
බාහිර කරදර උවදුරු වැඩිද?
ඌරුගමුවේ අස්සජී හිමි
සතුරු -මිතුරු සෑම දෙනකු කෙරෙහි ම මෙත් සිත පැතිරවීම මෛත්‍රිය යි. කරණීය මෙත්ත
සූත්‍රයෙහි ඉගැන්වෙන “සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා” යන මෛත්‍රී චින්තනය විශ්වයේ
වෙසෙන මානව සත්ත්වයා ප්‍රමුඛ සෙසු සියලු ජීවීන් සැලකිල්ලට ගනිමින් ඉදිරිපත් කොට ඇත.
බුදු දහම මිනිසාගේ බුද්ධිමය ශ්‍රේෂ්ඨත්වය ඉහළින් ම පිළිගන්නා අතර, සෙසු සෑම ජීවියකු
කෙරෙහි ම බෙහෙවින් හිතානුකම්පී ආකල්පයක් දක්වයි. කරණීය මෙත්ත සූත්‍රයෙහි ‘සියලු
සත්ත්වයෝ’ යන්න මෙසේ අරුත් ගන්වා ඇත.
තසා:– තැතිගන්නා සුලු (කෙලෙස් සහිත) සත්ත්වයෝ ,තැති නොගන්නා සත්ත්වයෝ, දික්වූ ශරීර
ඇති සත්ත්වයෝ, විශාල ශරීර ඇති සත්ත්වයෝ, මධ්‍යම ප්‍රමාණයේ ශරීර ඇති සත්ත්වයෝ, මිටි
ශරීර ඇති සත්ත්වයෝ, ඉතා සිහින් සත්ත්වයෝ, වටකුරු ශරීර ඇති සත්ත්වයෝ, ඇසට පෙනෙන
සත්ත්වයෝ, ඇසට නොපෙනෙන සත්ත්වයෝ, දුර වසන සත්ත්වයෝ, ළඟ වසන සත්ත්වයෝ, උපන්
(පැවැත්මක් ඇති) සත්ත්වයෝ, උපතක් සොයන, සත්ත්වයෝ, මේ සියලු සත්ත්වයෝ සැප ඇත්තේ
වෙත්වා.
පර පණ නොනැසීම හෝ අනුන්ට හිංසා නොකිරීම හෝ පුද්ගල සන්තානය තුළින් ම මතුවිය යුතු
නිවැරැදි සංකල්පනාවකි. අනුන් සුවපත් කරවීමේ කැමැත්ත නැතිව “සියලු සත්ත්වයෝ සුවපත්
වෙත්වා” යි, කොතරම් කීවත් එයින් ප්‍රයෝජනයක් නොමැත. මෛත්‍රී භාවනාව යනු එය වඩන
තැනැත්තාත්, මෛත්‍රිය ලබන තැනැත්තාත් යන දෙපක්ෂයට ම ප්‍රතිඵල ලැබෙන භාවනාවකි. එසේ
වීමට නම් සත්‍ය වූ මෛත්‍රිය වැඩිය යුතු ය.
මාතා යථා නියං පුත්තං
ආයුසා එකපුත්ත මනුරක්ඛෙ
එවම්පි සබ්බ භූතෙසු
මානසං භාවයෙ අපරිමාණං
එකම පුතකු ඇති මවක් තමාගේ දිවි නොතකා එම පුතු ආරක්ෂා කරන්නේ යම් සේ ද, එවැනි වූ
මෛත්‍රියක් සියලු සත්ත්ව වර්ගයා කෙරෙහි පැතිරවිය යුතු ය. මෙසේ මෛත්‍රී වැඩීමේ දී
පළමු ව “මම නිදුක් වෙම්වා” යනාදී වශයෙන් තමා කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු ය. පසුව
තමාගේ ජීවිතයට වඩාත් සමීප අයකු තෝරාගත යුතු අතර, එසේ තෝරාගත් කෙනා ජීවත් වන්නකු
වීමත් ස්ත්‍රී - පුරුෂ භේදය අනුව තම පක්ෂයට අයත් කෙනකු වීමත් වැදගත් ය. තමාටත් තමාට
සමීපතම අයටත් මෙසේ පිළිවෙළින් මෙත් වැඩීමෙන් පසුව සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා
යනාදි ලෙස සමස්ත සත්ත්ව ප්‍රජාවට ම මෙත් වැඩීම අපහසු නොවෙයි.
සියලු සත්ත්වයෝ
වෛර නැත්තෝ වෙත්වා
දොම්නස් නැත්තෝ වෙත්වා
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
සුවපත් වෙත්වා
යන වචන භාවිතයෙන් මෙම භාවනාව ප්‍රගුණ කළ හැකි ය. මෙහිදී බුද්ධ පර්යංකය (එරමිණිය
ගොතා) හෝ කාන්තා පාර්ශ්වයෙහි නම් අර්ධ බද්ධ පර්යංකය නිවැරැදි භාවනා ඉරියව්ව ලෙස
පෙන්වා දිය හැකි ය. එපමණක් ද නොව පුද්ගලයාගේ සතර ඉරියව්වේ දී ම මෙකී මෙත් සිත
ක්‍රියාත්මක විය යුත ªය.
තිට්ඨං චරං නිසින්නො වා
සයා නො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු
සිටින්නේ හෝ ඇවිදින්නේ හෝ උන්නේ හෝ නිදන්නේ හෝ වේවා යම්තාක් කල් නො නිදා සිටීද? ඒ
තාක් මෙම මෛත්‍රී සහගත සිහිය, සිතෙහි පිහිටිය යුතු ය. එවිට මෛත්‍රිය බ්‍රහ්ම
විහාරයක් වෙයි.
මෙසේ අනුක්‍රමයෙන් සියලු සත්ත්ව ප්‍රජාව වෙත මෙත් වැඩීමේ ශක්තිය ඇතිකර ගැනීමත් සමඟ
ම තමාට ලොව කිසිදු සතුරකු නොමැති වෙයි. ලෝකවාසීහු ම තම මිත්‍රයෝ වෙති. මෛත්‍රී
සිතිවිලි පතුරවන්නා සමාජයේ සියලු දෙනා ම ඉතා සුහදශීලී ව පිළිගන්නා ඉතා ප්‍රසන්න
අයකු බවට නිතැතින්ම පත් වෙයි. ඒ අනෙකක් නිසා නොව ඔහුගෙන් සමාජයේ කිසිවකුට කිසිදු
ආකාරයක හිරිහැරයක්, පීඩාවක් සිදු නොවන නිසා ය. සිත බෙහෙවින් පිරිසිදු නිසා ම ඔහු ලද
දෙයින් සතුටු වන, පහසුවෙන් පෝෂණය කළ හැකි, ඉතා සැහැල්ලු පැවතුම් ඇති අයකු බවට පත්
වෙයි.
මෙසේ මෛත්‍රී වඩන්නේ නම්, එමඟින් බාහිර කරදර උවදුරුවලින් තොරව ඉතා සැනසිලිදායක දිවි
පෙවෙතක් ගත කිරීමට හැකියාව ලැබේ. |