Print this Article


සම්බුදු ගුණ වරුණ

සම්බුදු ගුණ වරුණ

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ විසිතුරු බව මිල කළ නොහැකි තරම් අගනා බැවින් බුදුගුණ මෙනෙහි කිරීම බුද්ධානුස්සතිය යි.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හා කුඩා, අනු කුඩා ලක්ෂණ අසූවකින් සෝභාමත් විය. උන්වහන්සේගේ දේශනා අෂ්ටාංගික බ්‍රහ්ම ස්වරයෙන් විචිත්‍රවත් විය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නව අරහාදී බුදු ගුණවලින් පිරිපුන් ය. උන්වහන්සේ කෙලෙසුන් දුරු කළ බැවින් ද, කෙලෙසුන් නැසූ බැවින් ද, අවිද්‍යාදී ධර්ම සිඳලූ බැවින් ද, සියලු පුද පූජාවලට සුදුසු වූ බැවින් ද, රහසින්වත් පව් නොකළ බැවින් ද අරහං නම් වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ සෑම අතින් ම විමසා බලා දත යුතු චතුරාර්ය සත්‍ය ධර්මය දත් බැවින් ද, දුරු කළ යුතු තෘෂ්ණා දුරු කළ බැවින් ද, වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩූ බැවින් ද, සම්මා සම්බුද්ධ වන බව සේක.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යාවෙන්, අෂ්ට විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත බැවින් “විජ්ජාචරණ” නම් වන සේක.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ සෝබන ගමන් ඇති බැවින් ද, සුන්දර තැනට සපැමිණි බැවින් ද, මනාකොට ගිය බැවින් ද සුගත නම් වන සේක.

මෙහි සෝබන ගමන යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය සසර දුකින් මිදීම කරා යන සැබෑ සුන්දර ම මාර්ගය ද වේ. ඒ මඟ අනුගමනය කළ බැවින් ද, යහපත් නිවැරැදි පි‍්‍රය තෙපුල් වදාරන බැවින් ද ‘සුගත’ වන සේක.

බුදුන් වහන්සේගේ දේශනය මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රයේ අර්ථ සහිත ව දක්වයි. මනා පද වාක්‍ය ගැළපීමෙන් ද යුක්ත ය. සෑම අතින් ම සම්පූර්ණ ය. ඒ නිසා සුගත වන සේක.

සත්ත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක යන ත්‍රිවිධ ලෝකය ම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දත් බැවින් ලෝකවිදූ බුදු ගුණයෙන් ද යුක්ත වන සේක.

මෙහි සත්ත්ව ලෝකය යන්නෙන් දක්වන්නේ සියලු සත්ත්වයන් උපදින තැන්, අනුසය හෙවත් සත්ත්ව සන්තානගත ව, නිධන්ගත ව ඇති කෙලෙස් චරිත ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දත් සේක.

දමනය කළ නොහැකි වූවන් දමනය කිරීම නිසා ‘අනුත්තර පුරිසදම්ම සාරථි’ බුදු ගුණයෙන් ද යුතු වන සේකක. නාලාගිරි හස්තිරාජයා ද, චූලෝදර මහෝදර දිව්‍ය නාගයන් ද, බක වැනි බ්‍රහ්මයන් ද, රාහු වැනි අසුරයන් ද, සක්දෙව් රජු ඇතුළු දෙවියන් ද, ආලවක වැනි යක්ෂයන් ද, චින්චිමානවිකාව ද, සච්චක, අම්බට්ඨ, සෝණදණ්ඩ වැනි බමුණන් ද දමනය කළ බැවින් පුරිසදම්ම සාරථි ගුණයෙන් යුතු වූ සේක.

බුදුරජාණන් වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්තෘන් වන සේක. උන් වහන්සේ සත්ත්වයාගේ මෙලොව, පරලොව සාධනය පිණිස දම් දෙසන සේක. එමෙන්ම සසර කතරින් එතෙර වන්නට මඟ දෙසන බැවින් “සත්ථා දේව මනුස්සානං” වන සේක.

පටිසම්භිදා මග්ගයෙහි හා නිද්දේස පාලියෙහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බැවින් ද, අන්‍යයන්ට එම සත්‍ය අවබෝධ කර වූ බැවින් ද, සියල්ල දන්නා බැවින් ද, තමන් වහන්සේ ම අවබෝධ කළ බැවින් ද බුද්ධ නම් වන සේක.

සම්මා සම්බුද්ධ යනු තමන් විසින් ම කෙලෙස් දුරු කොට ලෝ තතු මැනවින් දත් නිසා ය.

ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දස පාරමිතාදී කුසල පුණ්‍ය බලයෙන් සිය දහස් ගණන් කෙලෙසුන් නැසූ හෙයින් “භගවා” නම් වන සේක. ඊශ්වර භාවය, අධිපතිභාවය ලෝකෝත්තර ධර්මය, තුන් ලොව පතල කීර්තිය, මහා පුරුෂ ලක්ෂණ ආදියෙන් සමන්විත රූප ශෝභාව සිතූ පරිදි තමන්ගේ සහ අනුන්ගේ යහපත වෙනුවෙන් ලෝකයාගේ ගෞරවයට පත්වීමට තරම් වීර්යයෙන් යුක්ත වීම ආදී මහා ගුණාංගවලින් සමන්විත වූ බැවින් භගවා නම් වූ සේක.

මේ අසිරිමත් වෛශාක්‍ය මංගල්‍ය සමරන මොහොතේ ලෝකවාසී බොදුනුවන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණයෙන් තම ජීවන ගමන් මඟ සකසාගෙන දෙලොව ශාන්තිය උදාකර ගැනීමට ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල යෙදිය යුතු වේ.

බෞද්ධයා යනු ප්‍රබුද්ධ වූ මනසක් ඇති අයෙකි. ඔබේ යහපත් සිතිවිලි උතුම් බුදු ගුණ සමඟ මුසු වී මේ එකොළොස් ගින්නකින් ගිනිගෙන දැවෙන ජීවිත වඩාත් ශාන්ත සුන්දර නිවීම පිණිස මඟ විවර කර ගත හැකි වේ.