
සැනසුම සැහැල්ලුව
නිවන් මඟටයි
මහාචාර්ය
තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කර ගැනීමට බෝධි අංග හත නිරන්තරයෙන් වැඩි දියුණු කර
ගැනීම කියා කියන්නේ ම ආර්ය මාර්ගය අරමුණු කරගෙන ඊට අවශ්‍ය වන සියලු අංග සම්පුර්ණ
කරනවා කියන එකයි.
බෝධි අංග හත අතරෙන් සිව් වැනි ව පෙන්වා දී තිබෙන පස්සද්ධි සම්බොජ්ඣංගය යනුවෙන්
විස්තර වන්නේ කුමක් ද යන්න මෙහි දී අපේ අවධානයට ලක් කර බලමු. පස්සද්ධි යන වචනයෙන්
පෙන්වා දෙන සාමාන්‍ය සරල අර්ථය වන්නේ සැනසීම හෝ සැහැල්ලුව හෝ සහනය යන අදහස යි.
නිර්වාණය අරමුණු කර විදර්ශනා භාවනාවට සිත මෙහෙයවා ක්‍රියා කරන යෝගාවචරයා එක් අරමුණක
පිහිටුවා භාවනා කිරීමේ දී සිතට දැනෙන අසහනය සාමාන්‍ය තත්ත්වයක්. ඒ නිසා කයෙහි ද
වෙහෙසකාරි බවක් ඇති වෙනවා. ඒ වෙහෙසකාරි ස්වභාවය සංසිඳවන්නේ කායපස්සද්ධි හා
චිත්තපස්සද්ධි යන මේ චෛතසික දෙකෙන්. ස්කන්ධ අතරෙන් වේදනා, සඤ්ඤා හා සංඛාර යන ස්කන්ධ
තුනට ඇතුළත් ධර්මතා කාය වශයෙන් පෙන්වා දෙනවා. අභිධර්මයෙහි ඉගැන්වෙන සෝභන චෛතසික 25
අතරෙන් කායපස්සද්ධි හා චිත්තපස්සද්ධි යන චෛතසික දෙකෙන් සන්සුන් බව, නිවුණු බව
ප්‍රකාශ වෙනවා. චිත්ත පස්සද්ධියෙන් එම විඤ්ඤානස්කන්ධයෙහි සන්සුන් බව ප්‍රකාශ වෙනවා.
එසේ නොවුණොත් යෝගාවචරයාට ප්‍රථමධ්‍යානාදී උසස් සමාධි තත්ත්ව ඇති කර ගන්නට නොහැකි
වෙනවා. සිතේ නොසන්සුන් බවක් හට ගන්නේ උද්ධච්ච සිතිවිල්ල යෙදුණු විට යි. උද්ධච්ච
කියන්නේ සිතේ නොහික්මුණු හෝ විසුරුණු හෝ ස්වභාවය යි. මෙය අකුසල සිතිවිල්ලක්.
