සිත පිරිහෙන
කෙලෙස්
ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
සිත අපිරිසිදු කරන ධර්ම කාරණා පිළිබඳ බොහෝ දේශනාවල දී බුදුරජාණන් වහන්සේ අපට කියා
දෙනවා. අංගුත්තර නිකාය 01 පොත් වහන්සේගේ දුක නිපාතයේ සඳහන් වනවා, ‘කෝධ වර්ගය’
යනුවෙන් කොටසක්. එහි අඩංගු වන, සිතේ අකුසල් යුගල බැගින් දේශනා කළ කාරණා කීපයක් ඉගෙන
ගන්නයි අද අපි සූදානම් වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා මේ අකුසල ධර්මයන් ඇසුරු කරමින් වාසය කරන කෙනා
දුක සේ වාසය කරනවා කියලා. ඒ වගේ ම නිවන් මඟේ හික්මෙන ශ්‍රාවකයාගේ පිරිහීම පිණිස
හේතු වෙනවා කියලා.ඒ වගේම මේ පෙන්වා දෙන ධර්මයන් ඇසුරු කිරීමෙන් මරණින් මතු නිරයේ
උපදිනවා කියලත් පෙන්වා දෙනවා.
ක්‍රෝධය කියන්නෙ මොකක්ද? කිපීම යි. යම් කෙනෙක් කිපෙන සිතින් වාසය කරනවා නම් ඔහු
ක්‍රෝධ සම්පන්නයි. ක්‍රෝධය ගැන මෙසේ බුදුරජාණන් වහන්සේ එක්තරා දෙවි කෙනකුට කියා
දෙනවා.
‘ක්‍රෝධය නසා දැමීමෙනුයි සනීපෙට නින්ද යන්නේ. ක්‍රෝධය නසා දැමීමෙනුයි ශෝක නො
කරන්නේ. පින්වත් දේවිය, විස මුල් තියෙන (පළිගැනීම නම් වූ) මිහිරි අග ඇති, ක්‍රෝධය
නැසීම ගැන ආර්යයන් වහන්සේ ප්‍රශංසා කරනවා. ඔය ක්‍රෝධය නසා දැමූ කෙනා ශෝක කරන්නේ
නෑ.”
උපනාහය කියන්නේ මොකක්ද? බද්ධ වෛරයයි. බලවත් ක්‍රෝධයකින් වෛරය දිගින් දිගට පවත්වන
සිතක් අපට තිබෙනවා. බද්ධ වෛරය කල්ප ගණන් පවත්වා මහා විපතක් කර ගත් කෙනෙක්. දේවදත්ත
කියන්නේ. දේවදත්ත විසින් බෝසතාණන් වහන්සේට ඒ ඒ භවයේ දී අප්‍රමාණ කරදර කළේ බද්ධ
වෛරයෙන් නේ ද?
සාමගාම සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා
“යම් මේ භික්ෂුවක් ක්‍රෝධයෙන් යුක්ත වෙයි ද? බද්ධ වෛරයෙන් යුක්ත වෙයි ද? ඔහු වාසය
කරන්නේ ශාස්තෘන් වහන්සේ කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේ ම
ඔහු වාසය කරන්නේ ධර්මය කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඒ වගේ ම ඔහු
වාසය කරන්නේ සංඝයා කෙරෙහි පවා අගෞරවයකින් යුක්තව හිතුවක්කාර ලෙසයි. ඔහු ශික්ෂාව
සම්පූර්ණ කරන කෙනෙක් නො වෙයි. අන්න ඒ භික්ෂුව සංඝයා අතර වාද විවාද උපදවනවා’ කියන
කාරණය.
මක්ඛ කියන්නෙ හොඳ දේ කිරීම මකා දමන ගතිය යි. ගුණමකුකම යි. ලෝකයේ අන් අයගේ ගුණ ධර්ම
නුගුණ ලෙස හුවා දක්වන ගතියක් මේ හිතට තිබෙනවා. කළගුණ දැකීමත්, කළගුණ සිහි කිරීමත්
කියන්නෙ සත්පුරුෂ භාවයටයි. කළගුණ සිහි කිරීමේ උතුම් ගුණය පවා මේ නිසා වැළලී යනවා.
ධර්මය අවබෝධ කිරීම සඳහා උපකාරී වන ප්‍රධානතම අංගයක් වන සත්පුරුෂ භාවය අහිමි වෙනවා.
තමාගේ දියුණුවට අන්‍යයන්ගේ උපකාරය පහත් කොට සලකමින් තමාගේ හැකියාව, තමාගේ උත්සාහය
ඉස්මතු කර පෙන්වන කෙනා මේ අකුසලය පවත්වනවා.
පලාස කියන්නේ තරගයට කටයුතු කිරීමයි. එකට එක කිරීම යි. අනුන් පරයා යන අන්දමින්
කටයුතු කරන්නට පෙළඹෙන්නේ මේ අකුසලය නිස යි. මේ අගුණය ඇත්තා විසින් අනුන්ගේ තත්ත්වය
නො සලකා, අනුන්ගෙන් ගත යුතු ධර්මයන් නො ගෙන, අනුන් හා වාදයට යාම සිදු කරයි.
