Print this Article


තමන් තමන්ට සතුරු වන හැටි...

තමන් තමන්ට සතුරු වන හැටි...

රජගහ නුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියෙක් විසී ය. හෙතෙමේ දිනක් බණ අසනු කැමැත්තෙන් වේළුවනාරාමයට ගියේ ය. තමන් කුෂ්ඨ රෝගයෙන් පෙළෙන නිසා පිරිස අතරෙහි නො හිඳ, කොනකට වී බණ ඇසී ය.

බණ ඇසීමේ තිබෙන වටිනාකම ගැන තේරුම් ගෙන බණ අසන්නට ගියා වූ මේ පුද්ගලයා හොඳීන් ධර්මය කෙරෙහි කන් යොමු කැරැගෙන බණ ඇසූ නිසාත්, නුවණ මෝරා තිබූ නිසාත් සෝවාන් වූයේ ය. මෙසේ සෝවාන් වූ මේ සුප්‍රබුද්ධට එක්තරා අදහසක් පහළ විය. එනම් තමන් සෝවාන් වූ බව බුදුරජාණන් වහන්සේට දැනුම් දීමටයි. එබැවින් බණ ඇසූ පිරිස පිටවී ගිය පසු මෙතෙමේ සෙමින් සෙමින් බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන විහාරයට ඇතුල් විය.

එවිට සක්දෙව් රජුට මේ සුප්‍රබුද්ධයන් පරීක්‍ෂා කිරීමට සිතී අහසෙහි සිටැ, සුප්‍රබුද්ධ ය, තෝ මිනිස් දිළින්දෙකි. පහත් පුද්ගලයෙකි. ඒ නිසා මම තට මුදලක් දෙන්නම්. තෝ මෙසේ කියව. මේ බුදුන් නොවේ. මේ ධර්මය නොවේ. මේ සංඝයා නොවේ. මට බුදුන්ගෙන් වැඩක් නැත. ධර්මයෙන් වැඩක් නැත. සංඝයාගෙන් වැඩක් නැත. යනාදී වශයෙන් කියවයි කීවේ ය.

ඒ වචන ඇසුනා වූ සුප්‍රබුද්ධ වටපිට බලා “තෝ කවරෙක්දැ”යි ඇසී ය. “මම ශක්‍ර වෙමි”යි ශක්‍රයා පිළිතුරු දින. එවිට සුප්‍රබුද්ධ “මෝඩය, නුඹ මට එසේ කීමට කිසිසේත් ම සුදුසු නැත. මම දුප්පතෙක් නොවෙමි. බැගෑපත් කෙනෙක් ද නොවෙමි. මම මහත් ධනවතෙක්මි. මම සද්ධා දී ආර්‍ය ධනයෙන් යුත් ධනවතෙක්මි. ස්ත්‍රී, පුරුෂ කොයි කාට හෝ ආර්‍ය ධන තිබේ නම්, හේ දිළින්දෙකැ යි හඳුන්වන්නට නො පිළිවන් ය. ඔහුගේ ජීවිතය නොසිස් වූ පරිපූර්ණ ජීවිතයකි, යනුවෙන් බුද්ධා දී උතුමෝ ප්‍රකාශ කරති”යි සුප්‍රබුද්ධ කීවේය.

ඉන්පසු සක්දෙව් රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ඔහු කී සියල්ල ම බුදුරජාණන් වහන්සේට කීවේ ය. එවිට බුදුරජාණන් වහන්සේ “සක් දෙවිඳුනි, ඔබ වැනි දහසක් දෙනකුටවත් සුප්‍රබුද්ධයන් ලවා බුදුන් නො බුදුන් ය. දහම නො දහම ය. සඟුන් නො සඟුන් ය කියා කියවන්නට නො පිළිවන් යැයි වදාළ සේක.

සුප්‍රබුද්ධ තෙමේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් තුටු පහටු වී තමන් පහළ කර ගන්නා ලද මඟඵල දහම් පවසා වැඳ යන්නට ගියේ ය.

