Print this Article


සම්බුද්ධ ජන්ම භූමිය

සම්බුද්ධ ජන්ම භූමිය

“මම ලොවට අග්‍රවෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ අන්තිම ජාතියයි, ඉතින් මට පුනර්භවයක් නැත.“ යැයි මෙලොව එළිය දුටු හැටියේ ම යම් උතුªම් කුමරාණ කෙනෙක් සිය සියුමැලි සොඳුරු මුව අයා අභීත සිංහනාදයෙන් මහ පොළොව කම්පා කෙරෙමින් මුළු ලොව ගිගුම් ගැන්වූද, ඒ තිලෝගුරු සම්බුදු රජාණෝ දඹදිව කිඹුල්වත් පුර ලුම්බිණි සල් උයනෙහි දී බිහිවූ සේක.

කාමභෝගී රජදරුවන් විසින් සෙව්නා ලද සුන්දර රාජ මන්දිරයක උන්වහන්සේ බිහිවන්නට තිබුණු නමුත් පරම රමණීය සල් රුක් සෙවණක් උන්වහන්සේට තිඹිරිගෙය විය. පිවිතුරු ඇසතු රුකක් සුනිමල් කුසතණ ඇතිරියක් පළඟකොට ගත් උන්වහන්සේ ලොව්තුරු බුදුබව ලැබූහ. සදහම් අමා දහරින් ලෙවන් දුක්ගිනි නිවමින් සැරිසැරූ උන්වහන්සේ පිරිනිවන් පෑ සේක්. එවැනි ම වූ උයනක සල් රුක් දෙකක් අතර එකෙණෙහි සැපයූ යහනක් මත ය.

තමන් වහන්සේ බිහිවූ, බුදුවූ, මඟුල් බණ දෙසූ, පිරිනිවන් පෑ මේ උතුම් තැන් සතර සැදැහැවත් කුල පුත්‍රයා විසින් දැකිය යුතු වූ ද, සංවේග කටයුතු වූ ද තැන් යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

මේ පරම මහනීය සිද්ධීන් සතර ම මැඳුරක, පන්සලක, ආවාසයක, දෙවොලක හෝ ලෙනක හෝ නොව පවිත්‍ර පොදු තැන් වූ උයනක, රුක් මුලක සිදුවීමෙන් බුදුපියාණන් වහන්සේගේ ත්‍රිලෝක වන්දනීයභාවය, පරම පූජ්‍යභාවය, සකල ලෝකයාට අයත් බව ලොවට පෙන්නුම් කැරෙයි.

දඹදිව

මහා පෘථිවිය කොටස් කරන පැරැණියෝ අපරගොයානය උතුරුකුරු දිවයින, පූර්ව දේශය, ජම්බුද්වීපය යි මහාද්වීපය සතරකට බෙදූහ. මින් ජම්බුද්වීපය වනාහි එහි පවතින විශාල ජම්බු වෘක්ෂයක් නිසා එනම් විය. මෙය හැඩහුරුකමින් කරත්තයක ඉදිරි පාර්ශ්වයක් මෙනි. පශ්චිම කාලයෙහි ‘භාරත වර්ෂය’ නමින් ව්‍යවහාර වූ මේ ද්වීපයට අද ‘ඉන්දියාව‘ යි නම් කරති. මෙය යොදුන් 10000 කැයි පුරාණ මානය වේ.

බ්‍රහ්මවර්තය, බ්‍රහ්මර්ෂි දේශය, මධ්‍ය දේශය, ආර්ය වර්තය යන නම්වලින් කොටස් කොට කලින් කල පැවති දඹදිව, බෞද්ධ සාහිත්‍යයෙහි “ මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තර් මණ්ඩලය යි’ ප්‍රධාන කොටස් තුනකට වෙන්කර දැක්වෙයි. මින් මධ්‍ය මණ්ඩලය බුද්ධාදී මහෝත්තමයන්ට උප්පත්තිස්ථාන වන ප්‍රදේශයයි. මෙය දිගින් යොදුන් 300ක් සහ පළලින් යොදුන් 250ක් ද වටින් යොදුන් 900ක් ද වූ බිම් පෙදෙසෙකි. මහා නගර පන්කිසකින් හෙබි මේ මධ්‍ය මණ්ඩලයෙහි බුද්ධ කාලයෙහි පැවති ඓශ්චර්යය අති උත්කර්ෂයෙන් වර්ණිත ය.

