Print this Article


ලෝක පාලන ධර්ම

ලෝක පාලන ධර්ම

බුදු රජාණන් වහන්සේ තමා විසින් ම අවබෝධ කර ගත් ධර්මය සියලු සත්ත්වයන්ගේ හිත සුව පිණිස දේශනා කළ සේක. ඉතා දිගු කාලයක් සසරේ ගමන් කරමින්, හේතු, ප්‍රත්‍ය ආකාරයෙන් අවබෝධ කර ගත් එම ධර්මය, තුන් කාලයට ම පොදු ය. අතීත, වර්තමාන, අනාගත ලෙස තුන් කාලයට ම උචිත, විද්‍යාඥානයෙන් සනාථ කරගත්, පරම සත්‍ය ලොවට පෙන්වා දුන්නේ උන් වහන්සේගේ අපරිමිත උත්සාහයෙනි. තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වී මහාමායා දේවියගේ හා සුද්ධෝදන රජුගේ පුත් කුමරු ලෙසින් සිද්ධාර්ථ බෝසත් කුමරු මනුලොව පහළ විය.

සිදුහත් කුමරු කුඩා කල පටන් විවිධ වූ ආශ්චර්යයන් සිදු කරමින්, ලෝකයට අර්ථයක්, සෙතක් සලසන බව විද්‍යමාන කළහ. කුමාර කාලය ද, තරුණ කාලය ද මනාව ගත කළ සිදුහත් බෝසතාණෝ ගිහි සැප ගැන කලකිරීමක් ඇති කර ගත්හ. සතර පෙර නිමිති මේ සඳහා පිටිවහලක් විය. ප්‍රඥාවෙන් හා අධිෂ්ඨානයෙන් සත්‍ය සෙවූ බෝසතාණෝ උතුම් බුදු පදවිය සාක්ෂාත් කරගත් සේක. එකී සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ, අවබෝධ කරගත හැකි බව ලෝකයට දේශනා කළහ. නිවන් මඟ පෙන්වා දෙමින් ධර්මානුකූල ජීවිතයක වටිනාකම පෙන්වා දුන් උන් වහන්සේ, ලෝක පාලන ධර්ම ලෙස හිරි ඔත්තප්ප පෙන්වා දී ඇත.

හිරි ඔත්තප්ප යනු කුමක්ද? හිරි යනු ලජ්ජාවයි. ඔත්තප්ප යනු බයයි. අප ලජ්ජා විය යුත්තේ කුමකට ද? බිය විය යුත්තේ කුමකට ද? බුද්ධ දේශනාවට අනුව ලජ්ජා විය යුත්තේ වැරදි කිරීමටත්, පව් කිරීමටත් ය. බය විය යුත්තේ වැරදි කිරීමටත්, පව් කිරීමටත් ය. කුඩා කල පටන් මෙම ධර්මතාව අවබෝධ කරගත හොත් තමාට පමණක් නොව සමාජයට ද යහපතක් වේ.

කුඩා දරුවන් මවුපියන්ගේ අනුදැනුම ඇතිව වැඩ කටයුතු කළ ද, දැනුම් තේරුම් ඇති කාලයට පත්වන විට, තමාගේ අභිමතය අනුව කටයුතු කරන්නට පුරුදු වීම අද සමාජයේ පෙනෙන්නට තිබේ. මව්පියන්ගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයෙන් හැදී වැඩෙන දරුවා එම ලක්ෂණ තම ජීවිතයට ද අනුගත කර ගනී. වර්තමාන සමාජය දෙස බලන විට, නොයෙකුත් ප්‍රශ්න ගොඩනැඟී මිනිසුන් අතර ගැටුම් ඇති වන්නේ මෙකී ගුණ දහම් දරුවන් තුළින් ගිලිහී යාම නිසා ය. කුඩා දරුවන් වරදක් කරන විට දෙමවුපියන්, ගුරුවරුන් එය කාරුණිකව නිවැරදි කර යහපතට යොමු කළ යුතු ය. එවිට දරුවා වැරදි කිරීමට ලජ්ජා වේ. බිය වේ. මවුපියන්ගේ දෑසින් දුරස්ව සමාජගත වුව ද එම දරුවා යමක් කිරීමට ප්‍රථම, මෙයින් මට වරදක් වෙයිද? මවුපියන්ට හානියක් වේ ද? මෙයින් සමාජයට අගතියක් වේ ද? යනුවෙන් සිතන්නට පුරුදු වේ. මෙම අදහස කුඩා කල පටන් සිත තුළ වර්ධනය වුව හොත් වැඩිහිටියෙක් වූ පසු ද එය තම සිතේ පවතී.

ධර්මයේ සඳහන් දස කුසල්, දස අකුසල් මනාව වටහාගෙන කුසලයට අනුගත වීම තුළ යහපත ගොඩ නැඟේ. සියලු දරුවන් කුඩා කල පටන් දහම් අධ්‍යාපනයට යොමු කිරීම මෙයට හොඳ මාර්ගයකි. මේ නිසා ලෝක පාලන ධර්ම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට දරුවන් පෙළඹෙනු ඇත. දරුවන්ගේ දියුණුව දැකීමට නම් නැණයෙන් මෙන් ම ගුණයෙන් ද දරුවන් පෝෂණය කළ යුතු ය. තැනට සුදුසු ආකාරයට හැසිරීමට එමඟින් හැකියාව ලැබෙනු ඇත. සරු දේ සරු ලෙසටත්, නිසරු දේ නිසරු ලෙසටත් අවබෝධ කර ගැනීමට බුදු සිරිතෙන් අපට ගත හැකි ආදර්ශ අපමණ ය.