ජීවමාන චරිත සංවර්ධනයකට මහානාම සූත්‍රය
පණ්ඩිත
රණකෙළියේ රතන හිමි
භවගමනින් එතෙර වන්නට මඟ පෙන් වූ අපේ ශාන්ති නායකයාණන් වහන්සේ ඉතා කරුණාවෙන් ලෝකයාට
ධර්මය දේශනා කළ සේක. එලෙස ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ සිවුවනක් පිරිස ද
ඉතා උද්යෝගයෙන් ඒ සත්පුරුෂ ක්‍රියාව සිදු කළ බව බෞද්ධ සාහිත්‍ය අධ්‍යයනය කිරීමෙන්
සනාථ වේ.
බෞද්ධ ත්‍රිපිටක ග්‍රන්ථවල අඩංගු බොහෝ සූත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්
දේශනා කළ ඒවා ය. ඉතිරි ඒවා ශ්‍රාවක භාෂිත සහ දේව භාෂිත සූත්‍ර බව දැක්වේ. ඒ සූත්‍ර
සියල්ල සර්වකාලීන වේ. ඒ සියලු සූත්‍ර සර්වකාලීන වුවත්
වර්තමාන සමාජ ව්‍යූහයේ ඇතිවන
සංකීර්ණ ගැටලු හේතුවෙන් සාකච්ඡා කිරීමට සුදුසු ම සූත්‍ර දේශනාවකි. සූත්‍ර පිටකයේ
සංයුක්ත නිකායට අයත් මහානාම සූත්‍රය.
මහානාම සූත්‍රය, සංයුක්ත නිකායේ පඤ්චම භාගය, මහාවර්ගය පුඤ්ඤාභිසන්ද වග්ගයෙන් හමු
වේ. මේ සූත්‍රය දේශනා කිරීමට ආරම්භ කතාව එහි සඳහන් පරිදි මෙලෙස ය.
දිනක් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය
කරන සේක. එදා උන්වහන්සේගේ ඥාතියකු වූ මහානාම ශාක්‍ය පුත්‍රයා බුදු හාමුදුරුවන් බැහැ
දකින්නට නිග්‍රෝධාරාමයට ගියේ ය. බුදුරජාණන් වහන්සේ සමඟ සංවාදයේ යෙදී උන්වහන්සේ
අසලින් ම වාඩි විය. ටික වේලාවකින් අනතුරුව මේ පුත්‍රයා බුදු හාමුදුරුවන්ගෙන්
ප්‍රශ්න කිහිපයක් විමසන්නට විය.
කුමක් ද ? මේ ප්‍රශ්නය,
“කිත්තාවතා නු ඛෝ භන්තේ, උපාසකෝ හෝතීති”?
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපාසකයෙක් වෙන්නේ කෙසේ ද ?
සාවදාන වූ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට මේ අයුරින් පිළිතුරු දුන් සේක.
“යතෝ ඛෝ මහානාම, බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති,
එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ හෝතීති.”
මහානාම යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ, ධර්ම රත්නය සහ ශ්‍රාවක මහා සඟරුවන පිහිට කොට
ගෙන සිටින කෙනෙක් වේ ද ඔහු උපාසකයෙක් ය, යනුවෙනි.
නැවත දෙවන ප්‍රශ්නය ඉදිරිපත් කරනු ලැබීය.
“කිත්තාවතා නු ඛෝ භන්තේ, උපාසකෝ සීලසම්පන්නෝ හෝතීති”? ස්වාමීනි උපාසකයකු සීල
සම්පන්න වෙන්නේ කෙසේ ද ?
සැදැහැබර බුදුන් වහන්සේ පිළිතුරු වදාළහ.
“යතෝ ඛෝ මහානාම, උපාසකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදානා පටිවිරතෝ හෝති,
කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරයමජ්ජපමාදට්ඨානා
පටිවිරතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ සීලසම්පන්නෝ හෝතීති.”
මහානාම, යම් කාලයක ප්‍රාණඝාතයෙන්, අන්සතු දෑ ගැනීමෙන්, කාමය වරදවා හැසිරීමෙන්, බොරු
කීමෙන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් යන පස් පවින් වැළකී සිටී නම් හෙතෙම සීල සම්පන්න
උපාසකයකු වේ.
නැවත තෙවන ප්‍රශ්නයට ද පිවිසුණි.
“කිත්තාවතා පන භන්තේ, උපාසකෝ සද්ධාසම්පන්නෝ හෝතීති”?
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපාසකයකු සද්ධා සම්පන්න වන්නේ කෙසේ ද ?
කරුණාබර වදනින් බුදුන් වහන්සේ පුද්ගලයකු සද්ධා සම්පන්න වන අයුරු දෙසූහ.
“ඉධ මහානාම, උපාසකෝ සද්ධෝ හෝති, සද්දහති තථාගතස්ස බෝධිං: “ඉතිපි සෝ භගවා අරහං සම්මා
සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථී සත්ථා
දේවමනුස්සානං බුද්ධෝ භගවාති.” එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ සද්ධා සම්පන්නෝ හෝතීති.”