නිදසුනක් ගත්තොත් අප විසින් යම් පින්කමක් කරන විට උද්ධච්ච අකුසලය බලවත් වුවහොත් ඒ
පින්කම සිදු කිරීමට බාධක වෙනවා. මෙසේ ඉස්මතු වන උද්ධච්චය යටපත් කර පින්කම සිදු
කිරීමට අපව යොමු වන්නේ කාය පස්සද්ධි හා චිත්තපස්සද්ධි බලවත් වුණොත් පමණ යි. එවිට
සිත සන්සුන් වෙනවා. පින්කම් කිරීමට යොමු වෙනවා. සිතේ සන්සුන් බවක් ඇති වෙනවා. වියළි
කාලගුණයක් ඇති අවස්ථාවක අපේ ශරීරයෙන් දහදිය පිට වෙනවා. පිපාසයෙන් කයට වෙහෙසක්
දැනෙවා. ඉතින් එවැනි අවස්ථාවක අපට සිහිල් පැන් ස්වල්පයක් පානය කරන්නට අවස්ථාව
සැලසුණොත් ශරීරයටත්, ඒ එක්කම සිතටත් විශාල සහනයක් දැනෙනවා. ඒ වගේම තමා යෝගාවචරයාගේ
සිත ආධ්‍යාත්මික වශයෙන් සමාධිය ඇති වන ආකාරයෙන් සකස් වී ප්‍රීතියෙන් යුක්ත වනවිට එම
ප්‍රීති ස්වභාවය නිසා ම තම ශරීරයෙහි නිවුණු බවක්, සැහැල්ලු බවක් ඇති කරනවා. ඒ සමඟ ම
කලබලකාරි බවෙන් තොර වෙනවා. සෞම්‍ය බවක් ඇති වෙනවා. ශාන්ත ස්වභාවයක් ශරීරයෙන් පවා
ප්‍රකාශ වෙනවා.
මනසට අවුල් සහගත බවක්, විසිරුණු බවක් දැනුණොත් පමණයි රාග, ද්වේෂ වැනි සිතිවිලි ගලා
එන්නේ. එහෙම වුණත් පස්සද්ධි සම්බොජ්ඣංගය ක්‍රියාත්මක වන විට හැම අහිතකර තත්ත්වයක් ම
තුරන් ව සිත සන්සුන් වෙනවා. මේ අනුව පස්සද්ධිය තහවුරු වීමෙන් කුසලයට සිත යොමු
වෙනවා.
අපේ පැවැත්මේ විවිධ ඉරියව් පවතිනවා. ඒ ඉරියව් ක්‍රියාත්මක කිරීමේ දී හැමවිට ම
පස්සද්ධිය නිසා ශාරීරික වශයෙන් ඇති වන වේදනා සිතට නොදැනී ඉවත් වෙනවා. සන්සුන්
වෙනවා. සතිමත් බවේ සිට මේ දක්වා ඇති වූ ධම්මවිචය, විරිය හා ප්‍රීති යන
බොධ්‍යංගයන්ගෙන් සමන්විත වූ සිත පස්සද්ධිය ඇති වූ පසු සෞම්‍ය වෙනවා. එසේ දියුණුවට
පත් වන මේ භාවනාම ය සිත අපේ පැවැති සෑම ඉරියව්වක ම ක්‍රියාත්මක වෙනවා. පස්සද්ධිය
ඇති වූ සිතේ වෙනසක් ඇති බව, සන්සුන් බවක් ඇති බව තමන්ට ම ඒත්තු යනවා. වරදක්, අවැඩක්
දුටු සැණින් ධම්මවිචය දියුණු වී, ඇති විට එයින් ඉවත් වෙන්නට සිත් පහළ වෙනවා. මෙය
තවදුරටත් විස්තර කර දක්වනවා නම්, සතියෙන් ආරම්භ වෙන මෙම බොජ්ඣංග ධර්ම, ධම්මවිචයෙන්
විනිශ්චය කොට විමසා බලා, වීර්යය හා ප්‍රීතිය ඇති කරගෙන පස්සද්ධිය ඇති වීම දක්වා
ගමන් කර තමන් වරදින්, අකුසලයෙන් මිදුණා කියන සැනසීම ඇති වෙනවා.
ජීවත් වෙන අප තුළ විවිධ කැළඹිලි ස්වභාව පවතිනවා. සිත මැනවින් සතියෙන් යුක්ත ව විභාග
කර බැලුවොත් තමන්ට ම වැටහෙවා මේ සිතට දැනෙන, තේරෙන විවිධාකාර සිතිවිලිවල ස්වභාවය. ඒ
ස්වභාවය හොඳ, නරක වශයෙන් විමසා බැලීම ධම්මවිචයෙන් සිදුවන විට සිතේ හටගන්නා ප්‍රීතිය
තවදුරටත් ඉදිරියට යාමෙන් පස්සද්ධිය හෙවත් සිතේ සැහැල්ලු, සන්සුන් බව ඇති වෙනවා.
