින්නා වූ මේ සංයෝජන ධර්ම දහයකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යනුයි.

සක්කාය දිට්ඨි

යනු ආත්ම දෘෂ්ටිය යි. උපාදානස්කන්ධ පංචක නමින් පවත්නා මේ කය අරමුණු කොට මම, මගේ යනාදී වශයෙන් මුළා වී, විපරිත ලෙස පහළ කැරැ ගන්නා වූ ආත්ම දෘෂ්ටිය යි. එය විසිවැදෑරුම් ය.

විචිකිච්ඡා

සැකය යි. මෙහිලා ගැනෙන්නේ සාමාන්‍ය සැකය නොව, බුද්ධා දී අටතන්හි හා තමන් ගැන පහළවන්නා වූ සොළොස් ආකාර සැකය යි. එනම් බුද්ධරත්නය කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, අධිශීලාදී ශික්‍ෂාවෙහි, සත්ත්වයාගේ පූර්වාන්තය කෙරෙහි, සත්ත්වයන්ගේ අපරාන්තය කෙරෙහි, පූර්වාන්ත අපරාන්තයන්හි, පටිච්චසමුප්පාදයෙහි යන මේ ස්ථාන අටේ පවත්නා සැකය සහ මම පෙරැවීම් ද, පෙර මම් නොවීම ද, පෙර මම් කවරෙක් වීම් ද, කවරාකාරයෙකින් වීම් ද, කවරෙක් වී කවරෙක් වීම් ද, මම අනාගතයෙහි වන්නෙම්දෝ, මම අනාගතයෙහි නො වන්නෙම්දෝ, මම අනාගතයෙහි කවරෙක් වන්නෙම්දෝ, මම අනාගත කාලයෙහි කවරාකාරයෙකින් කවරෙක් වන්නෙම්දෝ, මම අනාගත කාලයෙහි කවරෙක් වී කවරෙක් වන්නෙම්දෝ, මම වෙම්දෝ, මම නොවෙම්දෝ, කවරෙක් වෙම්දෝ, කොයිවිදියකින් වෙම්දෝ, මේ මම නම් වූ සත්වයා කොහිසිට ආවෙම්දෝ, හෙතෙම කොහි යන්නෙක් වේ දෝ යන සොළසයි. මෙකී කවර සැකයක් තිබුණත් ඔහුගේ ගුණ වගාවට එය අවහිර ය, බන්ධන ය.

සීලබ්බත පරාමාස

බුදුසසුනෙන් බැහැර වූ වෙන සසුන්වල දැක්වෙන්නා වූ ශීලයෙන් පිරිසිදු වනු හැකි ය. ව්‍රතයෙන් පිරිසිදු වියැ හැකි ය. ශීල ව්‍රතයෙන් පිරිසිදු විය හැකි යැයි විශ්වාස කොට එහි යෙදීම ශීලව්‍රතපරාමාස නමි. මෙහිලා යමක් නොකරමි යි වැළකීම ශීලයයි. තවදුරටත් සංසාර විමුක්තිය පතමින් “සන්තෙ තෙ සමණා බ්‍රාහ්මණා වත සුද්ධිකා තෙ හත්ථි වතිතාවා හොන්ති අස්ස වතිතා වා හොන්ති” යනාදී වශයෙන් දේශනා කළ පරිදි ඇත්, අස්, ගව, බලු, කාක යනාදී සතුන් දිවි ගෙවන පරිදි එලෙස ම ඉරියව් පවත්වමි යි දැඩි අදිටනින් සමාදන් වී දිවි තොරවන තරම් අවස්ථාවක් එළැඹියත් ඒ ව්‍රතය අත් නොහැර ආරක්‍ෂා කිරීම ‘ව්‍රත’ නමි. එපමණක් ද නොව, තවත් යම්තාක් ශරීරයට දුක් උපදවන්නා වූ පැවතුම්හි යෙදී අත්නොහැර රකී නම් ඒවා ද ව්‍රත

සංඛ්‍යාවෙහිලා ගැනේ.

කාමරාග

එකොළොස් වැදෑරුම් කාම භවයෙහි ඉන්ද්‍රියානින්ද්‍රිය වස්තූන් කෙරෙහි ඇල්ම කාමරාග නමි. මෙසේ කාමරාග නමින් හැඳීන්වෙනුයේ ඒ ඇල්ම දැඩිව පවත්නා අවස්ථාවට යි. එසේ නොවේ නම් කාමච්ඡන්ද නමින් හැඳීන්වේ.

පටිඝ

තමන් නොකැමැති වස්තූන් කෙරෙහි විරුද්ධ ව හැපීම යන තේරුම පටිඝ යන වචනයෙහි ඇත. තරහ, ක්‍රෝධය, ද්වේශය යන නමිනුදු හැඳීන්වේ.

රූපරාග

රූප ලෝකයන්හි පහළවන්නා වූ බලවත් ඇල්මයි. එය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම ලෝකයෙහි පටන් අකනිටා බඹලොව තෙක් පවත්නා ස්කන්ධ ධාතු ආයතනයන්හි පවත්නා ගිජුකමයි.