යුගග්‍රාහී වනවා කියන්නෙ මේකටයි. තමාට නො හැකි කටයුතු, නො හැකි ඉලක්ක ජය ගන්නට
යාමෙන් විනාශයට පැමිණෙන්නේ මේ අකුසලය නිස යි.
ඉස්සා කියන්නේ ඉරිසියාවටයි. භව භෝග, වස්තු සම්පත් ආදී නොයෙක් ලාභ අන් අයට ලැබෙනවාට
ඇති අකැමැත්ත ඉරිසියාවයි. යම් ලාභයක් අනුන් සතු ව පවතින විට නො ඉවසන ගතියයි.
අනුන්ගේ ධනයට, බලයට, වර්ණයට, දැනුමට, හැකියාවට, මනා කොට ඇති පුරුදුවලට, මතකයට, පුද
සත්කාරයට ඇති අකැමැත්ත නිසා ම ඔහු අනුන් නසන අදහස, අපහාස කරන අදහස, පහත් කොට සිතන
ගතිය පවත්වයි. ඉරිසියාව පවත්වා ප්‍රේතයන් ව ඉපදුණු පිරිස ගැන පේතවත්ථු කතා වස්තුවේ
සඳහන් වෙනවා. ඉරිසියාව නිසා ලෝකයේ සිදුවන අපරාධ කෙළවරක් නැහැ. රට රටවල්, ජාතීන්,
ආගම් අතර පවා ඉරිසියාව නිසා කල කෝලාහල ඇති වෙනවා. අනුන් නසන අදහසට සිත පමුණුවන
ඉරිසියාව දුරු කිරීම ම යි හොඳ. ඒ වගේ ම මේ අකුසලය නිසා නිරයේ උපදින බව අප මුලින්
ඉගෙන ගත්තා නේ ද?
මච්ඡරිය කියන්නෙ මසුරු බවයි. තමා සතු වස්තු සම්පත් අන් සතු වනවාට ඇති කැමැත්ත මසුරු
බවයි. මේ නිසා ම තම වස්තු සම්පත් රකින්නට නොයෙක් උපක්‍රම කරන්නට මසුරුකම් ඇත්තා
පෙළඹෙනවා. අදින්න පුබ්බක වැනි අතීතයේ විසූ මසුරු සිටුවරු නිසා තමාත් දුක් විඳ, තම
දූ දරු, නෑ හිත මිතුරන් ද දුක් විඳි ආකාරය ධර්මයේ සඳහන් වෙනවා.මසුරා තමා සතු වස්තු
සම්පත් නොයෙක් තැන සඟවනවා. රකින්නට ආරක්ෂක උපක්‍රම යොදවනවා. රකින වස්තුව පරිහරණයට
හිත නො නැමෙන නිසා ම ඔහු ගත කරන්නේ දුක්ඛිත ජීවිතයක්. දන් දීම, අත් හැරීම යනු ඔහුට
මහත් පීඩා සහිත ක්‍රියාවන්. දන් දුන්න ද මසුරා දෙන්නේ කුඩා ප්‍රමාණයක්. අහක දාන
දෙයක් හෝ දෙන්නේ ඉතා අමාරුවෙන්.
භික්ෂුවට ද තමා වැඩ වසන ආවාස සඳහා, තමාට ඇප උපස්ථාන කරන දායක පිරිස් සඳහා, සිවුපස
ලාභය සඳහා, තමා පිළිබඳ අනුන්ගෙන් ගුණ වර්ණනා ලබා ගැනීම සඳහා, සිය රූපකාය සඳහා මසුරු
බව ඇතිවන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.
මායා කියන්නේ තමා පිළිබඳ සත්‍ය ස්වභාවය වසා කටයුතු කිරීමයි. පාපී දේ රහසිගත ව කරයි.
නමුත් ලෝකයට විවෘත නො කරයි. මායා ඇත්තාට සිල් රකින්නට නො හැකියි. සීලයෙන් පිරිසිදු
වන්නට ඇත්තේ වැඩිහිටි සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට විවෘත වී තමාගේ කායික, වාචසික වරද
පවසා එය මතු නො කරන අයුරින් සංවර වීමෙන්. මායා ඇත්තා කළ පාපය සිතේ සඟවා ‘වචනයෙන් ද,
කයෙන් ද තමා හොඳ කෙනෙකැයි’, නො දරන ගුණ ලෝකයට පෙන්වනවා. සිත කය වචනය නිසා හට ගන්නා
කර්මය ඒකාන්තයෙන් විපාක සහිත යැයි කියා දෙන සම්බුදු වචන පිළිගත් කෙනා මායාව අත්හැර
පිරිසිදු භාවයට හෙවත් සිත කය වචනයෙන් සුචරිතයට පැමිණෙනවා.