මෙතෙක් පැවති නොසන්සුන්කම ඉවත් වුණාට පසු සමාධි වූ සිත සකස්වීමට ශක්තියක් ඇති
වෙනවා.
මේ ආකාරයෙන් තමා තුළ පස්සද්ධිය ඇති බව තේරුම් ගන්නා යෝගාවචරයා ඒ බව යෝනිසෝ
මනසිකාරයෙන් දැන ගන්නවා. එය පස්සද්ධි බොජ්ඣංගය බව ද වටහා ගන්නවා. මේ ආකාරයෙන් යෝගී
පුද්ගලයා තමන් විසින් ලත් කමටහන් අරමුණෙහි සිත පවත්වා ගැනීමෙන් ඇතිවන සැනසිල්ල
හෙවත් සන්සුන් ගතිය නිසා ම තමන් විසින් පවත්වනු ලබන සෑම යාම, සිටීම, හි¼දීම ආදි
සියලු ඉරියව් ම ප්‍රිය සහගත නොවන බව තේරුම් ගන්නවා. ඒ නිසා ම ඒ පිළිබඳ සිතා තැවීමක්
ඇති කර ගන්නේ නැහැ. එම සංසි¼දීම නිසා ම සිතේ තැවීමක්, වෙහෙසක් නොමැති බව වැටහීම ම
මෙම පස්සද්ධිය වෙනවා.
මේ කියන පස්සද්ධිය ඇතිවීමට හේතු වන කරුණු හතක් සම්බන්ධ ව ධර්මයෙහි විස්තර වෙනවා.
පළමුවැන්න නම් ප්‍රණිත සප්පාය භෝජන අනුභවය නිසා ඇති වන සැහැල්ලු බවයි. දෙවැන්න
වනුයේ යෝගී පුද්ගලයාගේ පැවැත්මට යෝග්‍ය වන සෘතුගුණ සලසා ගැනීම යි. තෙවැන්න තමන්ගේ
කමටහන දියුණු කර ගැනීම පිණිස තමන්ට හිතකර පහසු ඉරියව්වක් භාවනාව පිණිස තෝරා ගැනීම
යි. සිව්වැන්න තමන්ගේත්, අනුන්ගේත් වස්තු අනෙකක් නොව කුසලාකුසල කර්ම බව ඒත්තු ගෙන
ක්‍රියා කිරීම යි. පස්වැන්න අවි ආයුධ, කඩු කිණිසි, ගල්මුල් අත දරාගෙන අන්‍යයන්ට
හිංසා පීඩා කිරීමෙහි යෙදෙන පුද්ගල හෝ කණ්ඩායම් හෝ ගැවසෙන තැන්වලින් දුරු වී වාසය
කිරීමයි. සයවැන්න අත්පා හික්මවා ගෙන, සන්සුන් ඉඳුරන් ඇති ව ක්‍රියා කරන පුද්ගලයන්
ඇසුරු කිරීම යි. සත්වැන්න තදධිමුත්තතා නම් වන පරිදි පස්සද්ධි බෝධි අංගය උපදවා
ගැනීමේ විරිය ඇති ව ක්‍රියා කිරීමේ සිත් ඇති බව යි.
මේ ආකාරයෙන් වටපිටාව සකස් කරන යෝගාවචරයා පස්සද්ධිය වඩා දියුණු කර ගැනීමෙන් නිවන් මඟ
අරමුණු කර ගත් ගමන් මාර්ගයේ එක් එක් කඩඉම් පසු කර ගත හැකි බව අවබෝධ කරගෙන අරහත් බව
සාක්ෂාත් කර ගැනීමට හැකියාව ඇති කර ගන්නට සමත් වෙනවා. |