කපිල වස්තුපුරය

අවුරුදු ලක්ෂ ගණනින් මැනිය යුතු අවධි අතීතයෙහි දඹදිව මධ්‍ය මණ්ඩලයෙහි හිමාලය කඳුවැටියේ දකුණූු පැත්තේ බෑවුම් පෙදෙසෙහි ඉක්ෂවාකු වංශීය රජදරුවන් සතර දෙනෙකුන් විසින් නිර්මාණය කරන ලද නගරයක් ‘කපිලවස්තු’ නමින් හඳුන්වන ලදී. මේ නගරයේ ඉතිහාස ප්‍රවෘත්තිය පිළිබඳ ස්ථවිරවාද පොත්වල එන කරුණුවලට වඩා සම්භාව්‍යතර පුවතක් අන්‍ය පොතපතක ඇති බවක් නො දැක්වෙයි.

ලොව ආදිම නරවරයා වූ මහාසම්මත රජුගෙන් ඇති වූ පරපුර කල්යාමෙන් මඛාදේව වංශය, ඉක්ෂවාකු වංශය යන නම්වලින් ව්‍යවහාර විය. ඉක්ෂවාකු වංශය අම්බට්ඨ රජුගේ බිසවක විසින් සිය පුතුට රජය පවරා දෙන ලෙස ඉල්වන ලද වරයක ප්‍රතිඵලයක් වශයෙන් වැඩිමල් පුතුන් සිව්දෙනෙකුන්ටම වනගත වන්නට සිදුවිය. සොහොයුරියෝ පස් දෙනෙක්ද ඔවුන් අනුවම වන්හ. සපිරිවරින් වනගත වූ ඔවුනට අසල් රාජ්‍යයක් පැහැර ගෙන රජසුව විඳින්නට තරම් බලය තිබුණු නමුත් අන්සතු රාජ්‍යයක් පැහැර ගැනීම සිය වංශයට නින්දාවක් ලෙස තැකූ ඉක්ෂවාකු රජ කුමරුවෝ තුමූම වනයෙහි පුරයක් ඉදිකිරීමට සිතා ගත්හ. මේ අසල විසූ බෝධිසත්ත්ව කපිල ඍෂීහු මොවුන්ගේ උදාර අදහසක් මේ ස්ථානය අනාගතයෙහි තිලෝගුරු උතුමකුට ජන්ම භූමියක් වන බවත් දිවැසින් දැක තම අසපුව පිහිටි පෙදෙසෙහි නගරය නිර්මාණය කරන ලෙස කුමරුන්ට දැන්වූහ. ඒ පුරයට සිය නම තබන ලෙසත් දන්වා ඍෂිවරයා ඊට නුදුරින් ඉදිකළ අසපුවක විසීය.

මේ ස්ථානයෙහි නගරය තනාගත් රජ කුමරුවෝ ජාති සම්භේද භීතියෙන් අන්‍ය ස්ත්‍රීන් පාවා නොගෙන වැඩිමහල් සොහොයුරිය මවු තනතුරෙහි තබා ගත්හ. නගරයට ‘කපිලවස්තු පුරය’ යි නම් කළහ.

මේ බව ඇසූ ඉක්ෂවාකු මහරජාණෝ සිය පුතුන් වනගතව පවා ජාති සම්භේදයක් නො කළහ යි ප්‍රමුදිතව ‘සක්‍යා වත භො කුමරා පරම සක්‍යා වත භො කුමරා’ යි තුන් යලක් උදන් ඇනූහ. එහෙයින් මෙම රාජවංශය “ශාක්‍ය වංශයි නම් වී යැයි අපේ පොත්පත්හි එයි. මෙහි සාක්‍යා යන පදයෙන් හැක්කෝ ය, හපන්නු ය යන අරුත් ගෙන මෙසේ කියයි.

එහෙත් බෞද්ධ සංස්කෘත ග්‍රන්ථයන්හි එන මතය ඊට වඩා සම්භාව්‍යතරය. එහි දැක්වෙන්නේ වනගත වූ රජ කුමරුවෝ ශාක වෘක්ෂයන්ගෙන් ගහන වූ වන ලැහැබක ලැඟුම් ගත් බව ඉන් ශාක්‍යවංශ නාමය සම්භව වූ බවත් ය. දීඝ නිකායෙහි එන වචනයකින් ද මෙය වැඩිදුරටත් තහවුරු වෙයි.