සාඨ්‍යෙය කියන්නේ කපටි කෛරාටික ගතිය යි. කෛරාටිකයා අනුන් රවටන ගති ඇත්තෙක්.
ව්‍යාපාර දියුණුවට කෛරාටිකකම් පවත්වා ලෝකයේ බොහෝ පිරිස් දුක් සහිත අකුසල කර්ම විපාක
වශයෙන් රැස් කර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ව්‍යාපාර සඳහා උපාය මාර්ගික ව
විමංසන ගතිය ඇති කර ගන්නා ලෙසයි. නමුත් කෛරාටික ගතියත්, විමංසන නුවණත් පටලවා ගන්නෝ
බොහෝ යි. ව්‍යාපාරිකයා කෛරාටික බව නිසා භාණ්ඩවල නැති ගුණ කියන්නට ගොස් බොරු කීමේ
අකුසලය කරනවා. භාණ්ඩවල ගුණාත්මක බව අඩු කොට නිපදවා වංචාවෙන් ලාභ ලබනවා. ධනය සොයන
අටියෙන් ආහාර ආදියට වස විස දමා මහත් පාපී අකුසල් රැස් කර ගන්නවා.
කෛරාටිකයා ද ලාභ සත්කාරය පිණිස නැති ගුණ පෙන්වන්නෙක්. තමා කෙරෙහි නැති දැනුමක්
පෙන්වා, සිල්වත් බවක් පෙන්වා, තැන්පත් බවක් පෙන්වා අනුන් රවටන ගතියෙන් යුතු වෙනවා.
ඒ වගේ ම “අපි සිල් නො ගත්තාට පවු කරන්නේ නැහැ නෙ” යි කියා කෛරාටිකයා සීලය අත්හැර
වාසියට කටයුතු කරනවා.
අහිරික බව යනු පාපයට ලජ්ජා නැතිකම යි. පාපයට ලජ්ජා නැත්තා දුසිරිත තමාට ජීවත්
වෙන්නට උපකාර වේ යයි සිතා පවත්වයි.
ලොවට පෙන්වන්නට සුචරිතයක් පමණක් පවත්වයි. හිරි ධර්මය නැති ජනයා හැසිරෙන්නේ ගරුසරු
භාවයෙන් තොරව යි. උපකාරය අමතක කොට අනුන් ද, තමා ද නසා දමන පාපී ක්‍රියා කරන්නට
ඔවුන්ට පැකිලීමක් නැහැ. පවට ලජ්ජා නැත්තා විසින් පාපය ප්‍රශංසාවට ලක් කරයි, පිනට
ගරහයි, පාපයේ නියැළෙන්නන් අගය කරයි.
අනොත්තප්පය යනු පාපයට බිය නොවන ගතිය යි. පාපී දෑ කිරීම නිසා ලෝකයෙන් ලැබෙන උපවාදයට
ඔහු බියක් නැහැ. පාපය නිසා රැස්වන කර්ම විපාකයට ද බියක් නැහැ. ඔහුට පාපය පිහිටක්.
පිළිසරණක්. පාපයෙන් ඔහු යැපෙමින් ලබන ලාභය නිසා සතුටින් ඉන්නවා යැයි ඔහු සිතයි.
හිරි ඔත්තප්ප ධර්මයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණක් මෙසේ අපි
සිහිපත් කර ගනිමු.
“පින්වත් මහණෙනි, මේ ලෝකය පාලනය කරන කුසල් දහම් දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? (පවට
ඇති) ලජ්ජාවත්, (විපාකයට ඇති) බයත් ය. පින්වත් මහණෙනි, මේ කුසල් දහම් දෙකෙන් ලෝකය
පාලනය කරන්නේ නැත්නම්, මේ ලෝකයෙහි මේ ‘මව්’ කියලා හරි, ‘සුළු මව‘ කියලා හරි,
‘නැන්දා’ කියලා හරි, ‘ගුරුවරයාගේ භාර්යාව‘ කියලා හරි, ‘ගරු කළ යුතු අන් භාර්යාවන්’
කියලා හරි පැනවෙන්නේ නැහැ. එහෙම වුණේ නැත්නම්, මේ ලෝකය එළු බැටළුවන් වගේ, කුකුළන්
ඌරන් වගේ, බලු හිවලුන් වගේ මිශ්‍ර වෙලා ගෞරව කිරීමේ සම්මුතිය බිඳ ගන්නවා. පින්වත්
මහණෙනි, යම් විදිහකින් මේ කුසල් දහම් දෙක විසින් මේ ලෝකය පාලනය කරන නිසා තමයි මේ
‘මව‘ කියලත්, ‘සුළු මව‘ කියලත්, ‘නැන්දා’ කියලත්, ‘ගුරුවරයාගේ භාර්යාව‘ කියලත්,
‘ගරු කළ යුතු අන් භාර්යාවන්’ කියලත් පැනවෙන්නේ.” |