අරූපරාග

අරූප ලෝකයන් පිළිබඳ ඇල්මයි. ආකාසානඤ්චායතනයේ පටන් නේවසඤ්ඤායතනය දක්වා පවත්නා ස්කන්ධ ධාතු ආයතනයන්හි බලවත් ඇල්මයි.

මාන

උඩඟුකමයි. සෙය්‍ය, සදිස, හීන වශයෙන් තුන් වැදෑරුම් වූ මානය ඒ ඒ පුද්ගලයන්ගේ වශයෙන් ද එක් එක්කෙනාට තුන් තුන් පරිද්දෙන් පහළ වියැ හැකි බැවින් නවාකාර වේ.

උද්ධච්ච

සිතේ නොසන්සුන් ගතියයි. නානාරම්මණයන්හි විසිර පවත්නා ගතිය යි. මේ ගතිය නිසා කුසලාරම්මණයෙක්හි සිත තැන්පත් කැර ගැනුම අතිශයින් දුෂ්කර ය.

අවිජ්ජා

නොදැනීම, තත්වාබෝධය නැති බව, මුළාව, මෝහය යනාදී මේ නම්වලින් හඳුන්වනු ලැබේ.

මෙකී දහම් දසය සංයෝජන නමින් දැක්වෙන්නේ සත්ත්වයාට සසරින් නික්මෙන්නට නොදී සංසාරයෙහි ම හිරකර තැබීම පිණිස ප්‍රධාන වශයෙන් හේතුවන බැවිනි. මේ දස සංයෝජනය දෙකොටසක් කොට බෙදා ඇත. ඕරම්භාගික සංයෝජන, උද්ධම්භාගික සංයෝජන යනු ඒ දෙකොටසයි. සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ යන පස ඕරම්භාගික සංයෝජනයෝ ය.

කාම ලෝකය ‘ඕරං’ යන නමින් හැඳීන්වේ. ඕරං නමින් හඳුන්වනු ලබන කාමලෝකයෙහි සත්ත්වයා හිරකොට තබනුයේ මෙකී බන්ධන පසෙහි එය පක්‍ෂියකු පියාසර කරන්නට නො පිළිවන් වන පරිදි යටින් ගැටගසා තැබීම මෙනි. මෙකී ඕරම්භාගික සංයෝජනවලින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුන සෝවාන් මාර්ගයෙන් වැනැසෙන්නේ ය. මේ තුන විනාශ වීම නිසා ඒ පුද්ගලයාගේ සසර ගමන සීමා වන්නේ ය. සෝවාන් පුද්ගලයකු එම ජීවිතයේ දී ඉතිරි මාර්ග ඥාන උපදවා ගත නොහැකි වුවොත්, මේ සප්ත කාම ස්වර්ගයෙහි ජාති සතකට වඩා නූපදින්නේ ය. සත්වැනි ජාතියේ දී ඉතිරි මාර්ග ඵල උපදවා පිරිනිවන්නේ ය. සෝවාන් මඟිින් නැසෙන්නා වූ මෙකී සංයෝජන තුන අනෙක් සංයෝජනයන්ට වඩා බලවත් ය. එහෙයින් ඒ තුන නැසීම නිසා ඒ පුද්ගලයාගේ සසර ගමන සත් වසරකට සීමා වූයේ ය. සෙසු ඕරම්භාගික සංයෝග දෙක වන කාමරාග, පටිඝ දෙක සකදාගාමී මාර්ග අවස්ථාවේ දී ගොරෝසු ගති අඩු වී අනාගාමී මාර්ගයෙන් සහමුලින් නැසෙන්නේ ය. මෙකී සංයෝජන පස ථූල (දැඩි) සංයෝජනයෝ ය.

දස සංයෝජනයෙන් ඉතිරි වී තිබෙන සෙසු සංයෝජන පස වන රූපරාග, අරූපරාග,මාන, උද්ධච්ච, අවිජ්ජා යන පස උද්ධම්භාගිය සංයෝජන නමින් හැඳීන්වේ. රූපා රූප භව නම් වූ උඩ පසැ පැවැත්මට හේතු වන්නා වූ සංයෝජන ධර්ම නිසා ඔවුන්ට මේ නම ලැබී ඇත. මේ පස පෙරැකී ඕරම්භාගික සංයෝජන පසට වඩා සියුම් ය. මේ පස රහත් මාර්ග ඥානයෙන් සිඳී වැනැසී යන්නේ ය. එසේ වූ විට රහතුන් වහන්සේ “ඛීණා ජාති වුසිතං” සංයෝජන වැනැසූ හෙයින් සසර ඉපදීම අවසන් කරන ලදී, යනාදී ප්‍රීති වාක්‍ය පහළ කරන සේක. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් සංයෝජන වැනැසෙත් ය. එය ලැව් ගින්නෙන් සුළු මහත් දැව දර දැවී යන්නාක් මෙනි.

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පෙර සඳහන් ගාථාව ඇසූ භික්‍ෂූන් වහන්සේ ඒ කඳු මුදුන්හි දී ම සියලු සංයෝජන වනසා සිවුපිළිසිඹියාවන් ලබා රහත් වී දෙව්රම් වෙහෙරට අහසින් වැඩම කොට, බුදුරජාණන් වහන්සේට වැඳ පසසා වැඩි සේක.

නිබ්බාණ පච්චයො හොතු