මඳ දුරක් ගියා පමණි. තරුණ එළදෙනක විසින් අණින ලදුවැ, සුප්‍රබුද්ධ මැරී වැටුණේ ය. මේ අන් කිසිවකු නොව, ගවදෙනක වේශයෙන් ආ යකින්නකි. පුක්කුසාතිය, බාහියදාරුචිරිය, තම්බදාඨීක චෝරඝාතකය, සුප්‍රබුද්ධ කුෂ්ටිය යන සතර දෙනා ම මේ අත්බැව්හි දී පමණක් නොවැ මෙයින් පෙරැ ආත්මභාව සීයක දී ම මැය විසින් ම මරා දමන ලදහ. එසේ වීමට හේතු වූ අකුසල කර්මය සැකෙවින් මෙසේ දැක්වේ. පෙරැ කී පුක්කුසාතිය, බාහියදාරුචිරිය, තම්බදාඨීක චෝරඝාතකය, සුප්‍රබුද්ධය යන සතර දෙනා ම පෙර සිටු කුමරුවන් වැ ඉපිදැ, තරුණ වයසේ දී වෛශ්‍යාවක සමඟ උයනකට ගොස් සිත් සේ දවස පුරා කම්සුව විඳැ, ඇය මරා දමා ගියෙන්, ඒ අවස්ථාවේ ඇගේ සිතේ පහළ වූ කෝපයෙන් “මේ අකෘතඥ පාපිෂ්ඨයන් මා මැරුවොත් මම යක්‍ෂණියක් ව මොවුන් මරා කන්නෙමි”යි සිත සිතා සිටිද්දී ම ඇය මරා දැමීමේ පාප කර්මය විපාක දීම නිසා සුප්‍රබුද්ධටත්, අනෙක් තිදෙනාටත් ඒකාකාරව ම මරුමුවට පත්වන්නට සිදු වූ බව ප්‍රකාශව ඇත.

භික්‍ෂූන් වහන්සේ දම්සභාවෙහි රැස්ව සුප්‍රබුද්ධ කුෂ්ඨයාගේ මැරුම් කෑම අසා ඔහු කොහි උපන්නෙහි ද? ඔහුට මෙබඳු කුෂ්ඨ රෝගයක් වැළඳුනේ කුමක් හේතුකොට ගෙනදැයි යන කතාව කරමින් සිටිය දී එහි වැඩම කළා වූ බුදුරජාණන් වහන්සේ මහණෙනි, සුප්‍රබුද්ධ සෝවාන් ඵලයට පැමිණ සිටි බවත්, මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන් බවත් ප්‍රකාශ කොට ඔහු පෙර ජාතියෙක්හි දී තගරසිඛී නමැති පසේ බුදුන් වහන්සේ දැක උන්වහන්සේ කෙරෙහි මහත් අගෞරවයෙන් කාරා කෙළ ගසා, උන්වහන්සේට නින්දා පරිභව කොට, ඒ පාප විපාකයෙන් නිරයේ ඉපිද, දුක්විඳ ඉතිරි වූ පාපකර්ම විපාකයෙන් මේ ආත්මභාවයේ දී මෙබඳු කුෂ්ඨ රෝගයක් වැළැඳුණු බවත් හෙළිකොට වදාරා,

චරන්නි බාලා දුම්මේධා
අමිත්තෙනෙච අත්තනං
කරොන්තා පාපකං
කම්මං යං හොති කටුකප්ඵලං

යන ගාථාව දේශනා කළ සේක.

දෙලොව යහපත ගැන නො දන්නා වූ, මෝඩයෝ රළු වූ, කටුක විපාක ගෙන දෙන්නා වූ පව්කම් කරමින්, තමන්ට ම තමන් සතුරකු කැරැගෙනැ වාසය කරන්නාහු ය, යනු ගාථාවේ අදහස යි.