මහානාම, බුදුන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ කෙරෙහි අර්ථ සම්පන්න ලෙස පැහැදීමට
පත්වන පුද්ගලයා සද්ධා සම්පන්න මඟට පිළිපන්හ.
සිව්වන ප්‍රශ්නය ද මහානාම විසින් අසන ලදී.
“කිත්තාවතා පන භන්තේ, උපාසකෝ චාගසම්පන්නෝ හෝතීති”?
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපාසකයකු ත්‍යාග සම්පන්න වන්නේ කෙසේ ද?
නිර්ලෝභී වදනින් බුදුරජාණන් වහන්සේ මහානාම අමතා වදාළේ මෙලෙසිනි.
“ඉධ පන මහානාම, උපාසකෝ විගතමලමච්ඡේරේන චේතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගෝ
පයතපාණි වොස්සග්ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝ. එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ
චාගසම්පන්නෝ හෝතීති.”
පහව ගිය මසුරු මල ඇති තැනැත්තා දීමෙහි චේතනාව පිරිසිදු සිතින් කරන්නේ නම් ත්‍යාග
සම්පන්න වේ.
ඉන්පසු පස්වන ප්‍රශ්නයට ද පිවිසියේ ය.
“කිත්තාවතා පන භන්තේ, උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ හෝතීති”?
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, උපාසකයකු ප්‍රඥා සම්පන්න වන්නේ කෙසේ ද?
පැහැසර වදනින් බුදු හිමියෝ මහානාම ඇමතූහ.
“ඉධ මහානාම, උපාසකෝ පඤ්ඤවා හෝති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය
නිබ්බේධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. එත්තාවතා ඛෝ මහානාම, උපාසකෝ පඤ්ඤා සම්පන්නෝ
හෝතීති.”
ප්‍රඥාවෙන් ආර්‍ය වූ නිරෝධයට හිත යොමු කොට මැනවින් දුක් ගෙවීමට ප්‍රඥාවෙන් සමන්වාගත
විය හැකි නම් ප්‍රඥා සම්පන්න වේ.
පුද්ගල ජීවිතය භවගමන පුරා සාර්ථකත්වයෙන් පවත්වාගෙන යෑමටත්, අවසානයේ අපේක්ෂිත
නිර්වාණ සුව අත්පත් කර ගැනීමටත් සද්ධා සම්පන්න බව ප්‍රයෝජනවත් වන අයුරු මේ ලිපියෙන්
දෙනු ලබන දහම් පඬුරයි.
මේ සුත්‍රයෙන් ලෝකයාට දෙන දර්ශනය සුවිශේෂයි. උපන් සත්ත්වයා මිය යන බවත්, තවත් භවයක
උපත ලබන බවත් මින් පසක් වෙයි. ඒ කෙටි කාල පරිච්ඡේදයක් තුළ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල
මූලයන්ට නැවතීමේ ලකුණ දැමීමට මින් මඟ පෙන්වයි. උපයන ධනය ධාර්මික විය යුතු බවත්,
නිර්ලෝභීව එයින් කොටසක් දීමට සිත පෙළඹීමටත් මින් මඟ පාදයි. කෙනෙක් තවත් කෙනකු
කෙරෙහි ඇති කර ගන්නා ද්වේශ සිතිවිලි නිසා වන්නා වූ විනාශය ප්‍රබලයි. ඒවාට විසඳුම
ද්වේශයෙන් තොර වීමයි. එයට මේ සුත්‍රය පිටිවහලක් වනු නොඅනුමානයි. දුර දිග නොබලා
අඥානවන්තයකු ලෙස කටයුතු නොකිරීමට සූත්‍ර දේශනාව යහපත් මඟ පෙන්වීමකි.
ලෝක වාසී ජනතාව ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය හා සුරාපානය යන
අකුසල කර්ම තම දිවියෙන් උදුරා දැමීමෙන් සුබවාදී ප්‍රතිඵල අත්විඳීමට හැකි බව සූත්‍ර
දේශනාවෙන් අනාවරණය කරයි.
සාමකාමී, සහජීවනයෙන් පිරිපුන් මිනිස් කොට්ඨාසයක් බිහිකර ගැනීමට මින් ලබා දෙන චරිත
සංවර්ධනය ජීවමානයි. නීරෝගිමත් මිනිස් ජීවිතයක් ලෝකවාසී ජනතාවට අත්පත් කර ගැනීමට
සංවාදශීලී මහානාම සූත්‍රයේ දැක්වෙන අවස්ථා අර්ථාන්විත ය.
ධන, නිල, බල ආදී ආකල්ප ඔස්සේ ගැටුම් ඇති කරන්නා වූ ලෝක වාසී ජනතාවට එයින් මිදීමට
මහානාම සූත්‍ර දේශනාවෙන් දෙන පණිවිඩය අතිවිශිෂ්ටය. |