ගෞතම ගෝත්‍රයෙහි වූ කපිල ඍෂීන් විසින් තනා දුන් පුවරුව වැනි සැලැස්මකට අනුව ‘කිඹුල්වත’ නිර්මාණය කරන ලද බව එහි දැක්වෙයි. මෙතැන් පටන් ඉක්ෂවාකු වංශය ශාක්‍ය වංශ නාමයෙන් ලොව පහළ වී මධ්‍ය මණ්ඩලයේ මහා ජනපදයක් වූ කෝසල රටට අයත් මේ ශාක්‍ය ජනපදයේ ද අගනුවර කපිලවස්තු පුරයයි.

රෝහිනී නදිය අද්දර මෙය පිහිටියේ ය. දැනට ශත වර්ෂ ගණනාවකට පෙර මෙහි ආණ්ඩු කළේ සුද්ධෝදන මහ රජතුමා ය. සව් ඉසුරෙන් සපිරි මෙපුරෙහි මෙකල පවුල් 160000ක් පමණ වූහ. මේ නගරය වටා ලෝහ දොරටුවලින් යුත් මහා ප්‍රාකාරයක් විය. සුරපුර හරහා පැවැති මේ නගරවරයෙහි සිද්ධාර්ථ කුමාරයන්ගේ බාලම කාලය ගත විය. එකුන්තිස්වන වියෙහි මහබිනික්මන් කළ එතුමාණෝ යළිත් මෙහි වැඩිසේක් බුදු වූ දෙවන වර්ෂයේ ය. නෑයන්ගේ මන් බිඳ, වැඳුම් පිදුම් ලත් බුදුරජාණෝ මේ පුරයෙහි වූ රමණීය ‘නිග්‍රෝධ’ උයනෙහි ලැගුම්ගත් සේක. පසුව ආරාමයක් වශයෙන් සකසා පුදනු ලැබී මේ නිග්‍රෝධාරාමයෙහි පසළොස්වක වස් විසූ සේක.

සංහාරයෙන් පසු පිරිහී ගිය මෙම රම්‍ය නගරය ශත වර්ෂ දෙකහමාරක් ඇවෑමෙන් දඹදිව පහළවූ අශෝක අධිරාජයන් විසින් සම්මානිත විය. එතුමෝ මේ නටබුන් කිඹුල්වත්පුරය බලා ප්‍රසාද සංවේගයට පැමිණ අඩි 20ක් උස ශිලාස්තම්භයක් පිහිටු වූහ.

ප්‍රධාන දොරටු සතරෙහි සිදුහත් කුමරු දුටු සතර පෙර නිමිති පිළිබඳ රූප සතරක් ද රජ මාලිගාව තිබුණු තැන විහාරයක් ද කරවා ඒ තුළ සුද්ධෝදන රජුගේ ප්‍රතිමාව ද බිසෝ මාලිගය තිබුණු තැන විහාරයක් කොට මහාමායා බිසවගේ ප්‍රතිමාව ද පිහිටුවා ලූහ. සිදුහත් කුමරු පිළිබඳ සියලුම උතුම් සිදුවීම් වූ ස්ථානයන්හි ස්තූප හා විහාර කරවූහ. අවුරුදු ගණනාවකට කලින් රාජකීය නගරයක් වූ මෙය පසුකල වන්දනීය ශුද්ධ භූමියක් බවට පෙරළිණ.

බුද්ධ පරිනිර්වාණයෙන් ශත වර්ෂ 12ක් ඉකුත් වූ කල මේ පුරයෙහි පැවැති තත්ත්වය චීන වන්දනාකාරයකු වූ ‘හ්‍යුඑංසෑං’ තෙරුන්ගේ ගමන් විස්තරයෙහි පැහැදිලි වෙයි. මෙකල කපිලවස්තුපුරය ජනයාගෙන් හිස් බවත්, මුළු ශාක්‍ය ජනපදයෙහි ම ඉතා අල්ප ප්‍රමාණයක් මිනිසුන් වාසය කරන බවත්, ඒකාධිපති රජකුගේ පාලනයක් නොලබන මොවුන් තමන් පත්කර ගත් නායකයන් විසින් පාලිත බවත් සඳහන් කර ඇත.