මෙයින් බුදුරජාණන් වහන්සේ පව්කම් කරන්නෝ අනුවණයෝ යැයි දේශනා කළ සේක. එසේ දේශනා කෙළේ පාප කර්මයන්හි විපාක වශයෙන් පවත්නා වූ කටුකකම තේරුම් ගැනීමට තරම් නුවණක් ඔවුන්ට නොමැති හෙයිනි.

සචෙ භායසි දුක්ඛස්ස
සචෙතෙ දුක්ඛම්ප්පියං
මාකත්ථ පාපකං කම්මං
ආවි චා යදිවා රහො

යන වශයෙන් දුකට බිය නම්, දුක අප්‍රිය කරනවා නම් එළිපිට හෝ රහසිගත ව හෝ පව් වැඩ නොකරන්නැයි බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ සේක. පාප කර්මයෙන් කටුක වූ දුක් විපාකයක් මිසැ මඳ වූ හෝ සුඛ විපාකයක් නොමැත. එහෙයින් නුවණැත්තෙක් නම් පව් කරන්නේ නැත. පව් කරනවා තබා පව් කිරීමට සිතිවිල්ලක්වත් පහළ කරන්නේ නැත. යමෙක් පව් කරනවා නම්, ඔහුට සතුරා ඔහුමැ ය. පව් කරන තැනැත්තා සතුරු වූ තමන් සමඟ ම මෙසේ පෙරැ කරන ලද පාපකර්ම ශක්තිය ද තමන් තුළ ද ගැබ් වී ඇත. ඒවා විපාක දීමට අවස්ථාව එළැඹෙත්මැ, මතු වී අඩු නැතිව විපාක දෙන්නේ ය. ඒ පාප කර්මයන්හි දරුණු ප්‍රමාණය අනුව විපාක ද දරුණු ය. සියදහස් ජාතීන්හි පාපකර්ම විපාක විඳීන්නට සිදුවන්නේ ය. එය මැනවින් වටහාගත් නුවණැත්තෝ කිසිවිටෙකැ පව් නොකරති. පව්කම්හි බරපතළකම තේරුම් නොගත් අනුවණයෝ ම පව්කම් කොට, අපමණ දුකට භාජනවෙති. එහෙයින් පව් කරන්නා තමන්ට ම තෙමේ සතුරා යැයි දේශනා කොට වදාළේ.

කර්මය නම් චේතනාව යි. එය ප්‍රතිසන්ධි විපාක දීමේ දී ජනක කර්ම නමි. ජනක කර්ම විපාකයට රුකුල් දෙන්නා වූ, උපකාර කරන්නා වූ කර්ම උපත්ථම්භක කර්ම නමින් හඳුන්වනු ලැබේ. ජනක කර්ම විපාකය හීන කරන- අඩු කරන කර්ම උපපීළක නමින් හැඳීන්වේ. ජනක කර්ම විපාක ශක්තිය සහමුලින් නැති කරන්නා වූ කර්ම උපඝාතක නමි. එසේ ම විපාක දෙන්නා වූ ක්‍රමය පිළිවෙළ අනුව ද බලගතු කර්ම ගරුකයි ද, මරණාසන්න කාලයෙහි සිතට අරමුණු වන්නා වූ කර්ම ආසන්න නමින් ද, බොහෝ කලක් පුරුදු කරන ලද කර්ම ආචිණ්ණ නමින් ද, මෙකී තුන් ආකාරයෙන් තොර වූ කර්ම කතක්තා නමින් ද ගැනේ. එසේ ම මෙලොවැ දී ම විපාක දෙන්නා වූ කර්ම දිට්ඨධම්මවේදනීය නමින් ද, දෙවන අත්බැව්හි විපාක දෙන කර්ම උප්පජ්ජවේදනීය නමින් ද, සසර කවදා හෝ විපාක දෙන්නා වූ කර්ම අපරාපරියවේදනීය නමින් ද හඳුන්වා ඇත. කුසල් අකුසල් දෙක ම මේවාට ඇතුළත් ය. මෙහි විස්තර බෙහෙවි. මේ ධර්ම දේශනා අවසානයේ දී බොහෝ දෙන සෝවාන් ආදී මඟඵල පසක් කළහ.